ඇහෙනවා ද නුඹට ඒ හදවතේ ඉකිබිඳුම

පෙබරවාරි 20, 2019

ඇය හිරිමල් යෞවනයේ සුපිපි කුසුමක් බඳුය. ඇය උගත්ය. උපාධිධාරිනියකි. ගුරුවරියකි. තිස් වියට ආසන්න වුවත් ඇගෙන් දිස් වූයේ පාසල් විය නොඉක්මවූ සුන්දරත්වයකි. නිතරම ඇගේ වත සිනහවකින් විකසිත වී තිබුණත් ඇගේ හදවතෙහි වූයේ මහා වේදනාවකි.

ඊට එකම හේතුව වූයේ විවාහ වී වසර ගණනක් ගත වී ඇතත් දරු සුරතල් බලන්නට ප්‍රමාද වීමය. ඇයටත් ඇයගේ සැමියාටත් එය ප්‍රශ්නයක් නොවුණත් ඇය රැකියාව කරන ස්ථානයේ ඇත්තන්ටත්, අසල්වාසීන්ටත් එය මහා ප්‍රශ්නයක් විය.

ඇය මුණ ගැසෙන හැම විටම හැමෝම අසන්නේ එකම පැනයකි. ඒ තවමත් දරුවෝ නැත්තේ ඇයි? යන පැනයයි. නිතර නිතරම මේ ගැටලුවට මුහුණ දෙන ඇයට දැන් මුණ ගැහෙන පිරිස ගැන ඇත්තේ කණස්සල්ලකි.

කොයි මොහොතේ දරුවන් නොමැති පැනය කවුරුන් හෝ අසන්නේ ද යන කුතුහලයෙන් ඇය නිරන්තරයෙන්ම පෙළෙයි.

“යාළුවෙක් හම්බවුණත් ටීචර් කෙනෙක් එක්ක කතා කළත් මඟ තොටේ කවුරු මුණ ගැහුණත් අහන්නේ මේ ප්‍රශ්නයමයි. මට නම් දැන් එපා වෙලා, උත්තර දීලා. දැන්නම් මට රස්සාවට යෑමත් එපා වෙලා.”

ඒ ඇගේ වේදනාබර හඬය. රැකියා ස්ථානයේ ඇය කණ්ඩායම් එක්වන තැන්වලට නොයයි.

උදේ හවස දුම්රියේ යන එන ඇය කල්ලි ගැහෙන කිසි තැනකට එක් නොවන්නේත් හමුවන හැම විටම, හැම තැනම කවුරු ඇසුවත් අසන්නේ එකම පැනයක් බැවිනි.

සමහරවිට මම මේ ලියන මොහොත වනවිට ඇය රැකියාවෙන් ඉල්ලා අස්වී සැමියා රාජකාරි කරන ප්‍රදේශයට ගොස් සිටින්නට ද පුළුවන.

ඒ වන විටත් ඇය සිටියේ පවුලේ සමීපතම ඥාතීන්වන අම්මා, තාත්තා, සහෝදරිය හැරුණු විට අනෙකුත් ඥාතීන් හමුවන තැන් මඟහරිමින් හුදකලා වෙමිනි.

“මේ ප්‍රශ්නය නිසා අම්මත් ලෙඩ වෙනවා. මට දෙන වදයම තමයි අම්මටත්. කවුරු හම්බ වුණත් අහන්නේ තාම දුවට බබාලා නැද්ද කියලා. මගේ අම්මයි, තාත්තයිත් පවු. එයාලත් මම වගේම මේ හේතුව නිසා දුක් විඳිනවා.

මේ එක දියණියකගේ, සහෝදරියකගේ වේදනාවක් නොවේ. දරුඵල අහිමි බොහෝ බිරින්දෑවරු මුහුණදෙන අත්දකින සුලබ වේදනාබර සිදුවීමකි.

පතිකුලයට යන හැම දියණියකගේම, පුතණුවකුගේම සිහිනය කූඩුවූ විගස දරු පැටියකුගේ කිරි සිනහ දැකීමය. තතන තතන ‘අම්මා’, ‘තාත්තා’ කියනු ඇසීමය. එකිනෙකාගේ කර්මඵල වාසනාව අනුව සමහරුන්ට මේ ප්‍රාර්ථනය විවාහ වූ විගසම ඉටුවනු ඇත.

තවත් සමහරකුට එය විඳින්නට කාලයක් බලා සිටින්නට සිදුවිය හැකිය. එය අපගේ දෛවයයි.

එසේ නොමැති නම් දරු සුරතල් විඳින්නට අකැමැති අයෙක් වෙතොත් ඒ මිනිස් කුලයේ සත්ත්වයෙක් තියා තිරිසන් කුලයකටවත් අයිති කෙනකු විය නොහැකිය. අප එතරම්ම දරුවන්ට සෙනෙහෙවන්තයි.

සීනිගම දෙවොලේ කිරි සිහිනය පූජාව මේ මොහොතේ මාගේ සිහියට නැඟේ. දීර්ඝ කලක් තිස්සේ පැවැත්වෙන මේ මහා පුණ්‍ය කර්මයට මාධ්‍ය අනුග්‍රහයෙන් එක්වන්නේ “තරුණී” අප පුවත්පතයි. එබැවින් අපටද මේ උතුම් පුණ්‍යකර්මය සියැසින් දකින විට ඇතිවන්නේ නිම්හිම් නැති සතුටකි. දරුවන් නොමැතිකමින් වේදනා විඳින කතුන් අතොරක් නොමැතිව වෛද්‍ය ප්‍රතිකාර, සෙත් ශාන්ති, පුණ්‍ය කර්ම විධි සමඟ නිරන්තරයෙන් ගනුදෙනු කළත් පුරුෂ පාර්ශ්වය එතරම් කලඑළි බසින බවක් අප නොදනී.

එහෙත් එය සාවද්‍යයක් වන්නේ කිරි සිහින ප්‍රාර්ථනය සමඟ සීනිගම දෙවොලට එක්කාසු වන පුතුන් දකින විටය.

බිරින්දෑවරු තරමටම සැමියන් ද දරුවෝ වෙනුවෙන් අපමණ ප්‍රාර්ථනා දල්වා දෙවොල් දෙවියන් යදින අයුරු එයට කදිම සාක්ෂියකි. දෙවොල් දෙවියන් මවකගේ බලාපොරොත්තු ඉෂ්ට කරනු නියත බව ඔවුන්ගේ දෙනෙත් කියා පායි.

විවාහ පත් නව යුවතිපතීන් දරුවකු පිළිසිඳ ගන්නා තුරු සිටින්නේ නොඉවසිල්ලෙන් බව අමුතුවෙන් කිවයුතු නොවන්නේ එනිසයි.

එහෙත් ඔවුන්ගේ පැතුම ඉටුවන තුරු සමහරකුට ඉවසුම් නැත. විවාහ වූ දින සිටම දරුවෝ ගැන විමසති. විමසා නිකම් සිටින්නේ ද නැත. තැන තැන කතා පතුරුවති.

සැමියන්ට වඩා මේ ගැටලුවේදී වඩා දැවෙන්නේ, අපහසුතාවයට පත්වන්නේ බිරින්දෑවරුන්ය. තමන්ගේ සමීපතමයන්, ඥාතීන්, අසල්වැසියන් හිත මිතුරන් මිතුරු ලෙසින් කරන සතුරුකම (අපහාසය) නිසාවෙන් ව්‍යාකූලවන ඇයගේ සිත පිළිසිඳ ගැනීම ද ප්‍රමාද කරවයි. ඇය තව තවත් අසරණ කරවයි. මේ තත්ත්වය බොහෝ විට ඇති කරවන්නේ කාන්තාවන් වීම තවත් ලැජ්ජා සහගතය.

එබැවින් වැඩිහිටි ඔබ අත ද යුතුකමක් ඇත. මේ අපගේම දියණියන්ය. සහෝදරියන් ය.

යමකුට ඇති අඩුවක් ගෙන එය උළුප්පාලමින් කිසිවකු අපහසුතාවට, නොසන්සුන්තාවට පත් නොකිරීම අප සැමගේම යහගුණ ප්‍රකට කිරීමකි.

මෙලොව ජීවත්වන කිසිවකු හැම අතින්ම සර්ව සම්පූර්ණ නොවේ. සමහර දරුවෝ ඇති මවුවරු දරුවන් අහිමි කතුන් අබියස උජාරුවෙන් දරුවන් ගැන පුරසාරම් දොඩවන විට අසා සිටින අයට දැනෙන්නේ සතුටක් නොව අපුල බවකි.

හැමවිටම එම තත්ත්වය ඇති වූයේ නම් ඇතිවන හැඟීම් ගැන හිතන්න. එසේ නම් අනෙකාගේ තත්ත්වය ද එලෙසමය. කවුරු වුවත් හැමවිටම හැසිරිය යුත්තේ කිසිවකුට හිංසනයක් දැනවෙන අයුරින් නොවේ.

බොහෝ කාන්තාවන් තවත් ගැහැනියකගේ හිත කොනිත්තා සතුටක් ලබන්නට පුරුදු වී ඇත. එසේ කරන්නවුන්ට දිට්ඨධම්මවේදනීය දහම මොලොවදීම ඵලදෙනු නියතය.

දරුඵල අහිමි කතුන් මෙලෙස අපහසුතාවයට හෙළන සමාජයක මීට නොදෙවැනි ලෙස නිරන්තරයෙන් විමසන තවත් කාරණයක් ඇත.

ඒ තාරුණ්‍ය ඉක්ම වූ තරුණියන්ගෙන් විවාහ නොවන්නේ මන්ද යන කාරණයයි. එය සමාජය විමසිය යුතු ප්‍රශ්නයක් ද? ඔබ කාර්යාලයක සේවය කරන තාරුණ්‍ය තරමක් ඉක්ම වූ තරුණියක් නම් ඔබට මේ ගැන හොඳින්ම වැටහෙනු ඇත. දිනකට කී දෙනකු විවාහ නොවන්නේ මන්දැයි ඔබගෙන් විමසනු ඇද්ද? සැබැවින්ම අප මෙවැනි ප්‍රශ්න තව කෙනකුගෙන් විමසිය යුතු ද? විවාහ වීම, නොවීම එය ඔවුනගේ කැමැත්තය.

උපදින හැම මනුස්සයකුම විවාහ වී පවුලක් වීම අපේක්ෂා නොකරති.

මවුපියන්ට ඇය උපස්ථාන කරමින් ජීවිත කාලය පුරාම ඔවුන් වෙනුවෙන් කැපවූ දරුවෝ ගැන අපි දනිමු. තවත් සමහරු සසර ගමන ගැන අවබෝධයෙන් ධර්මානුකූල ජීවිතයක් ගෙවන්නට තීරණය කරති. එවැනි ගමන් මඟ යාම තුළින් ඔවුහු නිරාමිස සතුªටක් ලබති.

කෙනකුට දරුවෝ නොමැති වීම, කෙනකු විවාහ නොවීම, තවත් කෙනකුට වපර ඇහින් බැලීමට හේතුවක් නොවේ. ඇසුරු නොකරන්නට ද හේතුවක් නොවේ.

කවුරුන් හෝ අප සමාජයෙන් ප්‍රතික්ෂේප කළ යුත්තේ, කොන් යුත්තේ, ඔහු/ඇය සමාජයට හානිදායක තත්ත්වයක් ඇති කරන්නේ නම් පමණි. එනම් මත්ද්‍රව්‍ය බෙදා හරින්නන්, අලෙවි කරන්නන්, ගණිකා වෘත්තියේ නියැළෙන්නන්, සොරකම් කරන්නන් වැනි සමාජ විරෝධී ක්‍රියාකාරකයන් ය.