සියලු කරුණු සලකලා තමයි විභාගයට දින නියම කළේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
පෙබරවාරි 7, 2022

කොරෝනා වයිරසය අපේ රටට ඇතුළු වූ දා සිට ගෙවී ගිය කාල වකවානුව තුළ ජන ජීවිතය අඩාල විය. ආර්ථිකය කඩා වැටුණු අතර සමස්ථ රටම ගමන් කළ දිශානතිය වෙනස් විය. කිව නොහැකි මරු පහරක් එල්ලවූයේ මේ රටේ සිසු දරුවන්ගේ අධ්‍යාපනයටය.

එතෙක් පන්ති කාමරයක් තුළ ඉගෙන ගත් ක්‍රම වේද සියල්ල උඩු යටිකුරු වුණු අතර මාර්ගගත ක්‍රමයට හුරුවන්නට දරුවන්ට සිදුවිය. මොන තරම් විශිෂ්ට යැයි කීවද කිසිම දුරකතන සමාගමකට ලංකාවම ආවරණය කරන්නට නොහැකි වුණු අතර බස්නාහිර පළාතේ පවා ඇතැම් ගම් වලට සංඥා පහසුකම තිබුණේ මඳ වශයෙනි. මේ නිසා දුෂ්කර ප්‍රදේශ වල සිසු දරු දැරියෝ, ගුරුවරු දැඩි අපහසුතාවන්ට පත්වුණු අතර අධ්‍යාපනය ලබාදීමත්, ඉගෙනීමත් නිසි පරිදි සිදු නොවිණි. මේ සියලු අභියෝග හමුවේ කෙසේ හෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි වෙහෙසක් ගෙන තිබුණු අතර අද (07වැනිදා) අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙයි. මේ පිළිබඳව කතා බහ කරන්නට අප තෝරාගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාවයි. එතුමන් ඉතාමත් දුෂ්කර ලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කර මහාචාර්ය වරයකු වීම දක්වා පැමිණි ගමන් මඟ පවා සිසු දරු දැරියන්ට ආදර්ශයකි. මේ ඔහු තරුණී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

 දරුවන්ගේ අධ්‍යාපනයට එල්ලවුණු මේ අභියෝගය අලුත්ම එකක්. ඒ ගැන ඔබතුමන්ගේ අදහස

දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම ඇරැඹුණේ 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක. 2019 අප්‍රේල් මාසයේ 21 පාස්කු ප්‍රහාරය නිසා මැයි වෙනකම් අපි පාසල් වහලා තිබෙනවා. 2018 දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙලා 2019 මාර්තු අප්‍රියෙල්වල ප්‍රතිඵල පැමිණි ළමයි තමයි මේ උසස් පෙළ විභාගයට වාඩිවෙන්නෙ. මේ පන්ති පටන් අරගෙන කරගෙන යනවිට අපිට (2019 දෙසැම්බර් වෙනකොට) ආරංචි වෙනවා වූහාන්වල කෝවිඩ් කියලා අලුත් වයිරසයක් ගැන. ඒක අපේ රටට පැමිණීමත් එක්ක පාසල් වහනවා. ඒක අලුත් අත්දැකීමක්.

ඒ සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රභල අභියෝගයක් එල්ල කරනවා 2018 අපොස සාමාන්‍ය පෙළට ඉදිරිපත් වෙලා 2019 අපොස උසස් පෙළ පටන් ගත්තු කණ්ඩායම.

විභාගය පවත්වන්න දින නියම කරගත්තේ මොන පදනමක සිටද?

මේ විභාගය තියන්න තිබුණෙ 2021 අගෝස්තු මාසයෙ. ඇයි මේ කඩිමුඩියෙ 2022 පෙබරවාරි 07 වැනිදා විභාගය තියන්නෙ.

නමුත් අර විදිහෙ කාල වකවානුවක දරුවො 2019 අවසන් වාරයේ (පළමු වාරය) 2019 මාර්තු 13 වහනවා. ඊට පස්සේ කඩින් කඩ අරිනවා.

දෙවැනි කෝවිඩ් රැල්ල එනවා. මිනුවන්ගොඩින් පටන් ගන්නවා. 2020 ඔක්. 20 පොලිස් බලප්‍රදේශ 19ක් හුදකලා කරනවා. අපි අභියෝග මැද්දේ ඔක්තෝබර් මාසෙ අපි අපොස උසස් පෙළ විභාගය තියනවා. ශිෂ්‍යත්ව විභාගය තියනවා 10 වැනිදා. එහෙම තියද්දි කිසිම විදිහකට අධ්‍යාපන අමාත්‍යංශයට හුස්ම ගන්නවත් විදිහක් නැහැ. මොකද කොළඹට ළමයි ගේන්න බැහැ. හුදකලා කරලා තිබුණෙ ගම්පහ පොලිස් බල ප්‍රදේශ.කොළඹ කියන්නෙ වැඩිම ජනප්‍රිය පාසල් ගණනක් තිබෙන අපොස උසස් පෙළ දරුවන් වැඩිම පිරිසක් රොක්වන දිස්ත්‍රික්කය. අපි අමතර මධ්‍යස්ථාන 12 තියල විභාගය ඉතාම සාර්ථකව කෝවිඩ එක්ක කරනවා. එන්නත්කරණයක් මොකක්වත් නැහැ.

ලංකාව එන්නත් කරණයෙන් ලෝකයේ තුන්වැනි තැන දැන් ඉන්නෙ. එතකොට මේ දරුවන් පිළිබද 2021 නොවැම්බර් මාසෙ තමයි අපි දෙවැනි පාරට කල්දාලා තියන්න තීරණය කරල තිබුණෙ.

නමුත් මේ අවස්ථාව වෙනකොට දරුවෝ කියනවා විභාගය කල්දාන්න කියලා. ඉතින් දරුවන් එක්ක සාකච්ඡා කරලා සියලු කරුණු සලකලා තමයි විභාගයට දින නියම කළේ. දරුවකුගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය මේ ප්‍රශ්නය හමුවේ දෝලනය වනවා.

ඒ අතර නව අමාත්‍යවරයෙක් පත්වෙනවා. ඉතින් දරුවන්ට දෙගිඩියාවක් ඇතිවනවා විභාගය පිළිබඳ.

හිටපු අමාත්‍යතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයට ගියාට පස්සේ පත්වුණු නව අමාත්‍යතුමා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අප ගෙන ගිය වැඩ පිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යන්නට පූර්ණ ආශිර්වාදය සහ මඟ පෙන්වීම ලබා දෙනවා. දරුවන්ට ඒ වගේ අදහසක් ආවත් අපි දරුවන් බොහෝ දෙනෙක් සමඟ කතා කරලා නියමිත දිනයට මාස 5කට පසු පෙබරවාරි මාසයේ විභාගය තියන්න තීරණය කරනවා.මේ කාලවකවානුව දෙන්නේ ගොඩක් දේවල් හිතලා. අපේ ඉදිරි සැලසුම තිබෙන්නේ මේ 2020 දරුවන්ට කොයිතරම් විෂය කටයුතු බාධාවක් වුණාද බස්නාහිර පළාතෙත්, සෙසු පළාත්වලත්. 2021 පාසල් ඇරලා තියන්න පුළුවන් වුණේ දවස් 194ක් වගේ.ඒ දරුවන්ට අනිවාර්ය ඉගෙනුම් අවස්ථා මොනතරම් අහිමි වුණාද කියලා හිතන්න ඕන.

විශ්ව විද්‍යාල ගත්තම පළමුවැනි වසරට එන්නෙ අපොස උසස් පෙළ දක්වා ඉගෙන ගත්තු කරුණු වැඩ 3 ලියලා. උදාහරණයක් විදිහට අපොස සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළට ආවම කොච්චර අමාරු විභාගයක්ද කියලා හිතෙනවා.

හැබැයි විශ්ව විද්‍යාලයට ගියාම තමයි තේරෙන්නෙ මේකෙ තියන අමාරුකම.

පසුගිය වසර දෙක දරුවන්ට ඉගෙන ගන්න සිදුවුණේ මාර්ගගත ක්‍රමයට. එය සාර්ථකයි කියලා හිතනවද?

අර අවුරුදු 13 ඒ විදිහෙ අත්දැකීමක් එක්ක තමයි මම අධ්‍යාපන ලේකම්වරයා විදිහට, අපේ කණ්ඩායමත් එක්ක ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක කල්පනා කළේ මේ ඉගෙනුම් ක්‍රම ගැන. කෝවිඩ් 19 තුළ සංචරණ සීමා අධිකව තියෙනකොට අපිට දරුවන්ට උගන්වන්න තිබුණෙ දුරස්ථ මාර්ගගත ක්‍රමය විතරයි. නමුත් ඒකෙදි අපි දන්නවා සංඥා තිබුණෙ නැහැ. අපි ඒ සියලු දේවල් හොයලා තියෙන්නෙ. දුරකතන සංඥා නැති පාසල් කොපමණද කියලා.

එක් එක් පළාතේ, එක් එක් කොට්ඨාසයේ දත්ත සියල්ල අපි ළඟ තිබෙනවා.අපිට අවස්ථාවක් ලැබුණා මේ ගැන හරියටම දැනුවත් වෙන්න. කොච්චර සුහුරු දුරකතන තිබුණත් ජංගම දුරකතන ජාලා ආයතනවලින් කොච්චර මාධ්‍ය ප්‍රචාරණයක් තිබුණත් අපි දැක්කා කොයිතරම් මේ ආවරණය අඩුද කියලා.

 

මුළු ලංකාවම ආවරණය කරනවා කියලා කිව්වට එකම රූපවාහිනී නාළිකාවක් වත් ගුවන් විදුලි නාළිකාවක්වත් කොකාවිල් වලින් එහා පැත්තට පේන්නෙ නැහැ. ඇහෙන්නෙ නැහැ.

ඉතින් අපි ඒ නිසා දුරස්ථ මාර්ගගත ඉගැන්වීම් බිංදුවයි කියලා තමයි සලකන්නෙ.

නිසා ඉගෙනුමක් සිදු නොවුණු බව පිළිගන්න ඔබ ඒ ගැන ගත් ක්‍රියාමාර්ගය

මාර්ගගත ඉගැන්වීම් බිංදුවයි කියලා අපි තීරණය කළා තුනේ පංතියේ වැඩ පටන්ගන්න කලින් දෙකේ පන්තියෙ පරිසරය, ගණිතය ඒ කාලච්ඡේද ටික ආවරණය කරන්න බැරිවුණා නම් ඒකට අවස්ථාව දෙන්න. මේක ශිෂ්‍යත්වයට වෙනම කතාවක්. උසස් පෙළට වෙනම කතාවක්. මේ ගමන එන්නෙ 2019 මැයි ඉඳලා. 2021 අගෝස්තු දක්වා ඒ කාලය තුළ දරුවන්ට ඉගෙනුම අහිමි වෙනවා.

2021 ගත්තම අනිවාර්යයෙන් අගෝස්තු මාසයට සාමාන්‍ය පරිදි උගන්වන්නේ වාර දෙකයි. ඒ කියන්නේ 2021 පළමු වාරය සහ දෙවැනි වාරය. ඒක තමයි ශිෂ්‍යත්වෙට නමුත් අපි ගණනය කරන්නෙ 2021 දෙසැම්බර් 31 දක්වා අනෙක් ශ්‍රේණිවලට.

ඒ නිසා තමයි කොච්චර ප්‍රශ්න ඇහුවත් උත්තරේ දෙන්න තියෙන්නෙ අපි මේක ගණනය කරලා මාස 5ක් දීලා තියෙන්නෙ.

ඇත්තටම දරුවන්ට සූදානම් වෙන්න කාලයක් තිබුණාද?

ඊට අමතරව අපි බැලුවා මේ එන චෝදනා, ඉල්ලීම් එක්ක සාධාරණ වෙන්න ඕන කියලා. ඇත්තටම ගත්තොත් විභාගයට හොඳටම සූදානම් වුණු දරුවො කතා කරලා කියනවා අපිට නොවැම්බර්ම තියන්න කියලා. අපි එහෙම කළේ නැහැ. අපි දෙසැම්බර් තිබ්බෙත් නැහැ. අපි ජනවාරි තිබ්බෙත් නැහැ. ඒ තිබ්බෙ නැත්තෙ අපි කණ්ඩාම් සියලුම දෙනා ගැනම බැලුව නිසා. දැන් අපි පෙබරවාරි 07 විභාගය තිබෙනවා කියන තීරණය දෙන්නෙ නොවැම්බර් වලට කලින්. ඉතාම හොඳට දරුවන්ට විභාගයට සූදානම් වෙන්න අවස්ථාව තිබුණා. එහෙම නම් ඒ අවස්ථාවේ කියන්න ඕන අපිට කාලය මදි කියලා. ඒ නිසා ඒ සියලුම දේවල් සලකලා බලලා තමයි විභාගයට දින නියම කළේ.

කෝවිඩ් වයිරසය මොන තරම් දරුණු වුණත් එය පාලනය කරන්න සෞඛ්‍ය අංශවලට හැකිවුණා.

මෙතැනදි අපි සෞඛ්‍ය අංශවලට විශේෂ ස්තුතියක් කරන්න ඕන. මොකද අපි ළමයි ගෙන්වා ගත්තෙ කඩින් කඩ. නමුත් ලංකාවෙ ගත්තම 92%ක් විතර තියෙන්නෙ එක පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව දාහට අඩු පාසල්. දාහට වැඩි පාසල් තියෙන්නේ 8%යි. ළමයි 500ට අඩු පාසල් තියෙනවා 78%ක්. (7582 පමණ) එතකොට අපි ළමයි 200ට අඩු පාසල් තිබෙනවා 5131ත් 51%ක්. එක ළමයෙක් ඉන්න පාසල් 2ක් තිබෙනවා. 100ට අඩු පාසල් 2962ක් විතර 51 - 100 අතර.

මේවායේ බහුතරයක් තිබෙන්නේ ප්‍රාථමික පන්ති. ප්‍රාථමික පන්තිවලට මේ අඩිතාලම හොඳට වැටෙන්න ඕන. මේ අය අකුරු ටික හොඳට දැනගෙන තියෙන්න ඕන. කතා කරන්න පුළුවන් වුණාට අකුරු නැතුව මොනවත් කරන්න බැහැනෙ. ඉලක්කම් ටික හඳුනගන්න ඕනනෙ. සාක්ෂරතාව අතින් හොඳ අභිමානයක් තිබෙන රටක් විදිහට මේක කොහොමද ආරක්ෂා කරගන්නෙ කියන එක අපි හිතන්න ඕන. වඩාත් දියුණු කරන්නෙ කොහොමද කියලා.

ඔබ අධ්‍යාපන ලේකම්වරයා ලෙස අධ්‍යාපනයේ විටනාකම ගැන මොකද හිතන්නේ.

හරිම ලේසියි විභාග කල්දාන්න. කල්දාන්න කිසිම හේතුවක් ඕන නැහැ. නමුත් අධ්‍යාපන ලේකම් මුළු රටකම අධ්‍යාපනයට වගකියන්න ඕන.

අධ්‍යාපනයක් නැත්නම් හොඳ නරක තේරුම් ගන්න බැහැ. සමාජයේ සියලුම ප්‍රශ්නවලට මුල තමයි අධ්‍යාපනය. මා ඔබට කතා කරන භාෂාව, මා ඔබට කතා කරන විලාසය, මා ඔබට කතා කරන ස්වරය අනුව තමයි අපි ඉදිරියට යන්නෙ.

හොඳ අධ්‍යාපනයක්, පුහුණුවක් තිබෙනවා නම් මට මනා සංයමයකින් යුතුව කතා කරන්න පුළුවන්. මම හැම තිස්සෙම කියන්නෙ මට උගන්වපු ගුරුවරුන්ට මම කෘතගුණ සලකන්නෙ ඒ උගන්වපු දේවල් මගෙන් විහිදෙන්න ඕන.

අධ්‍යාපනය කියල මට කියන්න තියෙන්නෙ මේ සමාජ ස්ථරයේ තිබෙන ස්වභාවධර්මයේ තියෙන සියලුම දේවල් හොඳින් වටහාගන්න ඕන. හොඳින් අවබෝධ කරගන්න ඕන. සරලම දේ තමයි හුස්ම ගන්න කොට ඒ කරන ක්‍රියාව.

ඉගෙනුම් අවස්ථාව මඟ හැරීමෙන් වැඩියෙන්ම පාඩු වුණේ 1 වසරේ දරුවන්ට. ඔවුනට අහිමිවුණු කාලය ගැන කතා කළොත්

එක වසරේ ළමයෙක් මොනවද ඉගෙන ගන්න ඕන කියලා අපි හඳුනාගත්තා. අකුරුටික, ඉලක්කම් ටික එකතු කිරීම, අඩු කිරීම ඉගෙන ගන්නවද කියන එක ගැන අපි හිතුවා.

ඒ අහිමිවුණු දේ ඉගෙන ගන්න කාලච්ඡේද කොයි තරම් ප්‍රමාණයක් ඕනද කියන එක ගණනය කරලා තමයි සති 20ක් කියලා ගත්තෙ. ඒ කියන්නෙ මේ දවස්වල 2 ශ්‍රේණියෙ ඉන්න දරුවෙක් (2022 2 ශ්‍රේණිය) තාම ඉගෙන ගන්නෙ පළමු වසරේ ඒවා.

ගමේ ඈත දුෂ්කර පාසල්වල දරුවන්ට online ඉගෙන ගන්න පහසුකම් තිබුණෙ නැහැ. ඒ නිසා විභාගය ප්‍රශ්න පත්‍රයෙන් සහනයක් ලබා දෙන්න අදහසක් නැද්ද?

එහෙම සහනයක් දෙන්න බැහැ. ඒකට හේතුව අපි කැබිතිගොල්ලෑව ගත්තොත් එතැන තිබුණෙ 5% - 12%යි. ඒ දරුවන්ට සංඥා නැතිකොට ඔවුන් තමයි අඩුම තිබුණෙ. ලංකාවේම තොරතුරු මම ළඟ තිබෙනවා. කොට්ඨාස 312ක් තිබෙනවා. අධ්‍යාපන කලාප 100ක් තිබෙනවා. අපිට ගුරුවරු 242000ක් ඉන්නවා. කලාප අධ්‍යක්ෂවරු ඉන්නවා. විෂය අධ්‍යක්ෂවරු ඉන්නවා. අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය අධ්‍යක්ෂවරු ඉන්නවා. මේ අයගෙන් තොරතුරු අරගෙන අපි හිතුවා කැබිතිගොල්ලෑවෙ 5% සහ 12% අතරේ නම් තිබුණේ ඒ ළමයට කිසිසේත්ම අපට බැහැ විභාගයක් විෂය නිර්දේශය අඩුවෙන් තියන්න. කිසියම් ශිෂ්‍යයකු විෂය කරුණක් මගහැරුණා නම් අපි මාස 5ක් කල්දීලා තිබෙනවා ඒ ටික ආවරණය කරගන්න.

දරුවන් විභාගයට සුදානම් කරන අම්මලාට තාත්තලාට ඔබ දෙන පණිවුඩය

මම හැම තිස්සෙම කියන්නේ අම්මලාට තමන්ගේ දරුවන්ට දයාව කරුණාව ආදරය සමඟ ආශිර්වාදය දෙන්න. මටත් භාර්යාවක් ඉන්නවා. මට දරුවො දෙන්නෙක් ඉන්නවා.

මගේ අම්මා මට මේ ටික දුන්නා. මට තාත්තෙක් හිටියෙ නැහැ. අම්මා දරුවෙකුට කොයිතරම් නම් ආදරෙයිද කියලා මාස 9ක් දරුවා කුසේ තියාගෙන බිහිකරලා ලේ ටික කිරි කරලා දීලා කොයි තරම් නම් කැපකිරීමක් කරනවද? අධ්‍යාපනය අඩු අයට මේ ටික තේරෙන්නෙ නැහැ. සතා සිවුපාවා වුණත් තමන්ගෙ දරුවාට පණමෙන් ආදරෙයි. ඒ නිසා කාන්තාවන් ඒ කියන්නේ අම්මලාගෙන් තමයි මේ දරුවන් පෝෂණ වෙන්නෙ. ඇගේ මොළය තමයි දරුවාට එන්නෙ.ඒ නිසා මට කියන්න තියෙන්නෙ මව්වරුනි, සමාජයේ හොඳ දේ විතරක් උකහාගෙන දරුවාට හොඳ දේ උගන්වන්න. නරක දේවල් උගන්වන්න එපා.ඔබ ඇස්දෙක පියාගෙන හිතන්න. මා මගේ දරුවාට ගෙදර වාතරවරණය හැදුවාද? හොඳ දේවල් කිව්වද? මගේ කතා බහෙන් වචනයකින් හරි වැරැදි වචනයක් කියවුණාද?මා ගෙදර යම් විදිහකට නරක විදියට හැසිරුණාද? ඒ දෙයින් ළමයා ආභාෂයක් ලබනවා. ඒ නිසා අධ්‍යාපනය කෙරෙහි ළමයා මැරවීම නෙමෙයි තියෙන්නෙ ළමයාට නිදහස දෙන්න. ළමයාට හරි මඟ යන්න මාර්ගාවබෝධය දෙන්න.

හොඳට කල්පනා කරලා බලන්න තමාගේ ජීවිතය දිහා. තමාට මුදල් නොතිබුණානම්, අධ්‍යාපනය පිළිබඳව ලොකු උනන්දුවක් නැතිවුණා නම් අම්මා තාත්තා කියන දේ ඇහුවෙ නැත්නම් ඒකෙ විපාක තමයි අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි දැන් අවස්ථාව තිබෙනවා මේ දේවල් අහගෙන තමාට නොලැබුණු, අහිමිවුණු දේ දරුවාට ලබාදෙන්න.

ඉතින් ඒ නිසා මට නොලැබිච්ච දේවල් ලබා දෙන්න මම කල්පනා කරනවා.

දරුවන්ගේ අනාගතය රැඳී තිබෙන්නේ මව්පියන් වැඩිහිටියන් මත. ඇත්තටම මේ වගේ කාලයක ඔවුන් හැසිරෙන්න ඕන කොහොමද?

 

තමාගේ දරුවාට අනිවාර්යයෙන්ම හොඳින් ආදරය කරන්න. ආශීර්වාද කරන්න දරුවාව කොටු කරන්න එපා. දරුවාට නිදහස දෙන්න. ඔබ ධර්මයෙහි හැසිරන්න. ඔබ ආදර්ශමත් වෙන්න. දරුවා ඉබේම හැදෙයි. මේක විභාග පාස්වෙන්න විතරක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නෙ ‘යහපත්, පිරිපුන්, සමබර පුරවැසියෙක්‘අධ්‍යාපනය ලබා දෙන්නෙ කාට පින්සිදු වෙන්න.

තනතුර දක්වා එන්නේ ඔබේ ළමා කාලය ගැන කියමුද?

මම ඉපදෙන්නේ වෑවිට කියන ගමේ. 1962 නොවැම්බර් 09 බදාදා රෑ 9.45 ට ගෙදරම තමයි ඉපදිලා තියෙන්නේ. අම්මා කාමරේම තමයි මට උප්පත්තිය දීලා තියෙන්නේ. තාත්තා ගෙදර ඉඳලා නැහැ. මට අවුරුදු තුනයි මාස තුනක් වගේ වෙනකොට තාත්තා මිය යනවා. අම්මා මට උගන්වන්න සෑහෙන්න දුකක් වින්දා. මම අකුරු කරන්න පෙර පාසල් යන්නේ පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයට. මට තාම මතකයි කන්‍යා සොහොයුරියන් නාරංබික් එහෙම දෙනවා. ඊට පස්සේ වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. එතැනින් එකේ ඉඳලා 5ට වෙනකම් ඉගෙන ගන්නවා. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට 6 පන්තියේ තරග විභාගයට යනවා. මගේ අංකය එස් 28. මම පාස් වෙන්නේ 8 වැනියට. ඒ පාසලේ උසස් පෙළ දක්වා ඉගෙන ගෙන සමත්වෙනවා. ඒ අතර විෂය භාගිර ගොඩක් දේවල් කළා. ක්‍රීඩා කළා. කැඩේට් කළා. විශේෂයෙන් මම ජනාධිපති බාලදක්ෂයෙක් වුණා. බොහෝ දේවල් සුන්දර විදිහට තමයි කළේ. අදටත් අපි පන්තියේ හිටපු යාළුවෝ අවුරුද්දකට සැරයක් එකතුවෙනවා.

අම්මා මට උගන්වන්න කොච්චර මහන්සි වුණාද කන්න බොන්න නැතුව කොච්චර දුක් වින්දාද කියලා මට හොඳටම මතකයි.

ඔබ විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක්. ඉතාමත් පුංචි තැනකින් පටන් ගෙන මේ දක්වා පැමිණි ගමන් මඟ ගැන කතා කරමු.

ළමා කාලයේ පොතේම හිටියෙ නැහැ හොඳට සෙල්ලම් කළා. උසස් පෙළ හොඳ ප්‍රතිඵල අරගෙන කැඩෙටින් කරපු නිසා මට ආසාවක් තිබුණා නාවික හමුදාවට බැඳෙන්න. මොරාජි දේශායි ඉන්දීය අගමැති තුමා ආවට පස්සේ ජනාධිපති බාලදක්ෂයෙක් විදිහට දැන් තියෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ පඩිපෙළේ හිටියා. මගේ අනෙක් පැත්තේ හිටියෙ ආනන්ද විද්‍යාලයේ පාලිත වීරසිංහ. එයා නාත්තන්ඩියේ දුන්කන්නාවෙ තැපැල් ස්ථානාධිපතිගේ පුතා. එයා නාවික හමුදාවට බැඳුණා. ඉතින් මටත් හිතුණා නාවික හමුදාවට බැඳෙන්න ඕන කියලා.

ඒකටත් වාසනාවක් ආවා. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය ආරම්භ කළා. මම උස අඩි 5 අඟල් පහමාරයි. රාත්තල් 95 බර. පපුව 34ක් තිබුණා. ඒ වෙනකොට මගේ උසස් පෙළ ප්‍රතිඵල අනුව මොරටුව විශ්ව විද්‍යාලට තේරිලා හිටියා.

ඉතින් උස නැති වුණාට බර නැතිවුණාට මොරටුවට තේරිලා හිටපු එක වාසනාවක් වුණා, රුකුලක් වුණා කොතලාවල එකට මාව තෝරාගන්න. ඉතින් මේ දෙකම එකටම තමයි කළේ. මම එතැනත් හොඳට ඉගෙන ගත්තා. යාන්ත්‍රික ඉංජිනේරු කණ්ඩායමේ දෙවැනියා වෙන්නේ මෙතැනත් දෙවැනියා වෙනවා. ඊට පස්සේ නාවික හමුදාවට බැඳිලා එතැන පළමු වැනියා වෙනවා.

ෆුල් බ්‍රයිට් කියන ශිෂ්‍යත්වයක් තියෙනවා. ඒක හම්බවෙලා මම අමෙරිකාවේ යනවා. ඊට ඉස්සෙල්ලා මම වඩමාරච්චි ක්‍රියාන්විතයේ ඉන්නවා අවුරුදු 12ක නාවික හමුදා සේවයක් තිබෙනවා. මේ ඔක්කෝම හොඳ අත්දැකීම්. හොඳ පුහුණුවක්. අමෙරිකාවේ ගිහිල්ලත් මට උදව් කරපු හැම එක්කෙනාටම මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම කළගුණ සලකන්න ඕන. මට අමෙරිකාවට යන්න උදව් කළා මිනිස්සු හිතුවෙ මම ආයෙ එන එකක් නැහැ කියලා. නමුත් මම ආවා ඇවිල්ලා නාවික හමුදාවේ හිටියා. මගේ මහාචාර්ය තුමා ඉන්නවා පී. ඒ. ඩී. සිල්වා එතුමාගේ විෂයට සමගාමී විෂයක් තමයි මම කළේ. ඉතින් එතුමාට ලොකු ඕන කමක් තිබුණා එතුමා වයසට යනකොට මොරටුව විශ්ව විද්‍යාලයේ එතුමාගේ කාර්යය කරයි කියන එක. ඉතින් මම නාවික හමුදාවට සමුදීලා ඇවිල්ලා 1995 ජූලි මාසේ 15 වැනිදා මොරටුව විශ්ව විද්‍යාලයට සම්බන්ධ වුණා. එතැනින් යළිත් බිංදුවේ ඉඳලා පටන් ගත්තා මගේ අධ්‍යාපනික ගමන. මේ අටවැනි තනතුර තමයි මට කතා කරලා දීලා තියෙන්නේ.

මම ඉස්සෙල්ලාම නාරා ආයතනයේ සභාපති විදිහට පත්වුණා. ඉතාම අඩු වයසින් තමයි මම ඒ තනතුරට පත්වෙන්නේ. ඊට පස්සේ සුනාමි ව්‍යසනය ආවා. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දෙපාරක් හිටියා අධ්‍යාපන අධ්‍යක්ෂක විදිහට.

ලංකා විදුලිය බල මණ්ඩලයේ උප සභාපති විදිහට ඉඳලා තියෙනවා. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් විදිහට ඉඳලා තිබෙනවා. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් විදිහට ඉඳලා තියෙනවා. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති විදිහට ඉඳලා තිබෙනවා. ඊට පස්සේ මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ලැබුණේ මට මේ අධ්‍යාපනය හින්දා විතරයි. වෙන මොකක්වත් නැහැ. වෙන කිසිම සුදුසු කමක් නැහැ. මගේ හැඩරුව හින්දාවත් වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි මගේ අධ්‍යාපනය විතරයි බලපෑවේ. ඉතින් මම හිතන්නේ ඉතාම හොඳයි ඕනම දරුවකුට ඔබ මොන තැනක ඉපදුණත් ඔබට කිසිම දෙයක් නැති වුණත් ඔබට දුප්පත් කියනවනෙ. ඔබ අධ්‍යාපනයෙන් ඉතාම පොහොසත් නම් ඔබට නිසි තැන ලැබේවි. ඒක විශ්වාස කරන්න. තනතුරු බලාගෙන ඉන්න ඕන නැහැ. හොඳට අධ්‍යාපනය කරලා තමා සන්තෝෂයෙන් ඉන්න.

ඔබේ බිරිය දරුවන් ගැනත් කියමු.

මම විවාහ වෙලා ඉන්නේ වෛද්‍යවරියක් සමඟ. ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක්. දරුවන් දෙන්නෙක් ඉන්නවා දෙන්නම වෛද්‍ය විද්‍යාලයේ ඉන්නෙ. ඒ ගොල්ලො කැමැති නැහැ මේව කියනවාටවත් ලියනවාට වත් ඒ අය ඉතාම හොඳින් ඉන්නවා.

 

 

 

ඡායා - ශාන් රූපස්සර