ඇයට, ඇය ගැන දැනෙන හැඟීම සොඳුරුයි නම්...

මාර්තු 27, 2019

කාන්තා දින මාසයේ මේ ගෙවෙන්නේ අවසන් දින කිහිපයයි. මාර්තු 8 වැනිදා යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය ලොව පුරාම උත්කර්ෂවත් අන්දමින් ඇයට ඉතා විශාල වටිනාකමක් ලබාදෙමින් සැමරූ බව අපි දනිමු.

කාන්තාවට පුරුෂ පාර්ශ්වයෙන් වන හිංසා, පීඩා සහ ඇයට හිමි නිසි තැන, අහිමිවීම වැනි කාරණා ඉස්මතු කරමින් වගේම ඇය අගය කරමින් පැවැති උත්සව අප රටපුරාමත් දුටුවෙමු.

මේ හැම තැනෙකදීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී දූෂණය, ලිංගික හිංසන, දැරිවියන් අපයෝජනයට ලක්වීම, ළමා අපයෝජනයෙන් ළමා පරපුර බේරාගැනීම මේ යනාදී වශයෙන් පුරුෂ පාර්ශ්වයෙන් බහුතරයක් කාන්තාවන්ට සිදුවන හිංසා, පීඩා, අවමන් පිළිබඳ කතිකාවතට බඳුන් වූවත් කාන්තාවට කාන්තාවන්ගෙන් සිදුවන පීඩාව, කෙනෙහිලිකම්, අවමානයට පාත්‍ර කිරීම මේ කොතැනකදීවත් අපට අසන්නට ලැබුණේ නැත.

කාන්තාවන් වන ඔබ අපගෙන් කාන්තා පරපුරට සිදුවන යම් යම් අපහසුතා වැරැදි අඩුපාඩු පෙන්වා දීමත් කාන්තා පුවත්පතක යුතුකමක්, වගකීමක් යැයි අපි සිතන්නෙමු. දැනුවත්ව හෝ නොදැනුවත්ම කාන්තාවන්ගෙන් කාන්තාවන්ට වන පීඩාවන් අවම කරගැනීම උදෙසා කාන්තා දායකත්වය කෙසේ විය යුතුද?

මේ ගැන කතා කරන්නට අප නිවෙසින්ම අරඹමු.

බොහෝ අම්මාවරුන්ට අද වනවිට තම දියණියන්ට හෘදයාංගම වීම අමතක වී ඇති සෙයක් දක්නට ඇත. වත්මනෙහි අම්මාවරුන්ගේ කාර්යබහුලත්වය හමුවේ තම දියණියන්ට ඇහුම්කන් දීමට වෙලාවක් නැති තරම්ය. රැකියාව අහවර වී කළුවර ඇඳිරියත් සමඟින් නිවෙසට ගොඩවන අම්මා සේම මුළු දවසම නිවෙසේ ගත කරන අම්මාට ද අද තම දියණියන් තමා ළඟට ගෙන ආදරය කරන්නට, ඔවුන්ගේ කතාවලට සවන් දෙන්නට තිබෙන ඕනෑකමත් එන්න එන්නම අඩු වෙලා.

රැකියාවේ ප්‍රශ්න සමඟ නිවෙසට ගොඩවන අම්මා ඒ පැමිණෙන්නේද තම ජංගම දුරකථනයේ එල්ලීගෙනය. එක්කෝ රැකියාවේ ප්‍රශ්නයකි. නැතහොත් වෙනත් සම්බන්ධයකි.

මව සමඟින් තම එදිනෙදා සිදුවීම් බෙදා හදා ගැනීමට මඟ බලා සිටින දියණියට තිබූ ඒ පුංචි කාලයේ ද අම්මා වෙනත් ප්‍රශ්න සමඟිනි. පාසලේ, අමතර පන්තියේ, දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ එසේත් නොවන්නේ නම් මෙහෙකාරිය සමඟ නිවෙසේ තනිවූ , හුදෙකලා වූ යොවුන් දියණියන් වෙනත් සබඳකම්, ක්‍රියාවන් කෙරෙහි යොමුවීම පුදුමයක් ද?

මවුවරුන් එතරම් නොසිතන මුත් දියණියන් වැරැදි මඟට යොමු වීමට මූලිකම හේතුව වන්නේ මවුගේ බැඳීමෙන්, මවු තුරුලෙන් දුරස් වීමත් සමඟිනි. දියණියන්ට තම මවගේ ආදරය ලිහිල් වූවොත් ජීවිතය අයාලේ යාමට තිබෙන ඉඩ කඩ වැඩිය.

කටේ කිරි සුවඳ යන්නට මත්තෙන් ආදර සබඳතාවල පැටලෙන්නේ මෙවන් දියණියන්ය. බොරු කියන්නට පටන් ගන්නේ මවු සෙනෙහසින් දුරස්වූ දියණියන්ය. ජීවිතය වරද්දා ගන්නේද මවු සෙනෙහසින් දුරස් වූ දරුවන්ය. එබැවින් ඔබේ දියණිය ළමා, වැඩිවියපත්, නව යොවුන් , තරුණ මේ කොයි අවධියේ පසු වුවත් දියණියට දැනෙන්නට සෙනෙහස දක්වන්න. ඉඩ ලැබෙන හැම මොහොතකම ඇයට ඇහුම්කන් දෙන්න. තුරුලු කරගන්න. තමන්ගේ ‘පණ’, “හුස්ම” බව දරුවාට දැනෙන්නට ඉඩ හරින්න.

දියණියන්ට තම මවගෙන් සිදුවන තවත් අසාධාරණයක් වන්නේ මව තම පුතුන්ට එක විදියකටත් දියණියන්ට තව විදියකටත් සැලකීමට පුරුදු වී සිටීමය.

කෑමක් බීමක් බෙදන විට වුවත් මුල් කොටස, ලොකු කොටස පුතාටය. මුදල් පරිහරණයේදී මෙන්ම ගමන් බිමන් යෑමේදී වුවද මුල් තැන පුතුන්ටය. දේපළ බෙදීමේදී ද වැඩි කොටස පුතාටය. එය මවුවරුන්ට එතරම් නොදැනුණත් දියණියන්ගේ හිතට වෙනස්කම දැඩිව දැනෙන මොහොතකි.

සතුට යනු මුදල්ම නොවේ. සුඛෝපභෝගී නිවාස ද නොවේ. භෞතික සැපසම්පත් තිබූ පමණින්ම අධ්‍යාත්මික සතුට ඉපදෙන්නේ නැත.

ආධ්‍යාත්මික සතුට හදවතට දැනෙන්නට නම් ආදරය හිමි විය යුතුය. විශේෂයෙන්ම මවගෙන් පිරී ඉතිරී යන ආදරයක් දියණියට ලැබෙන්නේ නම් ඒ දියණිය නොමඟට යන්නට වෙර නොදරයි. ඔබට සිටින්නේ දියණියක නම් ඔබ මේ ගැන වඩාත් සිතට ගන්න. ආදරය, සෙනෙහස, කරුණාව, දයාව පිරුණු ජීවිත දරුවන්ට ලබාදිය හැක්කේ එවන් ආදරණීය හැඟීම්වලින් අනූන අම්මා කෙනකුටම පමණි. ඔබත් එවැනි අම්මා කෙනකු වන්න. එවිට ඔබේ දියණියට සතුටුදායක පරිසරයක් ඉබේම ගොඩ නැඟෙනු ඇත.

ඔබ සතුටුදායක හිතැති දියණියක සකසන්නට හැකි අම්මා කෙනකු නම් ඔබ කාර්යාලයක ප්‍රධානියකු ලෙස කටයුතු කරන්නේ නම් එවන් ප්‍රධානියකු ලබන්නට සේවකයින් ද පින්කර තිබිය යුතුය.

මක් නිසාද දරුවන්ට දයාර්ද්‍ර වූ සෙනෙහස පිරි මවක් කිසිවිටෙකත් තමන් යටතේ සිටින සේවක සේවිකාවන්ගේ සිත රිදවා සතුටු නොවන බැවිනි. සේවා ස්ථානවලදී සමහර කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ට සලකන ආකාරය දකින්නට ලැජ්ජාසහගතය.

කාන්තාවක් ඉදිරියට එනවිට ප්‍රථමයෙන්ම විරෝධය පා කටකතා පතුරුවමින් අපහාසයට, අපහසුතාවයට පත්කරන්නේ තවත් කාන්තාවක් වීම සැබැවින්ම කණගාටුවට කරුණකි. නමුත් විය යුත්ත නම් යම් තැනක කාන්තාවක් ඉදිරියට එනවිට, ඉහළට යනවිට රැකියා ස්ථානයක ප්‍රධානියා වී පැමිණෙන විට අනෙකුත් කාන්තාවන් ඇයට සහයෝගය දක්වා සමගියෙන් කටයුතු කොට ආයතනයේ අභිවෘද්ධිය සැලසීමට එකමුතු වී වැඩ කිරීමය.

ඔබ රැකියාවක නියුතු කාන්තාවක් නම් දවසේ වැඩි කාලසීමාවක් රැඳී සිටිනුයේ කාර්යාලය තුළය. එම කාර්යාල පරිශ්‍රයේ ඔබ සිටින්නේ අසතුටින්නම්, අකැමැත්තෙන් නම් ඔබගේ ජීවිතය සාර්ථක යැයි කීම දිවට බොරු කිරීමකි. එසේම ඔබ එසේ සිතනවා නම් එය ඔබේම වරදකි. මෙවැනි වැරැදි නිවැරැදි කර ගැනීමට නම් ඔබ ප්‍රථමයෙන් කළයුත්තේ ඔබේ සිත කිලිටු සිතිවිලිවලින් නිදහස් කරගැනීමය.

ඔබේ සිත වෙළාගෙන ඇති අකුසල සිතිවිලි, බලාපොරොත්තු බැඳීම්වලින් ඔබ නිදහස් වන්න. එවිට ඔබට අනෙකා දෙස බලා සතුටු වීමට අහිතක් නොසිතේවි. කාන්තා ඔබ ඇය සහෝදරියක සේ දකින්න. මිතුරියක සේ සිතන්න. කාන්තාවක විසින් කාන්තාවක් අගතියට පත් නොකරන්න. එය ඔබ අපගේ වගකීමකි. මන්ද දහසක් ප්‍රශ්න මධ්‍යයේ ජීවත්වීමට වෙර දරන ඇයට අපත් අකාරුණික වන්නේ නම් ඇයට කාගේ පිහිටක් ද?

ඒ වගේම අවිවාහක තරුණියන්ට, දරු ඵල අහිමි කාන්තාවන්ට, දික්කසාද වූ බිරින්දෑවරුන්ට, දරුවන් සමඟ තනි වූ මවුවරුන්ට නිතර කාරුණික වන්න. ඔබේ උදවු අවැසි මොහොතක ඔබේ දෑත් ඔවුන්ට හෘදයාංගමව දිගු කරන්න.

මේ අපේම සහෝදරියක, දියණියක, මවු කෙනකු යැයි සිතා කටයුතු කරන්න. ඔබේ උපකාරය අවැසි මොහොතක අහක නොබලන්න. බස්රියක, දුම්රියක ගැබිණි සහෝදරියකට ආසනයක් පිරිනැමීමට පිරිමි අයකු දෙනතුරු බලානොසිටින්න. එවන් අයකුට ආසනයක් පිරිනැමීම තම වගකීමක් සේ සිතා ඉටු කරන්න.

සමහර කාන්තාවන් සතුටු වන්නේ තවත් කාන්තාවකගේ දෙනෙතට කඳුළු උනන අයුරු දකිමිනි.

තවත් විටෙක ඇයට තිබෙන තනතුරු, නිලතල අහිමි කරවීමෙනි. නැතහොත් අහිමි වූ විටදීය. තවත් පිරිසක් කේලම් පතුරුවමින් විරුද්ධවාදීන් ඇති කිරීමෙනි. මෙතුවක් කල් ඔබ අතිනුත් මෙවැනි වැරැදි සිදුවූයේ නම් එවැනි අකටයුතුකම් කිරීමෙන් දැන්වත් ඈත්වන්න. ඇයගේ අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඒවා කරුණාවෙන් පහදා දී අවබෝධකර වන්නට තරම් ඔබ නැණවත් විය යුතුය.

සමහර ආයතන තුළ කාන්තාවන් ප්‍රධානීන් වූ විට කාන්තාවන් තලා පෙළා පීඩාවට පත් කරන අයුරු ද දක්නට ඇත.

එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. තමන් කොතරම් උගත් වුවත් උපාධි පිට උපාධි ගත්තත් ඔබ අනෙකා අපහසුතාවයට ලක්වන ලෙස හැසිරෙයි නම් ඔබේ උගත්කමින් ඵලක් නැත. මානව ගුණයෙන් පිරිහුණු එවැනි ප්‍රධානීන් ද ආයතනවල නැතිවාම නොවේ.

කාර්යාලයේ, මඟතොටේ, බස්රියේ, දුම්රියේ මේ කොතැනත් කාන්තාවන් හට අගතියක් සිදු වනවිට තවදුරටත් අහක බලා නොඉඳ ඇය වෙනුවෙන් පෙනී හිටින්න පසුබට නොවන්න. සමාජයේ ඇයට හිමි ආරක්ෂාව, රැකවරණය ලබාදීමට වෙනදාට වඩා අපි හිතට ගනිමු. වැරැදි මාවතේ යන තැනැත්තියක් නම් ඇය නිවැරැදි මාවතට හරවන්න අපි මඟ පෙන්වමු.

එවැනි ජීවිත නඟා සිටුවීමට අපි එකමුතු වෙමු. අද පටන්ම මේ මොහොතේ සිටම කාන්තාවක් වූ ඔබ ඔබේම වර්ගයා දෙස සානුකම්පිතව, දයාවෙන් යුතුව හිතන්නට පුරුදු වුවහොත් එය කාන්තා පරපුරේ යහපතට ශක්තියක් වනු ඇත.