සැක්සෆෝනයෙන් නුවන් මිලියන තුනක් වසඟ කළ නුවර නුවන්ගී

Sri Lankan Saxaphone Queen
මාර්තු 25, 2024

සංගීතය විශ්වය පාලනය කරන සංකීර්ණ ජාලයේ කොටසකි. එය ඉතා සුන්දර වු නිර්මාණයකි. මේ සුන්දර වු සංගීතය නිර්මාණය වී ඇත්තේ ඉහළ පහළ සංඛ්‍යාතවල සංකීර්ණ පද්ධතියක මෙහෙයවීමෙනි. සරස්වතී දෙවියන්ගේ තිළිණයක් ලෙසින් මිනිසාට හිමි වූ සංගීතය මානව සමාජය තුළ විශාල පෙරළියක් කිරීමට තරම් ප්‍රබල වී ඇත්තේ අෑත අතීතයේ පටන්ය. ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන සංගීතය දෙවියන්ගෙන් ලැබු තිළිණයක් ලෙසින් හිමිකම් කියන්න වාසනාව හිමිවන්නේ ඉතාම කලාතුරකිනි.

මාෂා නුවන්ගී වීරසිංහ... ඇය ද මෙලෙසින් සංගීතයට උපතින්ම උරුමකම් කියු යුවතියකි. ඉතා කුඩා කාලයේ පටන්ම සංගීතයට පෙම් බඳින මාෂා තම සහජ කුසලතාවය ඔප මට්ටම් කරගනිමින් සංගීත ලෝකයට පියවර තබා ඇත්තේ මහනුවර මාවිල්ගම ගම්මානයෙනි. වයස අවුරුදු දහයක් වැනි කුඩා වයසේදී සංගීත වේදිකාවේ ගී ගයන පුංචි සිඟිත්තිය සංගීතය මුසු නර්තනයෙන් වේදිකාවේ ගී ගයනවිට බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් බලා සිටියේ ඇය තුළ වු සහජ කුසලතාවයයි. පුංචි සිඟිති ගායිකාවක් ලෙසින් කාගෙත් ආදරය දිනාගත් ඇය වසර 26ක යෞවනියක ලෙසින් මුළු රටම පමණක් නොව මුළු ලෝකයම වසඟයට පත්කරන්නේ දක්ෂ සැක්සෆෝන් වාදනය කරන ශිල්පිනියක ලෙසිනි. මාස 3ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සැක්සෆෝන් වාදනය හුරු වී මුළු රටම නළවන සංගීත ස්වරයෙන් මුසපත් කළ මාෂාගේ ගමන් මගේ සොඳුරු පියසටහන් බොහෝ ලියවී තිබේ. එලෙසින් ලියවුණු ඒ සොඳුරු පියසටහන් පෙළේ මතක සටහන් කිහිපයක් ඇය අපට හෙළි කළේ පළමු වරට පුවත්පතක තබන පත්තිරු සටහන ලෙසිනි.

‘මගේ දෛවය පුදුම විදියට වෙනස් කළේ මගේ අම්මයි අප්පච්යි දෙන්නා. ඒ දෙන්නට හීනයක් තිබුණා මාව සංගීතයෙන් ඉහළම තැනකට යනවා දකින්න. ඒ හීනය මාස තුනක් වැනි පුංචි කාලයකින් මට ලබාගන්න වාසනාව ලැබුණා. ඒක මට ලැබෙන්නේ මගේ විසි හයවැනි උපන්දින තෑග්ග ලෙසින්. ඒක වාසනාවට ලැබුණු උපන්දින තෑග්ගක් විතරක් නොවෙයි. මගේ හිතේ කාලයක් තිබුණු හීනයක්. ඒ හීනය සැබෑ කරගන්න මම කාලයක් බලාගෙන හිටියා. මුලින්ම මම ගීතයක් කියන්න වේදිකාවට නඟින්නේ 5 වසරේදී. ඊට පස්සේ මම අවුරුදු 10ක් නර්තනය පුහුණු වුණා. මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබු මම බටහිර තූර්යවාදක කණ්ඩායමට තෝරාගත්තා. මට එම වාදන කණ්ඩායමේ ලැබෙන්නේ ට්‍රම්පට් වාදනය කරන්න. මම හුඟාක් කෙට්ටු නිසා මට කවදාවත් පාසලේදී සැක්සෆෝන් වාදනය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මට හීනයක් වෙලා තිබුණේ කවදා හරි සැක්සෆෝන් වාදන ශිල්පිනියක් වීමයි. හැබැයි මේ හීනය මට පාසල් ජීවිත කාලය තුළ ඉටු කරගන්න ලැබුණේ නැහැ.“

මෙලෙසින් වාදන ශිල්පිනියක් වීමේ සිහිනය දුටු මාෂා පාසල් දිවියෙන් සමුගත්තේ සංගීත විශාරද විභාගය සමත් වී සංගීත ගුරුවරියක ලෙසින් නවයාලතැන්න විමලධර්මසූරි ප්‍රාථමික විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙසිනි. මෙලෙසින් සංගීත ගුරුවරියක ලෙසින් සේවය කරන ඇයගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කරන්නේ ඇයගේ 26 වැනි උපන්දින සැමරුමයි. ඒ උපන්දිනය දා ඇයගේ සිහිනය සැබෑ වූ අයුරු හෙළි කළේ මෙලෙසිනි.

“මට ඉස්කෝලේදී සැක්සෆෝන් එක Play කරන්න බැරිවුණු එක ගැන මගේ හිතේ ලොකු කනගාටුවක් තිබුණා. ඒ කනගාටුව මම කිසිම දවසක කාටවත් හැඟෙව්වේ නැහැ. නමුත් මගේ අම්මයි, අප්පච්චියි ඒක දන්නවා. ඒ දෙන්නට වුවමනා වෙලා තිබුණා කවදා හරි මම ලංකාවේ දක්ෂතම සැක්සෆෝන් වාදන ශිල්පිනිය කරන්න. පසුගිය දෙසැම්බර් මාසේ මගේ උපන්දිනය දවසේ මට ඒ දෙන්නා අලුත්ම සැක්සෆෝන් එකක් ගෙනත් දුන්නා. දීලා මට කිව්වා ඔයාට ඉස්කොලේ කාලෙදී සැබෑ කරගන්න බැරිවුණ දේ දැන් කරලා මුළු රටටම පෙන්වන්න කියලා. ඊට පස්සේ තමයි මම භාරත රාජපක්ෂ සර්ගෙන් සැක්සෆෝන් වාදනය ඉගෙන ගන්න පටන් ගත්තේ. ඇත්තට සර් හරිම අවංක ගුරුවරයෙක්. ඔහු කිසිම දෙයක් හංගන්නේ නැතුව මාස තුනකින් මට පුහුණු කළා. ඇත්තටම සැක්සෆෝන් වාදනය හුස්ම ගැනීමත් සමඟ වාදනය කළ යුතු තරමක් අසීරු සංගීත උපකරණයක්. විශේෂයෙන් ගැහැනු ළමයෙකුට පුහුණුවීම අසීරු සංගීත භාණ්ඩයක් ලෙසයි මෙය සලකන්නේ. නමුත් මම ට්‍රම්පට් වාදනය කිරීමෙන් ලබා තිබුණු පුහුණුව නිසා මේක හරිම පහසුවෙන් අල්ලා ගන්න මට හැකියාව ලැබුණා.

මෙහෙම පුහුණුවෙන කාලයේදී තමයි මගේ වීඩියෝ එකක් අපේ අයියලා දෙන්නෙක් ස්වර්ණවාහිනියේ ‘හිත ඉල්ලන තරු‘ වැඩසටහනට බුද්ධික අයියාට යවලා තිබුණේ. මට ඊට පස්සේ ඒ වැඩසටහනට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව තමයි මගේ හැකියාව මුළු රටම හඳුනා ගත්තේ. ඊට පස්සේ ලැබුණු ප්‍රතිචාර නම් මටම හිතාගන්න බැහැ. මගේ වීඩියෝ කිහිපයක් දැන් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. සමහරු ඒ වීඩියෝ බලලා Sri Lanka Saxophon Queen කියලා Comment කරලා තිබුණා. ඇත්තටම මමත් හීන දකින්නේ එහෙම වෙන්න තමයි. හැබැයි ඒකට තව මට මේ උපකරණය වාදනය කරන්න හදාරන්න වෙනවා. මේ දවස්වල මම වගේම ඉන්දියාවේ තරුණියන් දක්ෂ ලෙස සැක්සෆෝන් එක වාදනය කරන වීඩියෝ එකක් ප්‍රචාරය වෙනවා. මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා ඒ ශිල්පිනියක් සමඟ සජීවි ප්‍රසංගයක් පවත්වන්න. මම හිතනවා ඒ හීනය සැබෑ කරගන්න මට පුළුවන් වෙයි කියලා.‘

මාෂාගේ හීනය වී ඇත්තේ සංගීතයේ දිගු ගමනක් යන්නටය. ඒ ගමනට ඇයට මූලික පදනම මේවන විටත් නිර්මාණය වී තිබේ. ස්වාධීනව තම හැකියාව තුළින් ඉතා කෙටි කාලයක් තුළ දැක්වූ දක්ෂතාවය මුළු රටම අගය කරයි. යුවතියකට වාදනය කිරීමට අපහසු වූ සංගීත උපකරණයක් ඉතාම මියුරු ස්වරයෙන් ඈ වාදනය කරන අයුරු දකින විට ඇයගේ හැකියාවට සුබ පතන්නට සංගීතයට ලැදි ඕනෑම අයෙකුට සිතෙයි. එය මාෂා උපතින්ම ලැබු භාග්‍යයකි.