පාට වතුර බෝතලේ සැඟවුණු රකුසා

ජුනි 4, 2024

පාට පාට සිහින අතර ඇත්තේ මායාවකි. මෙය සිහිනවලට පමණක් නොව අපගේ සැබෑ ලෝකයේ ද යථාර්ථයකි. මේ දිනවල වෙළඳපොළේ ලස්සන ලස්සන විවිධ වර්ණයෙන් හැඩ වූ පාසල් වතුර බෝතල් රාශියක් අපට දකින්නට ලැබෙයි. එකම බෝතලයක් තුළ ප්‍රමාණ තුනකින් යුතු මේ වර්ණ වතුර බෝතල්වලට 3 in one පාසල් දරුවන්ගේ විශාල ඉල්ලුමක් පවතී. මෙම ඉල්ලුම නිසාම පාසල් උපකරණ අලෙවි කරන සෑම සාප්පුවකම ඉදිරිපිට මේ වතුර බෝතල් ප්‍රදර්ශනයට ඇති දසුන ඉතා සුලභය.

මේ සුලභ වූ දසුන හමුවේ දරුවන්ට ඇති අනතුර අති භයානකය.

ලෝකයේ බොහෝ දියුණු රටවල තහනමට ලක් වූ මේ වතුර බෝතල් වර්ග නිෂ්පාදනය කරනු ලබන්නේ පොලි කාබනේට් යොදා ගනිමිනි. ප්‍රමිතියෙන් තොර වූ මෙවැනි බෝතල්වල BBA බිස්නෝබල් A නම් පිළිකා කාරකය අඩංගු බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙවැනි පසුබිමක් තුළ රටේ අනාගතය බවට පත්වන මල් වැනි කුඩා දරුවන්ට මෙවැනි බෝතල් භාවිත කිරීමට අවසර දීම කිසි ලෙසකත් අනුමත කළ නොහැකි ක්‍රියාවකි. ප්‍රමිතියෙන් තොර මෙවැනි වතුර බෝතල් ලංකාවේ ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සමාගමක් විසින් නිෂ්පාදනය නොකර චීනය, ඉන්දියාව වැනි රටවලින් ආනයනය කිරීම කිසිම වාරණයකින් තොරව සිදුවෙයි. වතුර බෝතල් නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීමේදී ඒ සඳහා ප්‍රමිති සහතිකයක් පවතී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන මෙම සහතිකය වන්නේ SLS 1616 ප්‍රමිති සහතිකයයි. මෙම සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ස්වේච්ඡාවෙන් සකස්කර නිෂ්පාදිත ආයතනවලට හඳුන්වා දී තිබුණ ද තවමත් ලංකාවේ කිසිම ආයතනයක් මෙතෙක් මේ සහතිකය ලබා නොතිබීම කනගාටුවට කරුණකි. 2018 වසරේදී සකස් කරන ලද මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු ප්‍රමිතීන් ගැන පැහැදිලි විස්තරයක් සඳහන්කර තිබුණ ද එම ප්‍රමිතීන් නියාමනය කරන ආයතන විසින් ඒ සඳහා කිසිම නීතිමය පියවරක් හෝ වාරණයක් සිදු නොකිරීම නිසා විශාල ගැටලු රාශියක් ද නිර්මාණය වී තිබේ.

මෙලෙසින් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය විසින් සකස් කරන ලද ප්‍රමිති සහතිකය පිළිබඳ අප කළ අධ්‍යයනය කිරීමේදී එහි අඩංගු විය යුතු පරාමිතීන් රාශියක් අනාවරණයකර ගැනීමට හැකි විය.

එම පරාමිතීන්ට අනුව නැවත නැවත භාවිතයට ගන්නා වතුර බෝතල්වල අඩංගු විය යුතු සීමාවන් ද පවතින බව අනාවරණය විය. ඒ අනුව එහි පැලේට් නමැති සංඝටකය හා පීනෝල් නම් සංඝටකය තිබිය යුතු සීමාව ගැන සඳහන්ව තිබේ.

මෙහි වැදගත්ම අංගයක් බවට පත් වන්නේ මෙලෙසින් නිෂ්පාදනය කරනු ලබන වතුර බෝතල් සඳහා ආකර්ෂණය ලබා ගැනීම සඳහා විවිධ වර්ණක හා රසායනික අමුද්‍රව්‍ය යොදා ගැනීම පිළිබඳ තදින්ම අනාවරණය කර තිබීමයි. එසේම එම වර්ණකවල කැඩ්මියම්, ක්‍රෝමියම්, ආසනික් වැනි බැර ලෝහ යොදා ගැනීම භයානක බව තදින්ම අනාවරණය කරයි.

මෙයට අමතරව බෝතලයේ හැඩය හා එහි විනිවිද පෙනීම ගැනද බෝතලේ සැකසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ගැන පැහැදිලි ලෙසින්ම සඳහන්ව තිබේ. මෙලෙසින් නිෂ්පාදනය කරන වතුර බෝතල්වල නිෂ්පාදිත ආයතනයේ නම වෙළඳ ලාංඡනය හා PH අගය ගැන ද සඳහන්ව තිබීම අනිවාර්ය බව පෙන්වා දී තිබුණ ද මේ වන තෙක්ම මෙම ප්‍රමිති සහතිකය ගැන කිසිම ආයතනයක අවධානය යොමු නොවීම විශාල ඛේදවාචකයකි.

මෙවැනි පසුබිමක අප රටට විවිධ රටවලින්ද වතුර බෝතල් ආනයනය කිරීම ද කිසිම වාරණයකින් තොරව සිදුවෙන්නේ දිගු කාලයක සිටය. බොහෝවිට මෙලෙස මෙම බෝතල් ගෙන්වීමේදී ඒවා පරීක්‍ෂා කිරීමට හෝ නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලයක් නො පවතී. ඔවුන්ට බලය ඇත්තේ එම බෝතල් නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිතිය හා අලෙවියේදී තිබිය යුතු ප්‍රමිතිය පිළිබඳ තත්ත්ව සහතිකයක් ලබාදීම පමණකි.

නමුත් අප රටේ ප්‍රසිද්ධ ආයතන ගණනාවක් මෙවැනි පාසල් වතුර බෝතල් නිෂ්පාදනය කරන අතර ඔවුන් කිසිවෙක් එම සහතිකය ලබා නොතිබේ. අප මේ පිළිබඳ වෙළඳපොළේ කළ නිරීක්‍ෂණයකදී දැකගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හඳුන්වා දී ඇති මෙම සහතිකයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් වූ බෝතල් ඇත්තේ ඉතාම අවම ප්‍රමාණයක් බවයි. එම බෝතල්වලටද මෙම සහතිකය දකින්නට නොලැබෙන පසුබිමක මෙසේ නිෂ්පාදනය කරනු ලබන වතුර බෝතල් සෑම එකක් පිළිබඳව අපට විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් පවතී.

මෙයට ප්‍රධානතම හේතුව බවට පත්වන්නේ මේ බෝතල් අප රටට ආනයනය කිරීමේදී හෝ නිෂ්පාදනය කිරීමේදී ප්‍රමිති සහතිකය නොතිබීම පිළිබඳ කිසිම නීතිමය පියවරක් ගැනීම සඳහා වගකිවයුතු ආයතනයක් ඉදිරිපත් නොවීමයි. එසේම පාරිභෝගිකයින් ලෙස අපද මෙතෙක් මේ පිළිබඳ අවධානය යොමු නොකිරීම විශාල වරදකි.

ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය හෝ මේ පිළිබඳ වගකීමක් දරන කිසියම් ආයතනයක් ඉතාම ඉක්මනින් මේ තත්ත්වය ගැන පරීක්ෂා කර බැලීම කළ යුතුම පියවරකි. නැතිනම් අනාගතය භාර ගැනීමට සිටින අපගේ දරු පරපුරට ඇතිවිය හැකි හානිය හා රෝග ගැන කිව නොහැකි වෙයි. විශේෂයෙන්ම මේ බෝතල් නිෂ්පාදනය සඳහා පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා බවට ද අනාවරණය වී තිබේ. ඒ නිසා බොහෝ රටවල මෙලෙසින් විවිධ වර්ණ යෙදූ බෝතල් අලෙවිය තහනම් කර තිබේ. දේශීය දේ යොදා ගනිමින් ඉතාම පහසුවෙන්ම නිර්මාණය කළ හැකි වතුර බෝතල් පිටරටවල් වලින් මිලදී ගැනීම විශාල අපරාධයකි. දේශීය උණ බටයකින් පවා හොඳ වතුර බෝතලයක් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයක් අප සතුව පවතී. එම තාක්ෂණය අප තෝරා ගන්නේ නම් මේ සියල්ලටම විසඳුම ලැබෙනු නියතය.

 

විශේෂයෙන්ම මේ බෝතල් නිෂ්පාදනය සඳහා පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා බවට ද අනාවරණය වී තිබේ.