වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අවුරුදු සිරිතට පැළයක් සිටුවා පණ අදිමින් යන ජීවය රැකගමු
අප ජීවත්වන ලෝකය අපගේ නිවහන වැනිය. ගහකොළ ඒ නිවහන රැකදෙන මහා බලවේගයයි. මේ අහස යට, මේ මිහිතලය මත අප හුස්ම ගන්නා වාරයක් පාසා අපට ජීවය සපයන්නේ මේ ගහකොළය. පරිසරය අර්ථකථනය කරන්නට අපට නොහැකි වුවත් පරිසරය සුන්දර කරන, එය පවත්වාගෙන යනු ලබන පරිසරයේ ආරක්ෂකයා බවට පත්වන්නේ තුරුලතාවන්ය. අපගේ ජීවිතයට පණ පොවන මේ ජීවනාලිය අද අකල් ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතියි. ඒ අන් කවර දෙයකදු නිසා නොව මිනිසා වන අපගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසාමය. ගහකොළ නසා අප ලබාගත්තේ මොනවාද යන්න විමසා බැලුවහොත් ලබාගත් දෙයක් නැත. පටු අරමුණක් උදෙසා කර ඇති විනාශය මෙතෙකැයි කිව නොහැකිය. සිදුවී තිබෙන්නේම අප සතුව පැවැති වටිනාම දේ අහිමිවීම පමණි.
එපමණක් නොව මෙලොව වසන එක් කොටසකගේ අදූරදර්ශී ක්‍රියාවන් හේතුවෙන් අද සමස්ත ලෝකයම ගෝලීය උෂ්ණත්වය ඉහළයාම යන උණුසුම් ගැටලුවෙන් දැවෙමින් පවතියි. ගෝලීය උෂ්ණත්වය නිසි පරිදි පවත්වාගන්නට ගහකොළ අත්‍යවශ්‍යය. ඒවා විනාශකර දමා අපගේ අවශ්‍යතාවයන් සංකීර්ණව ඉටු කරගැනීමට යාමෙන් සිදුව ඇත්තේ හුස්ම පොද පවා අහිමිකර ගැනීමය. වන විනාශය නිසා දේශගුණික හා කාලගුණික සමතුලිතතාවය වෙනස් වීමෙන් අකල් වැසි, දරුණු නියඟ ආදී ස්වභාවික ව්‍යසනයන්ට මුහුණ දෙමින් සිටිමු. අනාගතයේ දී ද එය මීටත් වඩා දරුණු වනු ඇත. වන විනාශය නිසා පොළොව නිරාවරණය වීමෙන් දිය උල්පත් පවා සිඳී ගොසිනි. අහසින් වැටෙන දිය පොද පවා පොළොවට උරාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. වන සතා සිවුපාවා මියයමින් සිටී. ඉතිරිව සිටින වන සතුන් පවා සිය වාසස්ථාන අහිමි වීමෙන් අතරමං වී ඇත. ඇතැම් අවස්ථාවල වන සතුන් ගම්වැදී තම ඵලදාවන් විනාශ කර, තම ජීවිතවලට පවා තර්ජනයක් වී ඇති බවට නොයෙක් මැසිවිලි නඟන්නේ ද මේ විනාශයට හේතු වූ මිනිසාමය.
දුර දිග නොබලා ඔවුන් කළ විනාශයන් අද වක්‍රාකාරව ඔවුන් වෙතම පැමිණෙමින් තිබේ. මිනිසාගේ මුලික අවශ්‍යතාවයන් අතර පවතින නිවාස, ගොඩනැගිලි සෑදීමේ දී දැව අත්‍යවශ්‍ය සාධකයක බවට පත්වී ඇත. තමාගේ අවශ්‍යතාවට ගහක් කපාගැනීමේ වරදක් නැත. නමුත් ඉන් එහා ගිය ව්‍යාපාරික අරමුණු උදෙසා ගස් කපා දැමීම නම් කොහෙත්ම අනුමත කළ නොහැක. අප මුතුන් මිත්තන් තමාගේ අවශ්‍යතාවයට ගහක් කපාගනු ලැබූවේද ගසට වැඳ අවසර ගෙනය. ඒත් සිතකින් නොවේ. එහි හිස්තැන පිරවීමට ඔවුන් නව පැළයක් සිටුවීම අනිවාර්යයෙන්ම සිදු කළහ. එය කෙතරම් කාලෝචිත ද යන්න අද ඔබටම හොඳින් වැටහෙනවා ඇත. විය යුත්තේ ද එයම නොවේද? එය තමාගෙන් පරිසරයට සිදු වූ හානියට වන්දි ගෙවීමක් බඳුය.
ගහකොළ රැකගැනීම උදෙසා සමාජ මාධ්‍ය , විවිධ රූපවාහිනී නාලිකා තුළින් මේ වන විට නොයෙක් වැඩසටහන් ආරම්භ කොට තිබීම නම් අගය කළ යුතුයි. නමුත් එය එක් දිනකට පමණක් සීමා කිරීම ප්‍රමාණවත් නොවේ. එහි වටිනාකම හොඳින් ජනතාවට අවබෝධ කරදිය යුතුය. මෙය සිටුවන්නේ අප වෙනුවෙන් පමණක් නොව මතු පරපුර වෙනුවෙන් බවත් ඒවා රැකගත යුතු බවත් අවබෝධ කරවිය යුතුය. එවිට ලෝකය වෙනස් කිරීමට පෙර තනි තනිව හෝ සැවොම වෙනස් විය යුතු බව ඔවුන්ම අවබෝධ කොට ගනීවි.
කුඩා කල පටන් දරුවන්ට ගහකොළෙහි වටිනාකම කියා දිය යුතුය. ගසක් වැවීම දරුවෙක් හදාවඩා ගන්නවා තරම්ම උතුම් දෙයක් බවට පත්කරගැනීමේ කාලය එළඹ ඇති බව සිතේ. වර්තමානයේ කුඩා දරුවන්ට සිය කාර්යබහුල මාපියන් සමඟ නිදහසේ කතාබහ කිරීමටවත් කාලයක් නොමැත. එහෙයින් ඔවුන් ගහකොළෙහි වටිනාකම දන්නේ නැත. ඒ කාරණයේ දී දරුවන්ගේ වරදක් ද නොමැත. එහි වගකීම බාරගතයුත්තේ වැඩිහිටි අපිමය. දරුවා ජිවිතය, ලෝකය හඳුනාගැනීමට වෙරදරන අවධියේම පරිසරයේ වටිනාකම ඔවුන්ට දැනෙන්නට හැරිය යුතුය. පරිසරය දකින්නට, විඳින්නට, රකින්නට ඔවුන් පෙළඹවිය යුතුය. එවිට එය ඔවුන්ගේ ජීවන රටාවට ඇතුළත්වන්නේ නිරායාසයෙනි.
වර්තමානයේ රටක්, ලෝකයක් වශයෙන් මුහුණ දී තිබෙන මේ දැවැන්ත ගැටලුවට පිළියම් සෙවිය හැක්කේ එලෙසිනි. මතු පරපුරට ගහකොළෙහි වටිනාකම අවබෝධ කරවා එය රැකගන්නට යොමු කළ යුතුය. අප දිගුකලක් තිස්සේ පවත්වාගෙන එනු ලබන දෙයක් පුරුද්දක් බවට පත්වේ. පරිසරයට නැවත පණපොවන්නට අපට හැකිවන්නේ එවිටය. එක් ගසක් ලබාදෙන ඔක්සිජන් ප්‍රමාණය පුද්ගලයන් 08 දෙනකුට ප්‍රමාණවත් බව සොයාගෙන ඇත. පරිසරයේ අහිතකර වායූන් උරාගෙන නැවත පිරිසිදු ඔක්සිජන් අප වෙත ලබාදෙන ගහකොළ සමඟ අප ආත්මගත බැඳීමක් ඇතිකරගත යුතුය. පුංචි ඉඩකඩක වුවද ගසක් සිටුවා එය රැකගැනීමට තරම් පුංචි කාලයක් අපේ ජීවිතවල තිබිය යුතුමය. එයින් වුවද අප මිහිතලය රැකගැනීමට ලබාදෙන්නේ මහඟු දායකත්වයකි. මේ විනාශය තවත් සිදුවුවහොත් මිහිතලය දැවීයන දිනය වැඩි ඈතක නොවනු ඇත. එහෙයින් අපට හැකි පමණින් අප එය වළක්වා ගත යුතුය.
තව නොබෝ දිනකින් සිංහල අලුත් අවුරුද්ද සැමරීමට අප බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. පෙර සිටම සිංහල අලුත් අවුරුදු පණිවුඩය රැගෙන එන්නේ එරබදු මල් පිපීමෙනි. නිවෙස අසල ගසක සිට මිහිරිව නාද දෙන කොවුලාගේ නාදයෙනි. නමුත් වර්තමානයේ ඒ සුන්දර දසුන් දැකිය හැකිද? ඇසිය හැකිද? එසේ වනවා නම් ඉතාම කලාතුරකින් පෙදෙසකිනි. මේ මිනිසා නොසිතා, නොබලා කළ ක්‍රියාවන්හි ප්‍රතිඵල නොවේද? සිංහල අවුරුදු සමයට පිපෙන මල්, දසත පැතිරී තිබුණ පලතුරු අද කොහේ ගිහින්ද? ගතට දැනෙන සෞම්‍යය අවුරුදු සිරිය වෙනුවට අද දැනෙන්නේ විඩාබර බවකි. සිරුර දැවීයන තරමේ රස්නයකි. ගහකොළවල දැවටෙමින් හමා ආ ඒ සිසිල් පවන් රැල් අද ගම්මානය පවා අතැර ගොසිනි. නැවත නොඑන්නටම මෙන් අතැර ගොසිනි. එය නැවත ගෙන්වාගත යුත්තේ ද අපිමය. ඒ සඳහා අප උත්සාහ ගනිමු. මෙවර සිංහල අවුරුද්දට ඒ වෙනුවෙන් මූලික අඩිතාලම දමමු.
මෙවර සිංහල අලුත් අවුරුදු සිරිතට පවුලේ සියලුදෙනාම එක්වී පැළයක් සිටුවා පරිසරය රැකගැනීමට දායක වන ලෙස අප ඔබට ආදරයෙන් ආරාධනා කරන්නෙමු. අප එලෙස ක්‍රියාත්මක වීමෙන් මතු පරපුරද එයට හුරුපුරුදු වනු ඇත. අවවාදයට වඩා උතුම් වූ ආදර්ශය ක්‍රියාවට නංවමින් හුස්ම පොද රැකගැනීමට අප දිවිහිමියෙන් ඇප කැපවෙමු.