ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 22 වැනිදා BMICHහි දී

සැප්තැම්බර් 11, 2023

පොතපතට පෙම්බඳින ශ්‍රීලාංකික පාඨක ප්‍රජාව සැප්තැම්බර් මාසය උදාවනතුරු පසු වන්නේ නොඉවසිල්ලෙන්. සැප්තැම්බරය යනු ඔවුන්ගේ සොඳුරුතම මාසයයි. එනම් සැප්තැම්බරය යනු අපේ සාහිත්‍ය මාසයයි. මෙරට සාහිත්‍යය උදෙසා විවිධ උත්සව, සම්මාන උළෙල මෙන්ම තරමක් අඩුවට පතපොත මිලදී ගතහැකි මාසයයි. ඒ සියල්ලටමත් වඩා වැඩි දෙනෙකු නොඉවසිල්ලෙන් පසු වන්නේ මෙරට සාහිත්‍ය කෙත අස්වද්දන්නට වැටෙනා අපූරු මල් වරුසාවක් බඳු වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ මේ මාසයේදී වීමයි.

 

මෙරට බොහෝ පොත් ප්‍රකාශන ආයතන මෙන්ම විදෙස් ප්‍රකාශන ද එකම භූමියක එකට දැකිය හැකි අවස්ථාව මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. එබැවින් වසර පුරාම නිදහසේ කියවන්නට අවශ්‍ය පොත්පත් මිලදී ගන්නට බොහෝ දෙනෙකු මේ ප්‍රදර්ශනය වෙත ගොඩ වදිති. ඊට අමතරව තම දරුවන්ට කියවීම හුරු කරවන්නට, ඔවුන්ගේ රුචිකත්වයට ගැළපෙන පරිදි ඔවුනට ඇවැසි ලෙස පොත් තෝරා දෙන්නටත්, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත් පත් තරමක් අඩු මිලට ගන්නටත් මෙහි පැමිණෙති.

 

ඒ සියල්ලටම අමතරව මෙරට සාහිත්‍ය කලාවේ, ලේඛන කලාවේ මෙන්ම පොත් ප්‍රකාශන වෘත්තියේ යෙදෙන්නන්ටත් තම නිර්මාණ අලෙවි කරගන්නට පොත් ප්‍රදර්ශනය හොඳ වෙළෙඳපොළකි. පාඨකයන්ට තමන් ප්‍රිය කරන ලේඛකයා හෝ සාහිත්‍යවේදියා දැකබලා ගන්නට, වචනයක් දෙකක් කතා කරන්නට, තමන්ගේ අදහස් ඔවුන් හා හුවමාරු කරගන්නට ද මේ ප්‍රදර්ශනය අපූරු තෝතැන්නකි.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ මස 22 වැනි දිනෙන් ආරම්භ වේ. සැප්තැම්බර් මස 22 වැනි සිකුරාදා සිට  ඔක්තොම්බර් 01 වැනි දා දක්වා එනම් දින දහයක් පුරා එය පැවැත්වෙනු ඇත. පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙය විවෘතව තැබෙන අතර BMICH සිට බස් රථ කිහිපයකින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට ද ඔබට හැකියාව ලැබේවි.

 

ඔබේ දරු පවුලත් සමඟ සාහිත්‍ය වැස්සේ නිදහසේ තෙමෙන්නට හැකි මේ අපූරු දවස් කිහිපය මඟ හරින්නට එපා යැයි අපි ඔබට කියන්නෙමු.