මම උයන්න ඉගෙන ගත්තෙ අපේ අම්මගෙන්

ජනවාරි 1, 2024

පාළු ගාලු අහස කළු කරමින් තිබුණු මොහොතේ අපි අම්බලන්ගොඩින් ඔහු සොයා ගමන ඇරඹුවෙමු.අධිවේගී මාර්ගයෙන් අම්බලන්ගොඩටත් ඉන්පසුව බලපිටියටත් පැමිණි අපි බලපිටියෙන් වැටී ඇති කෙටි දිගු වෙරළබඩ මාර්ගයකට පිවිසියෙමු.වැඩී තිබූ කැලෑ කුට්ටියකින් දෙපස වැසී තිබූ ඒ සොඳුරු මඟ නිමා වන්නේ මුහුද අද්දරින් වග මඟ සලකුණු එන්නම එන්නම කියාපායි.

අප ගමන කෙළවර කරන ලද්දේ නිහඬ නිසසල මුහුද අද්දර අලංකාර සොඳුරු නවාතැන්පොළකිනි.

එහි පදිංචිකරුවා ලෝකටම රසින් මත් කළ තෙත් හිතක් ඇති ආකර්ෂණීය සොඳුරු තරුණයෙකි. මිලියන ගණනක ආදරයත්,බිලියන ගණනක විශ්වාසයත් දිනූ ඔහු කවුදැයි මේ ඡායාරූප දැකීමෙන්ම ඔබ දනී. ඒ තරමටම තමාගේ ආකර්ෂණීය ප්‍රතිභාවෙන් ලෝකයක් වසඟ කළ මේ තරුණයා ලෝකයම දන්නේ, හඳුනන්නේ වයිල්ඩ් කුක් බුක් ලෙසටය. එළවළු පලතුරු උඩ දමමින්, පිහි හැඳි සමඟ ආදරණීය යුද්ධයක් කරමින් ලොවටම අපේ රස රැස ගෙන යන ඔහු නමින් චරිත් ද සිල්වා වේ.

චරිත් ගැන බොහෝ කටකතා, පැතිරුණද, බොහෝ කසු කුසු ඇතිවුවද ඔහුගේ ඇත්ත ජීවිතය පිළිබඳ දන්නේ අතළොස්සකි.අද අපි මෙතැන් පටන් දිග හරින්නේ චරිත් ගේ බොහෝ දෙනා නොදන්නා ඇත්ත ජීවිත කතාන්දරයයි.

අප පිළිගැනීමට සිනා මුසු මුහුණින් පැමිණි ඔහු අප සමඟ කතා බහට වැටෙන්නේ බොහෝ කලක සිට දන්නා හඳුනන පරිද්දෙනි. ඒ ඔහු ප්‍රගුණ කළ නිහතමානී ගුණයයි.

එන්න අපි මෙතැන් සිට චරිත්ගේ ජීවිතය කියවමු

 

ඉතිං කොහොමද චරිත්?

හොඳින් සතුටින් ඉන්නවා. ඒ වුණාට හරිම කාර්යබහුලයි. මොකද සෝෂල් මීඩියා එකේ වැඩ කරනවා කියන්නේ ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයිනේ. හැමවෙලාවෙම අප්ඩේට් එකේ ඉන්න ඕනේ. අලුත් ව්‍යාපෘති කිහිපයකුත් බාරගෙන තියෙනවා. ඒ කටයුතුත් කරගෙන යනවා.

ආසම දේ කෑම උයන එක වෙන්න ඇති නේද?

ඔව් මං ආසම දේ උයන එක. ඕනෑම දෙයක් ආසාවෙන් කරද්දි තමයි ප්‍රතිඵලත් හොඳ වෙන්නේ.

සූපවේදයම තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණ ද?

ඇත්තටම කිව්වොත් මට ඕනෙ වුණේ මොකක් හරි රැකියාවක්. එදා මට ඕනෙ වුණේ පවුලේ ආර්ථිකයට සවියක් වෙන්න ඉක්මනින් මුදල් හොයන මාර්ගයක්. විදේශගත වීම ඒ සඳහා හොඳම මාර්ගය ලෙසයි මම එදා දැක්කෙ. විදෙස්ගත වීමේ අරමුණින් සූපවේදය තෝර ගත්තා.

සූපවේදය කලින් හදාරලා තියෙනව ද?

හික්කඩුව සුපර් කොරල් හෝටලයේ නයිටා ආයතනය මඟින් පැවැත්වූ කුකරි පාඨමාලාවක් කරලා තියෙනවා. ඒ කුකරි පාඨමාලාව කරන්න යොමු වුණෙත් මගේ මස්සිනා ඒ කියන්නේ අක්කගෙ මහත්තයා නිසා. ඔහු ප්‍රවීණ සූපවේදියෙක්. ඔහු මට කිව්වා විදේශගත වීමට නම් ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන්න ඕනේ කියලා. ඒ නිසයි ඒ පාඨමාලාවට සම්බන්ධ වුණේ.

පාසල් ශිෂ්‍යයකු ලෙස ගත කරපු කාලය ගැන මතක් කළොත්…

ඒ කාලෙ මම සෙල්ලමට බර දඟකාර චරිතයක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියත් පොතපතේ වැඩ අතපසු නොකර කරගත්තා. ඒ අතරෙ වැඩි තැනක් දුන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවට. ඉගෙන ගත්තෙ බලපිටිය රේවත ජාතික පාසලෙන්. පාසලේ 17ඔන් පහළ කණ්ඩායම දක්වා මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණා. මට තව තව අක්කයි අයියයි නංගි කෙනකුයි ඉන්නවා. අපි හතර දෙනෙකුට උගන්වමින් පවුලේ සියලු වියදම් දරමින් හිටපු තාත්තට මගේ ක්‍රීඩා කටයුතු සඳහා යොදවන්න වත්කමක් නෑ කියන එක තේරුම් අරගෙන තමයි ක්‍රිකට් අතඇරලා වෙනත් රැකියාවකට යොමුවෙන්න හිතුවෙ.

විදෙස් ගත වීමේ සිහිනයට මොකද වුණේ

සිට්‍රස් හෝටලයේ අවුරුදු එකහමාරක් සේවය කරලා එකතු කරගත්ත දැනුමත් එක්ක මම ඩුබායි රාජ්‍යයේ හොටෙල් එකක රැකියාවට පිටත් වුණා. ලොකු ආසාවකින් බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන තමයි මම පිටරට ගියේ. ඒ වෙද්දි මස්සිනා හිටියෙත් ඩුබායිවල. ආසාවෙන් ගියාට මට ඒ ජීවිතේට හුරු වෙන්න අපහසු වුණා. හෝම්සික් කියන තත්ත්වය තදින්ම බලපෑවා. ගෙදරට කෝල් කළාම අම්ම අඬනවා. බැරිම තැන මාස හතරකින් මම නැවත ලංකාවට ආවා.

ලංකාවට ඇවිත් මාස දෙකකට විතර පස්සේ නුවරඑළියේ අරලිය ග්‍රීන්සිටි හොටෙල් එකට ගියා ෆ්‍රී ඕපනින්. අවුරුදු තුනකට පස්සෙ නැවත මම අරලිය උණවටුනට එනවා.

කොහොමද මෙහෙම උයන පිහන විඩියෝස් කරන්න අදහස ආවේ?

ඒක වෙන්නේ මෙහෙමයි. කොවිඩ් සීසන් එකත් එක්ක මම සෝෂල් මීඩියා පැත්තට යොමු වෙනවා. මුලින්ම යූ ටියුබ් චැනල් එකක් කරගෙන ගියත් ඒක සක්සස් වුණේ නැහැ. ඒ නිසා තමයි ටික් ටොක් ප්ලැට්ෆෝම් එක තෝරගත්තෙ. ඒ හරහා කුකිං කන්ටෙන්ට් විදියට කෙටි වීඩියෝ දාන්න පටන් ගත්තා. ඔය අතරේ නොහිතපු විදියට මම දාපු බර්ගර් වීඩියෝ එකක් වයිරල් වෙනවා. එතැනින් පස්සෙ දාපු හැම වීඩියෝ එකක්ම ට්‍රෙන්ඩින් තිබුණා.

අද වනවිට වැඩිම සබ්ස්ක්‍රයිබ්ස්ලා පිරිසක් ඉන්න සූපවේදියා ඔබ.....

මම අර කලින් කිව්ව වගේ ලොකු කැමැත්තකින් මෙතැනට ආවෙ නැතත් අද වෙනකොට මගේ ඉදිරිපත් කිරීම් හරහා බොහෝ පිරිසක් මා වටා රොක් වෙලා සිටිනවා. ඒක මම කවදාවත් හීනෙකින්වත් නොහිතපු ජනප්‍රියත්වයක්. මේ වෙද්දි යු ටියුබ් සබ්ස්ක්‍රයිබ්ස්ලා මිලියන 5.9 ක් ටික්ටොක් මිලියන 4.3 ක් ෆේස්බුක් මිලියන 1.8 සහ ඉන්ස්ටග්‍රෑම් මිලියන 1.6 ලෙස තමයි ඒ ආදරණීයයන් මා වටා රොක් වෙලා ඉන්නෙ. ඇත්තටම ඒ ආදරේට මමත් හදවතින්ම ආදරෙයි.

රංගනයට කැමැත්තක් නැති ද?

එවැනි ආරාධනා බොහොමයක් ලැබුණා.ඒත් ඒකට මගෙ වැඩි කැමැත්තක් නැහැ. මොකද ඒක මං කරන්න ආස දෙයක් නෙවෙයි.

වයිල්ඩ් cookbook කියන නම හැඳුනේ කොහොම ද?

පුංචි කාලෙ ඉඳලම මම පරිසරයට බොහොම ආදරේ කරන කෙනෙක්. ඒ නිසා මුල් කාලෙ වීඩියෝ කළේම බීච් එකේ එහෙමත් නැත්නම් දියඇලි ළඟ. නේචර් එකත් එක්ක වැඩ කරන නිසාම තමයි වයිල්ඩ් කුක් බුක් කියන නම දාගත්තෙ.

මුලින්ම කරපු වීඩියෝ එක මොකක් ද?

දිය ඇල්ලක් ලඟ මඤ්ඤොක්කා අලයක් සුද්ද කරලා තම්බන විඩියෝ එකක්. මෙතරම් දුර ගමනක් එන්න පුළුවන් වෙයි කියලා හිතලා නෙවෙයි එදා ඒ විඩියෝ එක කළේ. අද වෙද්දි මම ලොකු ගමනක් ඇවිත් තියෙනවා. මේ හැම දේම කරන්නේ පවුලේ අය එක්ක. අයියා තමයි ඔක්කොම විඩියෝස් කරන්නේ. නංගී සෝෂල් මීඩියා පැත්තේ කටයුතු ටික කරනවා. ඉතිං හරියටම කිව්වොත් මේක මගේ තනි වැඩක් නෙවෙයි. පවුලේ වැඩක් කිවොත් හරි.

අනෙක් ඉවුම් පිහිම් චැනල්ස්වලට වඩා ඔබේ වීඩියෝස් වෙනස්ම මුහුණුවරක් ගන්නවා..

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඈත් වෙලා වෙනස්ම දෙයක් කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. අන්න ඒ නිසා තමයි අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ස් කමෙන්ට්ස්වල දාලා උපරිම විනාඩි දෙකක් ඇතුළත අලුත්ම විදිහට රෙසිපි ඉදිරිපත් කරන්නෙ. ඒ විනෝදජනක බව ප්‍රියකරන බාල මහළු හැමදෙනාම මම හඳුන්වාදෙන රෙසිපි කම්මැලිකමකින් තොරව අනුගමනය කරන බව නිතරම කියනවා.

වීඩියෝ ඔක්කොම කරන්නේ කොහෙද?

පිහිණුම් තටාකය දෙසට අත දුගු කොට... අර හරියේ තමයි ඔක්කොම විඩියෝස් මම කරන්නේ...

චරිත් හදන කෑම රහයි කියල අම්ම තාත්ත කියනවද?

කියන වෙලාවල් තියෙනවා. ඒත් අපි හදන අලුත් කෑම වර්ගවලට එයාලා ලොකු කැමැත්තකුත් නෑ. අම්මටත් රසට උයන්න පුළුවන් ඒ ගමේ කෑම.හැබැයි මම උයනව කියන එක.මුලින්ම ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්.මගේ අම්මගෙන්.

මේ ගමන එන්න පහසු නොවෙන්න ඇති...කැපිලි කෙටිලිත් බාදකත් හමු වෙන්න ඇති.

මම එදා ඉඳලම පුරුදු වෙලා ඉන්නෙ මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න. ඒ තුළ කවුරුහරි මගේ මූණට මොනව හරි කිව්වත් මම ගනන් ගන්නෙ නෑ. ඒවගෙන් මාව වට්ටන්නත් බෑ. මොකද ඒවා එක එක්කෙනාගේ මානසික මට්ටම්නෙ. ඒ නිසා මම අනවශ්‍ය දේවල් අදාල කරගෙන පසුතැවෙන චරිතයක් නෙමෙයි. ඇත්තටම මේ ගමන පහසු නැහැ. ඊළඟ මොකද කරන්නේ කියලා හිතන්න වුණු සමහර දවස් තිබුණා. වෙලාවකට ලොකු මහන්සියක් දැණුනා. ඒත් කවදාවත් අතහැරියේ නැහැ මම.

මුලින්ම උයන්න කියලා දුන්නේ කවු ද?

අපේ අම්මා දිහා බලලයි මම මුලින්ම උයන්න ඉගෙන ගත්තේ. අම්මා හරි රසට කෑම උයනවා. අම්මනම් කියන්නේ මගේ කෑම ඊට වඩා රසයි කියලා. ඒත් අම්මාගේ කෑමවල තියෙන්නේ වෙනස්ම රසක්.

චරිත් ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අම්මාගේ අතත් අල්ලගෙනමයි.

රටක් දන්න චෙෆ් පුතා ගැන අම්මත් එක්කත් කතා කරලා බලමු නේද?

අම්මා නම් වැඩිය කතා බහට දක්ෂ නැහැ. ඔහු පැවසුවේ සිනාමුසු මුහුණෙනි.

පුතා අද ඉන්න තැන ගැන අම්මට මොකද හිතෙන්නේ?

මට දරුවො හතර දෙනෙක් ඉන්නව. පුතාල දෙන්නයි දුවල දෙන්නයි. ඒ අතරින් මේ පුතා ඕනම දේකට හරිම දක්ෂයි කඩිසරයි. මම දැනගෙන හිටියා කවදාහරි දවසක පුතා අපිට ආඩම්බරයක් වෙන විදිහට රටේ හොඳ තැනකට එයි කියල. අපිව සතුටට පත්කරමින් ගෞරවයක් හිමිකරදෙමින් පුතා ඒ තැන හිමිකරගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව තමයි එයාගෙ ජීවිතේ වෙල තිබුණෙ. ඒත් නොහිතපු විදිහට පුතා විසින්ම එයාගෙ උරුමය මතු කරගත්ත. මට මගෙ පුතා ගැන තියෙන ආදරණීය හැඟීම් වචනෙන් විස්තර කරන්න බෑ. එයාට තව තවත් හරියන්න ඕන.

වීඩියෝවලට විතර ද පුතා කෑම හදන්නේ..ගෙදරදී උයන්නේ නැද්ද?

පුතා හරිම කාර්‍යබහුලයි. ඒ වුණාට ඉඳලා හිටලා පුළුවන් වෙලාවට විවිධ කෑම හදලා දෙනවා. පුතා ගෙදර ඉන්න හැම වෙලාවෙම මම උත්සහ කරන්නේ පුතාට මගේ අතින් කෑම හදලා දෙන්නයි.

පුතාගේ විඩියෝ බලද්දී අම්මට මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. මේ මගේ පුතා නේද කියලා හිතෙනවා. එවන් පුතෙකු ලද මවක් වීම මට ලොකු ආඩම්බරයක්. පත්තරවලින්, චැනල්වලින් සහ සෝෂල් මීඩායා කරන බොහෝ අය පුතාව හොයාගෙන එනවා. පුතා මේ තැනට ආවේ එයාගෙම මහන්සියෙන්. අම්මා කෙනෙකුට මීට වඩා ලැබිය යුතු දෙයක් ඇති කියලා මම හිතන්නේ නැහැ.

මේ සොඳුරු කතා බහෙන් පසු එළිමහනට පැමිණියේ තරුණී මුල් පිටුව සැරසීමට මේ අම්මගෙයි පුතාගෙයි ඡායාරූප කිහිපයක් ගැනීමටයි. 2024 අවුරුද්දේ තරුණී පළමු මුල් පිටුව වෙන් වෙන්නේ ඔවුන්ටය.

දඩු වැටට එපිටින් ඇති මුහුදු වෙරළේදීත් කිහිප විටක් ඔහුගේ රුව ඡායාරූපයට හසුකර ගතිමු.

මුහුදු රැළි බිඳෙන හඬ, ඒ මුහුදු සුළඟ, වලාකුළු පිරුණු අහස, ඉර බහින වෙලාවට ඒ එළිය මුහුදු වතුර මතට වැටුණම මුහුද වතුර රන් පැහැයෙන් දිලිසෙන ලස්සන. මගේ නෙත් යාවී තිබුණේ ඈතින් පෙනෙන ඒ ක්ෂිතිජය මතටය.

ස්වභාවදර්මයේ නිර්මාණයක් වන "ක්ෂිතිජය" මිනිස් ඇසට නිදහස්ව නැරඹිය හැකි අහස සහ පොළොව ස්පර්ශ වේයැයි සැලකෙන ඉසව්වයි. නෑ! මම හිතන්නේ.., දෙවියන් පොළවට පා තබන මෙන්ම මිනිසුන් අහසට අත තබන රේඛා මායිම තමා ඒ.

මේ සොබාදහම ඉඟි කරන්නේ දැන් ඔවුනට සමු දෙන්නට කාලය පැමිණ ඇති බවය. රෑ බෝ වන්නට මධ්‍යයෙන් අප නැවත කොළඹ බලා යා යුතුය. ඉතින් ඔවුනට සමු දී අප නැවත කොළඹ බලා ගමන ඇරැඹුවෙමු.

 

චරිත් මේ වසර රසින් පිරේවා!!!

 

ඡායාරූප - ගයාන් පුෂ්පික