වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
පින්තාරුවේ පිපුණු ලිලී මල
පිරිමි සිරුරක ඇතුළාන්තයේ ඝෝෂා කරන ගැහැනියක්,උපතින් තමාට ලැබුණු පුරුෂාත්මය මරා දමා එම ගැහැණියට අලුතෙන් ඉපදීමට ඉඩ දෙන මෙන් දැඩිව ඉල්ලා සිටී නම් ඒ සඳහා කුමක් සිදුවේද?
The Danish Girl
එවැනි සත්‍යය ලෙස සිදු වූ වෘතාන්තයක් මුල්කොට අද අපි කතා කරන්නේ ඒ ගැනය.
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හි (1926) විසූ අයිනාර් සහ ඔහුගේ බිරිඳ ගර්ඩා විවාහ වී සතුටින් දිවි ගෙවූ යුවළකි. අයිනාර් භූ දර්ශන සිත්තම් කළ අයෙක් වූ අතර ගර්ඩා ආලේඛ්‍යය සිත්තරාවියෙකි. දරුවන් නොමැති වුවද ඔවුන් දෙදෙනාගේ ජීවිතය ඉතාමත් ප්‍රීතිමත් එකක් විය. ඔවුන්ගේ ප්‍රීතිමත් කතන්දරය කණපිට පෙරළෙන්නට පටන් ගන්නේ එක් දිනකදී ය.
අඩක් නිම කර ඇති තම මිතුරිය වන ඇනාගේ සිතුවමේ ඉතිරිය සම්පූර්ණ කරගැනීම සඳහා උදව්වක් ලෙස,ගර්ඩා තම සැමියාට ස්ත්‍රී පාවහන් සහ ස්ටොකින්ග්ස් පැලඳගෙන සිතුවම නිමවන තුරු තමා ඉදිරියේ පෙනී සිටින්නැයි ඉල්ලීමක් කරයි.ඇගේ ඉල්ලීම ඔහු ඉටුකළ ද, ඔහු ඒ මොහොතේ ඇඟ දවටාගත් ස්ත්‍රී ඇඳුම් වලින් ස්පර්ශ වූ මෘදු බව සහ සුවඳින් ඔහුගේ ඇතුළාන්තය හුරුපුරුදු දැනීමකින් අවදිවීමක් සිදුවෙයි. ගර්ඩා තම සිතුවම සම්පූර්ණ කිරීමෙන් පසු අයිනාර් තම සිතුවම වෙනුවෙන් පෙනීසිටි ඉරියව්ව ඇයට ඉතා රසවත් සහ නැවුම් එකක් වූ බැවින්,ඔහුගේ දෙතොල්වල ආලේපන ගල්වා ඔහුව ගැහැනියක් ලෙස පරිවර්තනය කර සිතුවම් ඇඳීමට ඇයට උවමනා වෙයි. ඔවුන් දෙදෙනාටම ඉතා විනෝදජනක ක්‍රියාවක් වූ එය කිරීමෙන් පසු, ගර්ඩා ඉදිරියේ සිටියේ තම ස්වාමියා වූ අයිනාර් නොව සරාගී සුන්දර ගැහැනියකි. මලක් මෙන් සුන්දර වූ නිසාම ගර්ඩා ඇයට "ලිලී" යනුවෙන් ආමන්ත්‍රණය කළාය.
ගර්ඩාගේ සිතුවම්වලට අයිනාර් ඉතා කැමැත්තෙන් "ලිලී" බවට පත් වී,සිතුවම් ඉදිරියේ ඔහු උන් ඉරියව් ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරි සරාගී ඉරියව් විය."ලිලී" ව සිත්තම් කළ සිතුවම් ගර්ඩා ඩෙන්මාර්ක් කලා ප්‍රදර්ශන වලට ද ඉදිරිපත් කළ අතර එහිදී එම සිතුවම්වලට ඉහළ ප්‍රතිචාර ද විචාරකයන්ගෙන් ලැබිණි. එපමණක් නොව ඔවුන්ට "ලිලී" නම් නිරූපිකාවද දැකගැනීමට අවැසි විය. ගර්ඩා සිය සැමියාව "ලිලී" ලෙස හැඩගන්වා එම ප්‍රදර්ශනවලට කැඳවාගෙන ගියාය.මෙම ක්‍රියාවෙන් ඔවුන් දෙදෙනා අසීමිතව සතුටු වුවද , ඒ වන විටත් අයිනාර් ට "ලිලී" ව තමාගෙන් ගැලවීමට නොහැකි කොටසක් මෙන් දැනී අවසානය.
මේ සිදුවීම්වලින් පසුව අයිනාර්ට ඉදිරියටත් "ලිලී" ලෙසටම සිටීමට අවැසි විය. දිනක් රාත්‍රියක යහනේදී සිය සැමියාගේ උණුසුම අවැසි වූ ගර්ඩා දකින්නේ,අයිනාර්ගේ ඇඳුම්වලට යටින් ඔහු කාන්තාවකගේ රාත්‍රී ඇඳුමක් ඇඳසිටින බවයි. "ලිලී" එක්තරා සෙල්ලමක් පමණක් බවත්,මෙතැන් පටන් එය නවතා දමන ලෙසත් ගර්ඩා හඬමින් අයිනාර්ගෙන් ඉල්ලා සිටියි. නමුත් ඔහු පවසන්නේ "ලිලී" යනු තමා බවය. තම සැමියාව නැවත තමාට ලබා දෙනමෙන් අයිනාර්ගෙන් හඬමින් අයැද සිටින ගර්ඩාට ඔහු පවසන්නේ ;
"ඔයා ආදරේ කරන්නේ අයිනාර්ට. නමුත් තවදුරටත් ඔහු මං ළඟ නැහැ."
එතැන් පටන් ගර්ඩාට තමන් වැඩියෙන්ම ආදරේ කරන පුද්ගලයාව අහිමි වන දරුණු වෙනස පිළිගැනීමට සිදුවේ. පිටත ලෝකය කුමක් කීවත්,තම ඇතුළාන්තයෙන් පැමිණෙන ප්‍රතික්ෂේප කළ නොහැකි සහ මර්දනය කළ නොහැකි හැඟීම් හේතුවෙන් අයිනාර්ව මරා දමා "ලිලී" ලෙස සත්‍යය ජීවිතයක් ගතකිරීමට අයිනාර් තීරණය කරයි.තම සැමියාට ඇති දැඩි ආදරය නිසාම ඔහු "ලිලී" බවට පත්වීමේ සංක්‍රාන්ති කාලය දරාගැනීමට ගර්ඩා ද තීරණය කරයි. ඇය අයිනාර්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු "ලිලී" බවට පත්වන සැත්කමෙන් පසුව ද තමා සමඟම ජීවත් වන ලෙසයි. මන්ද අයිනාර් නොමැති ජීවිතයක් ගර්ඩා දැන සිටියේ නැති හෙයිනි.
අයිනාර් ස්ත්‍රියක් බවට පත්වීමේ සැත්කම ලොව ප්‍රථම සංක්‍රාන්ති ලිංගික සැත්කමයි.
"ලිලී"ගේ ප්‍රථම සැත්කම නිමවන තෙක් ගර්ඩා අයිනාර්ව හැර ගියේ නැත. රෝහලේදී "ලිලී" ඇයට පවසන්නේ ;
"ඔයා හැම වෙලේම මම ඉන්නවට වඩා ලස්සනට මාව අඳිනවා ගර්ඩා. මට මං ගැනම සැනසීමක් දැනෙනවා ඔයා මාව අඳිද්දි කඩදාසිය එක්ක පැන්සල ගැටෙන සද්දෙ ඇහෙනකොට"
දෙවැනි සැත්කම සඳහා ගිය "ලිලී" සමඟ ගර්ඩා සිටියේ නිදන යහන මැදින් තිරයක් දමා දෙකට වෙන් කළ තිරයට එක් පසෙකින් ය.ලිලී සිටියේ තිරයට අනෙක් පසින් ය.
"ලිලී" අයිනාර්ව මරා දමා තිබුණ ද, ගර්ඩා තවමත් "ලිලීගෙන් අයිනාර්ව දකිමින් සහ සොයමින් සිටියා ය.
දෙවැනි සැත්කමේ දී "ලිලී" ඉතා අසාධ්‍යය තත්ත්වයකට පත්වන අතර,රෝහළේ දී ගර්ඩාගෙන් ඇය ඉල්ලා සිටින්නේ තමාව එළියට රැගෙන යන ලෙසට ය. ගර්ඩා කඳුළු පිරි දෙනෙතින් ලිලීගේ දෑත් තදින් අල්වාගෙන සවන් දෙමින් උන්නාය.
"ගර්ඩා...ඊයේ රෑ මම ලස්සන හීනයක් දැක්කා. මම අතදරුවෙක් විදිහට අම්මගෙ අත්දෙක උඩ හිටියා. එයා මගේ මූණට එබිලා මට "ලිලී" කියල කතා කලා... "
"ලිලී......" ගර්ඩා ඇයව ඇමතුවාය.
ලිලී ඒ හඬ රැගෙන මෙලොවින් සමුගත්තා ය.
හංසි පෙරේරා