වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
මංජුලා මල්කාන්ති ලියූ "දුව දැන් බිග් ගර්ල් කෙනෙක්" අම්මටයි දුවටයි දෙන්නටම
මංජුලා මල්කාන්ති රාජපක්ෂ තරුණී පාඨක ඔබට නම් නුහුරු නුපුරුදු නමක් නොවේ. වසර ගණනාවක් පුරා සිය පන්හිඳෙන් තරුණීට අපූරු ජීවයක් ලබාදුන් ඇය තරුණී නියෝජ්‍ය කතුවරියක ලෙසින් ද සිය කාර්ය භාරය මනාව ඉටු කළාය.
මේ වනවිට තරුණී කර්තෘ මණ්ඩලයෙන් වාගේම පත්තර මහගෙදරින් ද සමුගෙන තිබුණත් ඇය ලේඛන කලාවට නම් සමු දී නොමැති හැඩයි. එය අපට මනාව පසක් කරලන්නේ ඇය විසින් සංස්කරණය කරන ලද ‘දුව දැන් බිග් ගර්ල් කෙනෙක්‘ කෘතියයි.
ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතාගේ උපදෙස් මත රචනා කරන ලද මේ අපූර්ව කෘතිය පිළිබඳ අපි ඇයගෙන්ම අසා දැන ගනිමු.
රූපලාවණ්‍ය, මැහුම්, ගෙතුම්, අත්කම් අැසුරේ වැඩි කාලයක් ගත කළ ඔබ වෙනස්ම කෘතියකින් අප හමුවට එනවා. කියන්නකෝ බලන්න ඔබේ මේ අලුත් පොතේ විස්තර.
ඇත්තටම කියනවා නම් මේ පොතේ අන්තර්ගත කරුණු කියලා කියන්නෙ හුදෙක් පිටු අතරේ අමුණපු ලස්සන වචන පේළි විතරක් නෙමෙයි. අපේ පුංචි දියණියන්ට තමන් ගැන හරි අපූරුවට කියාදෙන පොතක්. දියණියන්ට පමණක් කියලා මේක මම වෙන් කරන්න කැමැති නෑ. දියණියන් ඉන්න අම්මලාට වාගේම තාත්තලාටත් දැනගත යුතු කරුණු රාශියක් මෙහි අන්තර්ගත වෙනවා.
අපේ සමාජයේ වැඩිහිටියන් හොඳින් දැනුවත් යැයි හිතාගෙන සිටින එහෙත් නිසි ආකාරයේ දැනුවත් බවක් නැති කරුණු කාරණා කිහිපයකුයි ඔබ මෙලෙස කෘතියකින් කතාබහට ලක් කරන්නේ.
අපේ සමාජය දියණියක වැඩිවිය පැමිණීම මංගල්ලයක් ලෙසින් සමරන්නට කැමැතියි. ඒ කාරණය පිළිබඳ ලොවටම අඬබෙර ගසා පාටි දමන මවුපියන්ගෙන් කීයෙන් කීදෙනෙකුද එහි යථාර්ථය හඳුනාගෙන තිබෙන්නේ. වැඩිවියට පත් වූ දා සිට තමන්ගේ දියණිය නිසියාකාරව සමාජගත කරන්නට අවබෝධයක් තියෙන මවුපියන් ප්‍රමාණය හරිම අඩුයි. විශේෂයෙන්ම ආසියාතික රටක් වන මේ රටේ අතීතය හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් තිබුණද වර්තමානයේ කීදෙනෙක් ඒ ගැන දැනුවත්ද? බහුතරයක් වැඩිහිටියන් මල්වර වූ දියණිය සමාජගත කරලන්නේ වැරදි සහගතවයි.
ඉතින් ඒ හින්දා මම හිතුවා අපේ මවුපියන්ට වාගේම දියණියන්ටත් මේ වාගේ කෘතියකින් හරි අවබෝධයක් ලබාදිය යුතුයි කියලා.
“දුව දැන් බිග් ගර්ල් කෙනෙක්” කියන්නෙ ඔබ ලියපු පළමු කෘතිය නෙවෙයි.
ඔව්. මම මෙයට පෙර කෘති දෙකක් ලියලා තියෙනවා. “මනාලිය ඔබමයි, රූ සොඳුරු” නම් වූ ඒ පොත් දෙකම රූපලාවණ්‍ය විෂයය තේමා කරගෙනයි ලිව්වෙ. මෙය මා ලියූ තුන්වැනි කෘතියයි.