සිම් එක මිස් වුණොත් ජීවිතයම සුන්

ඔයාගෙ සිම් එක ගැනත් මේ දැන්ම බලාගන්න
ජූලි 22, 2024

 

සාපරාධී මිනීමැරීමකට හෝ අපරාධයකට බොහෝ විට යොදා ගන්නේ ගිනි අවියකි. නැතිනම් තියුණු ආයුධයකි. ඊළඟට එම ක්‍රියාවට ඇවැසිවන තවත් උපකරණයක් බවට පත් වී ඇත්තේ ජංගම දුරකථනයයි. මොබයිල් ෆෝන් එකක් සෑම අපරාධයකටම යොදා ගන්නා මට්ටමට දැන් සමාජය සංකීර්ණ වී තිබේ.

පසුගිය සතියේ රටම කතා කළ සිදුවීම බවට පත් වූයේ ක්ලබ් වසන්තගේ ඝාතනයයි. මේ ඝාතනය පිළිබඳ සමාජ මාධ්‍ය පුරා විවිධ තොරතුරු ප්‍රචාරය විය. ඒ අතර මේ සිද්ධිය සඳහා භාවිත කළ ජංගම දුරකථන හතරක් පරීක්ෂා කිරීම සඳහා රහස් පොලිසිය විසින් අධිකරණ නියෝග ලබාගෙන තිබුණි. මෙලෙසින් ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී මෙම ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයන් හා සිම්පත් හිමියන්ගේ තොරතුරුද අනාවරණයකර ගැනීමට හැකිවනු ඇත.

නමුත් මේ සිම්පත් පරීක්ෂා කිරීම හා සිද්ධියට අදාළ පුද්ගලයන් සොයා ගැනීමේදී මෙම සිම්පත්වල සැබෑම හිමිකරුවන්දැයි අනාවරණයකර ගැනීම අසීරුවන ක්‍රියාවලියකි. බොහෝ විට මේ සිද්ධියට පමණක් නොව ඕනෑම අපරාධයක් සඳහා පුද්ගලයෙක් යොදා ගන්නේ වෙනත් පුද්ගලයකුගේ නමට ලියාපදිංචිය ලැබූ සිම්පතක් හා දුරකථනයකි. එය ඕනෑම අපරාධයක් හෝ සොරකමක් සිදුකරන පුද්ගලයෙක් අනුගමනය කරන ක්‍රියාවලියයි. ඇතැම් විට අදාළ සිද්ධියට කිසිම සම්බන්ධයක් නොමැති පුද්ගලයකුගේ නමට හෝ සිම්පතක් මේ සඳහා යොදාගෙන තිබීමට ඉඩ ඇත. එය කොයි අාකාරයෙන් සිදු වූයේද, කෙසේ සිදු වුයේද, කාට සිදුවේදැයි කිසිවකුටත් අනාවැකි කියන්නට නොහැකිය. ඇතැම්විට ඔබට ද මෙවැනි ගැටලුවට ගොදුරු වීමට ඉඩ ඇත. ඇතැම් විට අප නොසිතන සිදුවීමක් නිසා ඔබගේ තොරතුරු හෝ හැඳුනුම්පත වෙනත් අයෙකු වෙත පත්වීම නිසා එය සිදුවීමට ද ඉඩ තිබෙනු ඇත. ඔබ කොතරම් සුරක්ෂිත යැයි සිතුවද අප නොසිතන ලෙසින් නොසිතන සිද්ධීන් සඳහා ගොදුරු බවට පත් වෙයි. විශේෂයෙන් කාන්තාවන් මෙවැනි සිද්ධි සඳහා ගොදුරු බවට පත්වන අවස්ථා පිරිමි පාර්ශ්වයට වඩා වැඩි ප්‍රවණතාවයක් පෙන්වයි. මේ නිසාම අප ඔබව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය සමඟ පිළිසඳරකට එක් වූයේ මේ පිළිබඳ වඩාත් හොඳින් දැන ගැනීමේ අපේක්ෂාවෙනි. ඇය අප දැනුවත් කරමින් දැක් වූ අදහස් සෑම කෙනෙකුටම බෙහෙවින්ම වැදගත්ය.

“අද ජංගම දුරකථනය නැතිනම් Smart Phone එකක් කියන්නේ ඉතාම සුලභ උපකරණයක් බවට පත් වෙලා තිබෙනවා. මේ සුලභ උපකරණය භාවිත කරන පිරිස අද අති විශාලයි. ඒ වගේම මේ ජංගම උපකරණය භාවිතය නිසා ඇතිවන ගැටලු හා අනතුරු ප්‍රමාණයන් දවසින් දවස ඉහළ යනවා. මෙයට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙන්නේ ජංගම දුරකථනයක් භාවිතය පිළිබඳ මුලික අවබෝධය හා දැනුම නොති්බීමයි. ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයකුටම අප මුලින්ම දැනුවත් කරන කරුණක් වන්නේ තම දුරකථනයේ සිම්පත් අංකය තමුන්ගේම නමටම ලියාපදිංචි කරගන්න කියලා. මෙසේ තමුන්ගේම නමට ලියාපදිංචිය ලබාගැනීම වැදගත් වෙන්නේ ඇමතුම් විස්තර වාර්තාවක් නීති කටයුත්තක් සඳහා ලබාගැනීමට හැකියාව තිබෙන්නේ තමුන්ගේ නමට තම සිම්පත ලියාපදිංචිය ලබා තිබුණොත් විතරයි. ඒ වගේම තමයි තමුන්ගේ දුරකථනය නැතිවුණොත් මුලින්ම කරන්න ඕනේ තම සිම්පත විසන්ධි කිරීමයි. මෙසේ විසන්ධි කිරීමට නීත්‍යානුකූල අයිතියක් තිබෙන්නේ සිම්පත හිමිකරුට පමණයි. ඒ නිසා තමුන්ගේ දුරකථනයේ සිම්පත් අංකය තමුන්ගේ නමට ලියාපදිංචියට තබා ගන්න. එය කිසිම අවස්ථාවක පිටස්තර හිතවතෙකුට හෝ නොදන්නා පුද්ගලයෙක් අතට පත්වීම ඉතාම භයානකයි.

දැන් ඔබට සිම්පත ඔබගේ නමටම ලියාපදිංචිය ලබා තිබෙනවාද කියලා පරීක්ෂා කිරීම සඳහා කෙටි දුරකථන අංකයක් තිබෙනවා. #132# අංකය ඩයල් කරපු ගමන් සිම්පත ලියාපදිංචි පුද්ගලයාගේ සම්පූර්ණ විස්තරය ලැබෙනවා. එහි සිම්පත් හිමියාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වෙනවා. එවිට ඔබට බලා ගැනීමට පුුළුවන් මේ ජාතික හැඳුනුම්පත් අංකයට තවත් සිම්පත් ලියාපදිංචි වී තිබෙනවා ද කියලා. එසේ පරීක්ෂා කරන විට ඔබට දැක ගැනීමට ලැබුණොත් ඔබ නොදැනුවත්ව තවත් සිම්පත් තිබෙනවා කියලා. උදාහරණයක් ලෙස ඔබගේ නමට ලියාපදිංචිකර ඇත්තේ සිම්පත් දෙකයි. නමුත් ඔබ පරීක්ෂා කළ විට තවත් සිම්පත් දෙකක් ඔබගේ නමට ලියාපදිංචිය ලබා තිබෙනවා. එවිට ඔබ වහාම කළ යුත්තේ ඔබට තිබෙන සිම්පත් දෙකට අමතරව තිබෙන සිම්පත් විසන්ධි කිරීමට කටයුතු කිරිමයි.

මේ ආකාරයට ඔබට පුුළුවන් නිරතුරුවම ඔබගේ නමට තිබෙන සිම්පත් පිළිබඳ විමසීමක් කරන්න. අපට වගකීමක් හා යුතුකමක් තිබෙනවා. අවභාවිතය සඳහා මෙවැනි දේ සිදු නොවීමට කටයුතු කරන්න. එසේ නොකර සිටියොත් කිසියම් අපරාධයක් හෝ සොරකමක් ඔබගේ නම භාවිත කරන සිම්පතක් යොදාගෙන සිදුකර තිබුණොත් එහි වගකීම දැරීමට ඔබට සිද්ධ වෙනවා.

ඒ වගේම තමයි දැන් ඔබගේ නමට සිම් පතක් ලබාගැනීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. එසේ නොමැතිව ඔබගේ ජාතික
හැඳුනුම්පතේ ඡායා පිටපතක් සඳහා සිම්පතක් නිකුත් කිරිමේ ක්‍රමවේදය දැන් සම්පූර්ණයෙන් තහනම්. ඒ නිසා ඔබගේ ජංගම දුරකථනය නොමැතිව ඡායා පිටපතකට සිම්පතක් නිකුත් කරන පුද්ගලයෙකු හෝ ආයතනයක් තිබේ නම් එය සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා එවැනි සිද්ධියක් දුටුවොත් අපට වහාම දැනුම් දෙන්න. අපි එම පුද්ගලයාට හෝ අායතනයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා.

ඒ නිසා දැන් ඔබ නොදැනුවත්වම ඔබගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් යොදාගෙන සිම්පතක් ලබාගැනීමට තිබෙන අවස්ථාව අඩුයි. එවැනි ස්ථානයක් හෝ පුද්ගලයෙක් සිටිනවා නම් අපගේ දුරකථන අංක 011 - 2689341 ට දැනුම් දෙන්න. අැත්තටම බොහෝ දෙනෙක් තවම සිම්පතක් තමුන්ගේම නමට පමණක් තිබීමේ වැදගත්කම දන්නේ නැහැ. නීත්‍යනුකූල ක්‍රියාවලියේදී ඔබට නීතිමය කටයුතු සඳහා ඔබේම සිම්පතක් නොමැතිව වෙනත් සිම්පතක් මඟින් ලබාගත් දුරකථන ඇමතුම් හෝ ගෙවීම් පිළිබඳ අනන්‍යතාවය තහවුරු කිරීමට අපහසුයි. විශේෂයෙන් බොහෝ දෙනෙක් දැන් Online ක්‍රමයට බැංකු කටයුතුවල යෙදෙනවා. ඒ වගේම Easy Cash ක්‍රමයට මුදල් හුවමාරු කරගන්නවා. මේ සෑම කටයුත්තකදීම තමුන්ගේ නමට සිම්පතක් ලියාපදිංචිය වී තිබීම ඉතාම වැදගත්. අපි ජනතාව නිරතුරුවම දැනුවත් කරන්නේ ඔබ සෑමවිටම අවදියෙන් සිටින්න. ඔබගේ දුරකථනය හා සිම්පත පරීක්ෂාකර බලන්න. කිසිම අවස්ථාවක ඔබගේ සිම්පත වෙනත් අයෙකුගේ, අතට පත් වීමට ඉඩ නොදෙන්න. එවැනි දෙයකින් ඇතිවන ගැටලු ඉතාම සංකීර්ණයි.


 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ
මේනකා පතිරණ