ඔබේ පිරිසුදුකම රටේ පිරිසුදුකමේ කැඩපතයි

ජනවාරි 30, 2019

පසුගිය දිනෙක විදෙස්ගතව පදිංචිව සිටින මාගේ මිතුරියක් ලංකාවට පැමිණියා. දරුවෝ පුංචි සන්ධියේ ම ඔවුන් මේ රට අතහැර ගිය බැවින් ලංකාවට පැමිණෙන සෑම වාරයකදීම අප රටේ සුන්දරත්වය නැරඹීමට යාම ඔවුන්ගේ පුරුද්දකි.

සාමාන්‍යයෙන් කවුරුත් නිරන්තරයෙන් යන එන සුපුරුදු තැන් හැරුණු විට අන්තර්ජාලයේ සැරිසරා සොයා ගන්නා ලද දුර්ලභ ස්ථාන නරඹන්නට යන්නත් ඔවුහු අමතක නොකරති.

මෙවර ලංකාවට පැමිණි සමයේ ද දරුවන් සමඟ ඇය දකුණේ මෙන්ම කන්ද උඩරට සංචාරය කළා. අප රටේ සුප්‍රකට තැන් මෙන්ම අප්‍රකට සුන්දර ස්ථාන කෙරෙහි ද ඇගේ අවධානය යොමුවී තිබිණ.

“අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවද බලන්න. ගහකොළ දැක්කත් හිතට දැනෙන්නේ පුදුම සනීපයක්. කාලය යනවා දැනෙන්නේ නැහැ. ඒත් හදිසියේවත් වැසිකිළියකට යන්න සිද්ධ වුණොත් නම් දෙවියන්ගේම පිහිට තමයි. ජීවිතේම එපා වෙනවා.

සැබැවින්ම ප්‍රසිද්ධ තැනක වැසිකිළි යාම තදබල ප්‍රශ්නයකි. එය විදේශයක සිට පැමිණි අයකුට පමණක් නොව මේ රටේ වෙසෙන අපට ද තිබෙන බරපතළ ප්‍රශ්නයකි.

“ඉස්සර වගේ නෙමේ. දැන් හැම තැනක්ම බලන්න යනකොට ප්‍රවේශ ප්‍රතයක් මිලදී ගන්න ඕනේ.

එහි වරදක් නැහැ. ඒත් මිල අය කිරීමක් කරන නිසා ඒ තැන්වලට යන එන අයගේ පහසුකම් ගැන මීට වඩා ඒ ආයතනවල බලධාරීන් හිතන්න ඕනේ නේද? බඩගින්න, පිපාසය අපට පාලනය කරගන්න පුළුවන්.

ඒත් ශරීර කෘත්‍ය අවශ්‍යතාවයකදී අපට පාලනය කරගන්න පුළුවන් ද? පොදු ස්ථානවල ටොයිලට්වලට යෑම නම් මේ රටේ සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා. ඇයි මේවා මෙච්චරටම අපිරිසුදු.”

ඇයගේ කතාවේ කිසිදු අසත්‍යයක් නොමැත.

විනෝද චාරිකා යන ඔබ..... වන්දනා ගමන් යන ඔබට ද මෙම අත්දැකීම අඩු වැඩි වශයෙන් විඳ ඇති බව නම් සත්‍යයක් බව අපි දනිමු.

බාහිර අලංකාරයෙන් අනූන බොහෝ තැන්වල වැසිකිළිය මහා අපායකි. කෙසේද කිවහොත් සිවුපා... බහුපා සතුන් පරිහරණය කරවනවා වැනිය. ඒ තරමටම අපිරිසුදුය.

ශිෂ්ට සමාජයක මෙවැනි තත්ත්වයක් දකින්නට ලැබීම අතිමහත් ලැජ්ජාවකි. ජැන්ඩියට අඳින පළඳින... ස්මාට් ජංගම දුරකථනය සමඟින් නිරන්තරයෙන් නූතනත්වය සමඟ ගනුදෙනු කරන සමාජයක පොදු වැසිකිළි භාවිතය මෙතරම්ම පහත් මට්ටමක පවතින්නේ ඇයි ද යන්න පුදුම සහගත නොවේද? මෙහෙම වෙන්නේ ඇයි? ප්‍රධානම සාධකය පිරිසුදුකම නොතිබීමයි.

පිරිසුදුකමේ මූලික පාඩම අප ඉගෙන ගන්නේ නිවෙසේදියි. එනම් මවුපිය සෙවණෙදීය.

ලෝකයේ බොහෝ දියුණු රටවල ප්‍රාථමික අධ්‍යාපනයේ වසර දෙක තුනක් යනතුරු දරුවන්ට යහපත් හුරු පුරුදු ඇති කිරීමට වෙන් කර ඇතත් අපගේ අධ්‍යාපන ක්‍රමයේ එලෙස ක්‍රමවේදයක් ඇද්ද යන්න මේ ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඔබටම හැඟෙනු, දැනෙනු ඇත. දරුවා “අ”යනු , “ආ” යනු කියන්නට පටන්ගත් දා සිටම පොතපතට සීමා වූ අධ්‍යාපන ක්‍රමයකට සිරවන දරුවා යහගුණ... හොඳ පුරුදු ඉගෙන ගන්නේ කොතැනින්ද? ඕස්ට්‍රේලියාව, ජපානය වැනි රටවල එක, දෙක, තුන වැනි වසරවලදී ඉගෙනුම් ක්‍රමවේදයේ වැඩි අවධානයක් යොමුවන්නේ දරුවන් හට හොඳ පුරුදු ඉගැන්වීමටය.

ආචාරශීලී ගුණවත් දරුවකු බිහි කිරීමටය. අගනාකම්, වටිනාකම් මැනැවින් අවබෝධ කරගන්නා විට නැණවත් දරුවකු ඉබේම ගොඩ නැඟෙනු ඔවුන්ගේ විශ්වාසයයි.

කන, බොන, අඳින, පලඳින පිළිවෙළ වගේම මාර්ග නීති රීති, වැසිකිළි භාවිතය, පොදු ප්‍රවාහනයක නීතිරීති, නිවෙසේ පිරිසිදුකම වගේම බාහිර පිරිසුදුකම, පිරිසක් සමඟ හැසිරීම ආදී හොඳ පුරුදු පුංචි සන්ධියේම තනිවම කරගැනීමට කරන මඟපෙන්වීම නිසාම ඒ රටවල වාහනයේ ජනෙල් පියන පහත්කොට පාරට අපද්‍රව්‍ය, කැලි කසල දමා යන දරුවෝ දකින්නට නැත. එනිසාම ඒ රටවල ඇත්තෝ තමන්ගේ පිරිසුදුකම තරමට ම රටේ පිරිසුදුකම ගැන ද සිතති.

එහෙත් අවාසනාවට අපේ රටේ ඇත්තේ තමන්ගේ පිරිසුදුකම ගැන පමණක් සිතන තමා අවට පරිසරයේ පිරිසුදුකම ගැන නම් තඹ දොයිතුවකටවත් මායිම් නොකරන බහුතර පිරිසකි.

අපගේ උත්සාහය ශ්‍රී ලංකාව සංචාරක පුරවරයක් කිරීමයි. එහෙත් සංචාරක ආකර්ෂණය ලබාගැනීමට නම් රටක පිරිසුදුකම, පිළිවෙල ප්‍රබල සාධකයන්ය.

ශ්‍රී ලංකාව වූකලි සංචාරයට උචිත සාමකාමී, සුන්දර දේශයක් ලෙස ලොවම පිළිගත් සත්‍යයකි. ඡායාරූපගත කරන්නට සුදුසු නගර අතරින් අංක එකේ නරගයක් ලෙස කොළඹ නගරය මේ වන විට ලෝකයම පිළිගෙන හමාරය.

සංචාරක කර්මාන්තය වඩවා ලීමේ උදාර අරමුණෙන් කටයුතු කරන මේ මොහොතේ අප මෙවැනි කාරණා සුළුවෙන් තැකිය යුතු නොවේ. තමන්ගේ පිරිසිදුකම ගැන තරමටම රටේ තොටෙහි පොදු පිරිසිදුකම ගැනත් අප අංක එකෙහිලා සිතිය යුත්තේ එබැවිනි.

පොදු ස්ථානවල වැසිකිළි පාවිච්චියට පෙර යම් මුදලක් (රු. 20 වැනි මුදලක්) අය කරනු අපි බොහෝ විට දැක ඇත්තෙමු. සමහරුන්ට එය ද මහා ප්‍රහේළිකාවකි.

නමුත් එහි කිසිදු වරදක් නොමැති බව පෙනෙන්නේ මෙවැනි අපිරිසුදු ස්ථාන දුටු විටය.

පොදු ස්ථාන පිරිසුදුව තිබීමෙන් අප රට වැසියන්ට මෙන්ම සංචාරකයන්ට ද යහපත්ය. මන්ද ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම මෙන්ම සිතේ කැමැත්තෙන් ශරීර කෘත්‍ය ඉටුකරගැනීමේ හැකියාව ද ඉන් ලැබේ.

මෙසේ මුදලක් අය කරන්නේ එහි නඩත්තු කටයුතුවලට මෙන්ම පිරිසුදු කරන සේවකයන්ට හෝ එවැනි සේවා ආයතනවලට ගෙවීම සඳහාය.

එහි කිසිදු වරදක් නොවේ. ඔවුන් ද කරන්නේ රැකියාවක් බව අප අමතක නොකළ යුතුය. පුංචි මුදලක් ගෙවා ඔබ වෙත දැක්වූ පරිසර ප්‍රසන්නතාවයට ස්තුති කරනවා මිස මුදල් අය කිරීම ගැන කිසිදු විටෙක අමනාප නොවන්න.

අප ගෞරවනීය ප්‍රෞඩ ඉතිහාසයකට නෑකම් කියන පරපුරකි. ඒ වගේම අප දීර්ඝ ඉතිහාසයකින් හෙබි රටක්. ආගන්තුක සත්කාරයට ප්‍රමුඛත්වය දෙන පුංචි ලස්සන රටක් ලෙස ලෝකයේ ගෞරව බුහුමනට පාත්‍ර වීම අද ඊයේ සිදුවූවක් නොවේ. එවැනි රටක් පිරිසිදුව පවිත්‍රව තබා ගැනීම ලොකු පොඩි භේදයකින් තොරව හැමෝම එකසේ සැලකිය යුතු දෙයක්.

මේ පුරුදු කුඩා කාලයේ සිටම අප අපගේ බාල පරපුරට හොඳින් කාවැද්දිය යුතුය. තැන තැන කෙළ ගැසීම, මළමුත්‍රා පහකිරීම, කැලි කසළ ගොඩගැසීම, නිසි තැන නිසි දේ පිළිවෙලට තැබීම යනාදිය මවුපියන්,ගුරුවරු දරුවන්ට පුංචි සන්ධියේදීම කියාදෙන්න. පුරුදු කරවන්න.

ශරීර කෘත්‍ය කිරීමෙන් පසුව එය නියම ලෙස පවිත්‍ර කරන හැටි හුරුකරවන්න. වැසිකිළියෙන් පිටතට යෑමට පෙර එය නිසි පරිදි පවිත්‍ර වී ඇද්දැයි නැවත නිරීක්ෂණය කිරීමට හුරු කරවන්න.

මෙය නිවෙසින් ආරම්භ කරන්න. එවිට පාසලේ, මඟතොටේ කාර්යාලයේ වැසිකිළි අනවශ්‍ය ලෙස අපවිත්‍ර නොවේ.

බොහෝ විට කාන්තා පාර්ශ්වය සනීපාරක්ෂක ස්ථාන පිරිසුදුව පාවිච්චි කළත් ඇතැම් පුරුෂ පාර්ශවයත් ඒ ගැන හිතන්නට මැළිවෙති. නමුත් පිරිසුදුකම ගැන හිතන විට ගැහැනු පිරිමි භේදයකින් තොරව එක සමානව පිරිසුදුකමේ අගය වටහාගත යුතුය. හැමවිටම තමා ගැන පමණක් නොව අනෙකා ගැන ද සිතා කටයුතු කිරීමෙන් සිදුවන්නේ යහපතක් මිස අයහපතක නොවේ නිවෙසක්, ආයතනයක්, පාසලක් ගැන හිතුවොත් බාහිරව පෙනෙන්නට තිබෙන තැන් බොහෝ පිරිසිදුය.

සමහර නිවෙස්වල ආලින්දය, විසිත්තත කාමරය, නිදන කාමර කිරි ටොයියන් මෙන් බබළයි. එහෙත් මුළුතැන්ගෙයට, වැසිකිළියට එබෙන්නට බැරි තරමට දුඟදය. කිළිටිය. ආයතන, පාසල්, කාර්යාල ආදියේ ස්වභාවය ද එලෙසමය.

එතැන ඇත්තේ නියම පිරිසුදු පිළිවෙල නොවේ. නියම පිරිසුදුකම මැන බැලිය හැක්කේ මුළුතැන්ගෙය, වැසිකිළිය වැනි ස්ථානවල ඇති ස්වභාවය මතය.

වැසිකිළිය, මුළුතැන්ගෙය, අපවිත්‍ර නම් දුගඳ නම් ඒ නිවැසියන්ගේ පිට ඔපෙන් කොතරම් සුරූපී වුවත් ඵලක් නැත. බාහිර පෙනුම වගේම අභ්‍යන්තර පෙනුම ගැනත් ඒ තරමටම සිතන විට අනෙකාට අපගෙන් කිසිදු විටෙක වදයක්, හිංසාවක් වන්නේ නැත.

මෙය අපි පුංචි තැනින් පටන් ගෙන ක්‍රියාවට නංවමු. එවිට හොඳ පුරුදු ටිකෙන් ටික වැඩිවේවි. තමන්ගේ පෞද්ගලික දේපළ ඔබ යම් සේ සුරකින්නේද ඒ තරමටම පොදු දේපළ ද පවිත්‍රව සුරකින්න. එය ඔබගේ සනීපාරක්ෂාවට ද හේතු වෙයි.