කවුද මේ කළු කබා ඇඳි යුවතියෝ..?

මාර්තු 18, 2024

අද අපි ඉන්නේ නුවර අහස යට. නුවර කිව්වම ගොඩක් අයට ගොඩක් දේවල් හිතෙනවා ඇති. ගොඩක් දේවල් මතක් වෙනවත් ඇති. මොකද ගොඩක් අයට නුවරත් එක්ක තියෙන්නේ අමතක නොවන ආත්මීය බැඳීමක්.

සිසිල් සෞම්‍ය මඳ පවන .. දළදා වීදිය.. වලාකුළු බැම්ම. .. නුවර වැව... වැව් රවුම.. රොබරෝසියා මල්.. නුවර මැණිකෙලා.. ඇත්තටම නුවර හරි ලස්සනයි. හැබැයි සමහරු කිව්වෙම නුවර ලස්සන හවසට කියලා. සමහරු නුවර ළමිස්සියන්ගේ ලස්සනින් හිත් පුරවගත්තා. ඒ තරමටම නුවර මැණිකෙලා හරි ලස්සනයි.

මේ කියන්න යන්නෙත් ඒ වගේම රූමතියන් තිදෙනෙක් ගැනයි. මෙයාලා එකම පවුලේ අක්කා නගෝලා.හැබැයි මේ උඩරට මැණිකෙලා අනිත් තරුණියන්ට වඩා ටිකක් වෙනස්. අද කතා කරන්න යන්නේ සටන් කලාව

ජීවිතයම කරගත් එකම පවුලේ යුවතියන් තුන්දෙනෙක් ගැනයි.. මෙහෙම කියද්දි ඔයාලගේ මතකයට එන්නේ එක්තරා වීඩියෝවක්. සටන් කලාවේ හැමෝම විස්මිත දෑසින් බලාසිටින බෲස්ලිගේ සටන් කලාවටම සමානව විස්කම් පෑ ඇය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයේ ජනප්‍රියම තාරකාවක් කිව්වොත් නිවැරැදියි. ඉන් ටික කාලයකට පස්සේ සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වුණු යුවතියන් තිදෙනා අතර ඇයත් දක්නට ලැබුණා..

කවුද මේ කළුපාට කබාය ඇඳි යුවතියෝ. අපි ඒ අය හොයාගෙන යන්නේ මහනුවරට

වයිරල් වුණු වීඩියෝවේ අපූරු සටන් හරඹයක යෙදෙන ඒ අපූරු යුවතිය ගයනි නිලූෂි මලුද්දෙනිය. ඇය පවුලේ දෙවැනියා. මුළු රටක්ම දැන් ඈ ගැන කතා කරන නිසා අපි හිතුවා මුලින්ම ඇයව මේ කතාබහට එකතුකර ගන්න.

වයිරල් වුණ වීඩියෝවට සෑහෙන්න ප්‍රතිචාර ලැබෙන්න ඇති?

මම ඉස්සර ඉඳන්ම ටික්ටොක් කරන්න ආස කෙනෙක්. ටික් ටොක් එකේ මුලින්ම දැම්මේ මම නර්තනයේ යෙදෙන වීඩියෝ. ඊට පස්සේ තමයි මාර්ෂල් ආර්ට් වීඩියෝ දැම්මේ. ඒත් ඒවා එතරම් ප්‍රසිද්ධ වුණේ නැහැ. ටික්ටොක් එකේ කාලෙකට කලින් කරපු වීඩියෝ එකක් තමයි ඒ පසුගිය දවස්වල ෆේස්බුක් පේජ් එකකින් ෂෙයර් කරලා තිබුණේ. එකෙන් තමයි මාව හැමෝම අඳුර ගත්තේ. ලැබෙන ප්‍රතිචාරවලට ගොඩක් සතුටුයි. ඒ වීඩියෝ එක බලපු ගොඩක් ගැහැනු ළමයි කියලා තිබ්බේ එයාලත් කරාතේ වැනි දේවල් කරන්න කැමැතියි කියලා. සමහර අය කමෙන්ට් කරලත් තිබුණා මේ ඉන්නේ පිටරටක කෙනෙක්ද කියලත්. ඉතින් සෝෂල් මීඩියා හරියට පාවිච්චි කළොත් ඒකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්.

කරාතේ කරන්න ආසාව ආවේ කොහොම ද?

පොඩි කාලේ අපි භරත නර්තනය සඳහා ක්ලාස් ගියා. ඒ ක්ලාස් එක එහා පැත්තෙමයි කරාතේ ක්ලාස් එකත් තිබුණේ. ඩාන්සින් ක්ලාස් ඉවරවෙලා අම්මි එක්ක යන්න එනකම් අපි කරන්නේ කරාතේ ක්ලාස් එක දිහා බලන් ඉන්න එක. එයාලා‍ අඳින ඇඳුමට, එයාලා කරන දේවල්වලට අපි ගොඩක් ආස වුණා. ඊට පස්සේ අම්මිට කිව්වා අපිටත් කරාතේ කරන්න ඕනේ කියලා. අම්මි අපි තුන්දෙනාවම ක්ලාස් එකට දැම්මා. එතකොට මම 3 වසරේ වගේ ඇති.

පාසලේදිත් සටන් කලාව හැදෑරුවා ද?

මම මුලින්ම පාසල් ගියේ හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලයට. නුවර ආවට පස්සේ පේරාදෙණිය සරසවි විද්‍යාලයට ගියේ. පාසලේදීත් ක්‍රීඩා විෂයයක් විදිහට මම කරාතේ කළා. උසස් පෙළ සඳහා ගුඩ් ශෙෆර්ඩ් කොන්වන්ට් එකට ඇතුළු වුණා. මම 9 වසරෙ වගේ ඉද්දි තමයි මාර්ෂල් ආර්ට් ඉගෙන ගන්න පටන් ගත්තේ. අනිත් දෙන්නත් මාත් එක්කමයි සටන් කලාව කළේ.

මාර්ෂල් ආර්ට් කියන්නේ මොකක් ද?

ගොඩක් අය හිතන්නේ මාර්ෂල් ආර්ට් කියන්නේ කට්ටිය එක්ක ගහ ගන්න එකක් කියලා. මාර්ෂල් ආර්ට් කියන්නේ එක්තරා විදිහක භාවනාවක්. ඒක ආත්ම ආරක්ෂාව වෙනුවෙන් යොදාගන්න සටන් ක්‍රමයක්.

මාර්ෂල් ආර්ට්වල එන එක් කොටසක් කියලා කරාතේ හඳුන්වන්න පුළුවන්. කික් බොක්සිං, වූෂු, තායි කරාතේ, හයිකුරු, ජිජිබ්සු, අයිකිඩෝ එතකොට ඒ ඔක්කොම එන්නේ මාර්ෂල් ආර්ට් කොටසට අයිති දේවල්.

මාර්ෂල් ආර්ට් තුළදී ආයුධ පුහුණුවකුත් ලැබෙනවා. ඔබත් ඒ පුහුණුව ලබාගෙන තියෙනවද?

ඔව් මාර්ෂල් ආර්ට්වලදී නන්චක්කු, ඉන්දියන් ස්ටික්ස්, සමුරායි කඩු, බෝකන් සහ සායි යන අායුධවලින් පුහුණු වෙන්න තියෙනවා. අපි තුන්දෙනාම ඒ සියලුම ආයුධ පුහුණු වෙලා තියෙනවා.

සටන් කලාව තුළදී ඔබේ ගුරුවරයා වුණේ කවුද?

කේ. එම්. පුංචි බණ්ඩා මාස්ටර්ගෙන් තමයි මුලින්ම කරාතේ ඉගෙන ගත්තේ. එතකොට අපි හිටියේ හැටන්වල. අපි ඊට පස්සේ නුවර ආවා. නුවර අාවට පස්සේ අමිල කැලුම් බස්නායක සර්ගෙන් කරාතේ කළු පටි දක්වාම ඉගෙන ගත්තා. ඊට පස්සේ සෙන්-බූ-ඩෝ ඉන්ටර්නැෂනල් මාර්ෂල් ආර්ට් ඉගෙන ගන්න පටන් ගත්තා. මාර්ෂල් ආර්ට්වලත් අපි කළුපටි ශූරියෝ. උෂාන්ත දර්ශන මාස්ටර්ගෙන් සෙන් බූ-ඩෝ මාර්ෂල් ආර්ට් ඇකඩමියෙන් තමයි අපි මාර්ෂල් ආර්ට් ඉගෙන ගන්නේ.

පවුලට ඉන්නෙම දුවලා තුන්දෙනෙක්. ඉන්න තුන්දෙනාම කරාතේ කරනවට ගෙදර අය කැමැති වුණා ද?

ඇත්තටම අපි තුන්දෙනා මේ කලාව ඉෙගන ගන්නවාට ගොඩාක්ම ආස වුණේ එයාලා. ආත්ම ආරක්ෂක සටන් කලාවක් ගැහැනු ළමයින්ට අවශ්‍යම දෙයක් කියලයි එයාලා හිතුවේ.

ඔබ දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්..

ඔව් මම මොරටු විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක්. මෝස්තර නිර්මාණකරණය පිළිබඳවයි මම හදාරන්නේ. සතියේ දිනවල විශ්වවිද්‍යාල දේශනවලට සහභාගීවෙන නිසා සති අන්තයේදි තමයි ගෙදර යන්නේ. මගේ සති අන්තය ගතවෙන්නේ මාර්ෂල් ආර්ට් පුහුණුවීම්වලට.

ක්‍රීඩාවක් කරනවා කියන්නේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නෙවෙයි ද?

මම නම් හිතන්නේ ඉගෙන ගනිද්දි අපි අනිවාර්යෙන්ම ක්‍රීඩාවකුත් කළ යුතුයි කියලයි. ක්‍රීඩාවක් කරනවා කියන්නේ අපේ මතක ශක්තිය වැඩි දියුණු වෙනවා. කාලය කළමණාකරණය කරගෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මාර්ෂල් ආර්ට් මාගේ ජීවිතයට උදවුවක් වුණා මිසක් කවදාවත් බාධාවක් වුණේ නැහැ.

ඉතින් ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?

අක්කයි නංගිත් මං වගේම මාර්ෂල් ආර්ට් බ්ලැක් බෙල්ට් දක්වාම ඉගෙනගත් අයයි. අක්කා මධුෂානි මලුද්දෙනිය. නංගි අංජලි මලුද්දෙනිය. අම්මා අයේශා මලුද්දෙනිය තාත්තා.

අජිත් මලුද්දෙනිය. ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට අපිව ක්ලාස් එක්කන් යනවා. අක්කයි මමයි නංගියි තුන්දෙනාම සටන් කලාව කරන නිසා ලොකු සහයෝගයක් ලැබෙනවා. පුහුණු වෙද්දි මගේ අඩුපාඩුවක් දැක්කොත් අක්කයි නංගියි මට කියලා දෙනවා. එයාලගේ අඩුපාඩු තිබුණොත් මම කියලා දෙනවා. හරිම එකමුතුකමෙන් තමයි අපි මේ වැඩේ කරන් යන්නේ. මාර්ෂල් ආර්ට් කියන්නේ හරියට අපේ පවුලේ දෙයක් වගේ.

ඊළඟ අපි හැරෙන්නෙ මේ පවුලේ වැඩිමලා වෙතටයි. ඇය මධුෂානි මලුද්දෙනිය..

තුන්දෙන්නාටම කරාතේවලට ආසවෙන්න තරම් තිබ්බ හේතුව මොකක් වෙන්න ඇති ද?

ගොඩක් වෙලාවට අපි තුන්දෙනාම ආස එකම දේවල්වලට. අපි තුන්දෙනාම එකටම කරාතේ කළා. මාර්ෂල් ආර්ට් කළා. නර්තනය කළා. සංගීතය කළා. ඊට අමතරව අපි පිහිනුම් කළා. ඒක අපි තුන්දෙනාගේ සහෝදර බැඳීමත් එක්ක එන ආසාවක් වෙන්න ඇති.

තුන්දෙනාගෙන් කාගෙ අතින්ද නිතරම වැරදීම් වෙන්න?

සටන් කලාව හදාරද්දි වරදින තැන් ගැන තුන් දෙනාම කතා බහ වෙලයි පුහුණු වෙන්නේ. ඉතින් වැරදෙන තැන් බොහොම අඩුයි.මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් මම අධ්‍යාපනය ලැබුවා. පාසලේදිත් මම කරාතේ කළා. අපි දැන් හදාරන්නේ සෙන් බූඩෝ මාර්ෂල් ආර්ට්. සෙන් බූඩෝ කියන තේරුම හැම සටන් කලාවක්ම කියන එක. අපි තුන්දෙනා මේ සටන් කලාව සෑහෙන දුරට ප්‍රගුණ කළා. අපි තුන්දෙනාටම බ්ලැක් බෙල්ට් දක්වාම මෙය ගෙනියන්න අවස්ථාව ලැබුණේ අපි මේ කලාවට දක්වන ආදරය සහ කැමැත්ත නිසයි.

සටන් කලාව තුළින් ඔයා ඔයාගේ ජීවිතයට ළඟා කරගත් දේවල් මොනව ද?

ඒ තුළින් සාමූහිකව වැඩ කරන හැටි, ජය පරාජය භාර ගන්න හැටි, ආත්ම ශක්තිය වර්ධනය කරගන්න හැටි ඒ හැමදේටම මට උදවුවක් වුණා මාර්ෂල් කරපු එක.

ඉවසීම කියලා දෙනවා. ඒ වගේම මෙමඟින් ආත්ම ආරක්ෂාවකුත් ලැබෙන නිසා අපේ හිතට නිතරම ශක්තියක් හයියක් ලැබෙනවා. ඕනම කෙනෙක්ට නොබියව මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. ජය පරාජය භාරගෙන ඉදිරියට එන බාධකවලට මුහුණ දෙන හැටි. මාර්ෂල් ආර්ට් තුළින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය බොහෝ දේ ලැබෙනවා.

මේ තුළින් ජයග්‍රහණ ලබාගෙන තියෙනව ද?

අපි තුන්දෙනාම කරාතේවලින් පාසල් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ සමස්ත ලංකා මට්ටමින් ගොඩක් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. සෙන් බූ-ඩෝ මාර්ෂල් ආර්ට් තරගවලට සහභාගි වෙලා නැහැ තවම.. මොකද කරාතේ වගේ නෙවෙයි සෙන් බූ ඩෝවල කික් බොක්සිං වැනි සටන් කලාවේ එන තරගවල නීති නැහැ. ඒකේ තේරුම තදින් පහර දීමේ හැකියාව තියෙනවා කියන එක. එහි ජීවිත අවදානමක් තිබෙනවා.

තරගවලදී තුන්දෙනා අතර සටන් කරන්න අවස්ථාව ලැබිලා නැද්ද?

අපි තුන්දෙනා වයස් සීමාවන් තුනක නිසා එහෙම අවස්ථාවන් ලැබිලා නැහැ. නමුත් අපි ටීම් කාතා කරලා තියෙනවා. අපි තුන්දෙනා එක කණ්ඩායමක් විදිහටයි එතකොට ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ තරග වදින්නේ.

එතකොට දැන් ඔබේ වෘත්තිය වෙන්නේ?

මම කොළඹ ඩිජිටල් බ්‍රෂ් ආයතනයේ ග්‍රැෆික් ඩිසයිනර් සහ ක්‍රියේටිව් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. උසස් පෙළ මම ගණිත අංශයෙන් ඉගෙන ගත්තේ. නමුත් පුංචි කාලේ ඉඳන්ම මම නිර්මාණකරණයට හරි කැමැතියි. සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලෙදිම ග්‍රැෆික් ඩිසයිනින් මම තනියම ඉගෙන ගත්තා. යූටියුබ් එකෙන්, විවිධ චැනල්ස්වලින් එතකොට ලින්ඩින් එකෙන් ඉගෙනගෙන මගේ දැනුම තව තවත් වැඩි දියුණුකර ගත්තා.

ඔබ සටන් කලාව ඉගෙනගත් ඇකඩමිය ගැනත් ටිකක් මතක් කරමු.

උෂාන්ත දර්ශන ද සිල්වා සර්ගෙන් තමයි අපි මාර්ෂල් ආර්ට් ඉගෙන ගත්තේ නුවර ඉන්ටර්නැෂනල් සෙන්- බූ -ඩෝ මාර්ෂල් ආර්ට්

ඇකඩමියෙන්. එය එංගලන්තයේ තිබෙන එක්සත් සටන් කලා සංවිධානයේ අනුශාඛාවක්. ශ්‍රී ලංකාව ඇතුළුව දැනට රටවල් 70ක පමණ මේ සටන් කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මේ සටන් කලාව ආරම්භ කළේ 2001 වර්ෂයේදී පෝල් මැක්වෙ මාස්ටර්. අපේ මාස්ටර්ගේ ගුරුවරයා වෙන්නේ ඔහුයි.

පවුලේ බාලයත් හරි ආසාවෙන් ඉන්නේ අපිත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න. ඉතින් ඇයගෙනුත් තොරතුරු අහලා බලමු. ඇය අංජලී මලුද්දෙනිය.

චුටි අක්කාගේ වයිරල් වූ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නෙ?

චුටි අක්කි හරි ආසයි ටික් ටොක් කරන්න. එයාගේ ඒ වීඩියෝ එක මේ තරම් ප්‍රසිද්ධ වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. අම්මිමයි එයාව වීඩියෝ කළෙත්. අක්කිට හරි ලස්සනට නටන්නත් පුළුවන්. එයා නටන ඒවත් ටික් ටොක් කරලා සෝෂල් මීඩියා දානවා. හැබැයි මමනම් වැඩිය සෝෂල් මීඩියා එක්ක ඉන්න කෙනෙක් නෙවෙයි. අක්කිගේ වීඩියෝ බලලා මගේ යාළුවොත් ගොඩක් දේවල් අහනවා. ගොඩක් අය අපේ වීඩියෝ දැක්කම ඒ හැමෝම අහන්නේ මමද මේ පවුලෙන් වැඩිමල්ම කෙනා කියලා. මොකද මං පෙනුමින් ඒ දෙන්නට වඩා චුට්ටක් ලොකුයි වගේ නිසා.

තුන්දෙනා අතරේ පොඩි පොඩි රණ්ඩු ඇති වෙන්නේ නැද්ද?

අපේ යාළුවොත් ඒ ප්‍රශ්නේ නිතරම අහනවා. එයාලා කියනව තුන්දෙනාම සටන් කලාව කරන නිසා රණ්ඩු වෙද්දි තුන්දෙනාම ගහ ගන්නවා ඇති නේද කියලා. රණ්ඩුවක් වෙද්දි බලන් ඉන්නත් ආස ඇති කියලා කියනවා. ගොඩාක්ම එහෙම අහන්නේ පාසලේ හිටපු මගෙ යාළුවෝ. මම ඉගෙන ගත්තේ මහනුවර ගුඩ්ෂෙෆර්ඩ් කොන්වන්ට් එකෙන්. හැම පවුලකම වගේ අපි අතරෙත් ඉඳලා හිටලා පොඩි පොඩි රණ්ඩු තියෙනවා. ගහ ගන්නවා.. ඒ වුණාට ඊළඟ තත්පරේදි යාළුවෙනවා. හැබැයි ඉතින් හැම රණ්ඩුවක අවසානෙදි වෙන්නේ අම්මිගෙන් බැණුම් අහන්න වෙන එක තමයි. අපි තුන්දෙනා සහෝදරියෝ තුන් දෙනෙක්ට වඩා හොඳම යාළුවෝ තුන්දෙනෙක් වගෙයි. අපි තුන්දෙනාගේ වයස්වල අවුරුදු 2ක පරතරයක් තියෙන්නේ.

තුන්දෙනාම එක හා සමානව...මේ හැඩකාර සුන්දරත්වය රැක ගන්නේ කොහොම ද?

අපි තුන්දෙනා සැලෝන්වලට යන්නෙම නැති තරම්. අපිව ලස්සන කරන්නේ අපේ අම්මි. අම්මි හදන හෑන්ඩ් මේඩ් නිෂ්පාදන තමයි අපි භාවිත කරන්නේ. අම්මිගේ වෘත්තිය තමයි අපි තුන්දෙනත් එක්ක ඉන්න එක. අපි තුන්දෙනා කිසි දවසක තනියම ක්ලාස් එකකටවත් ගිහින් නැහැ. ඒ හැමතැනටම අම්මි එනවා. අපි ෆොටෝෂුට් එකකට යද්දිවත් සැලෝන් යන්නේ නැහැ. අම්මි තමයි අපිව මේක්-අප් කරලා හැඩකරලා ලස්සන කරලා ගන්නේ.

------------------------

තුන් සොයුරියන්ට ගු රු වූ දර්ශන මාස්ටර්

 

මේ කියන්න යන්නේ මේ තුන් සොයුරියන්ට ගු රු වූ මාස්ටර් ගැන. ඔහු නමින් උෂාන්ත දර්ශන ද සිල්වා. ඉන්ටර්නැෂනල් සෙන් බූ-ඩෝ මාර්ෂල් ආර්ට් ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු වෙන්නේ ඔහුයි.

ඒ වගේම ඔහු ලෝක එක්සත් සටන් කලා සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති ලෙසත් කටයුතු කරනවා.

1983 වසරේදී සටන් කලාව ඉගෙන ගැනීමට මුල් පියවර තැබූ දර්ශන මාස්ටර් සටන් කලා පන්ති පටන් ගන්නේ 1989 වසරේදියි. දයා සමරසේකර සහ ඉබ්බාල් යන ගුරුවරුන්ගෙන් සටන් කලාව පිළිබඳ මූලික දැනුම ලබා ගත් ඔහු විදෙස්ගත වී කික් බොක්සිං සටන් කලාව පිළිබඳව උපාධියක් ද හදාරා තිබෙනවා. එතැනින් නොනැවතී ස්කොට්ලන්තය, එංගලන්තය, අමෙරිකාව, ග්‍රීසිය සහ ඉන්දියාව වැනි රටවලට ගොස් තවදුරටත් මෙය ගැඹුරින් හැදෑරු ඔහු පසුව kickboxing, Muay Thai, Karate, Aikido, Hakkuro Jiu-jitsu, Samurai sword India stick, Bokken, Sai වැනි වෙනත් සටන් ක්‍රම පිළිවඳව ද සිය අවධානය යොමුකර තිබෙනවා. ඒ සටන් කලාවන් ඔහු ඉගෙන ගත්තේ ඔහුගේ ගුරු පියාණන්වන ස්කොට්ලන්ත ජාතික මාස්ටර් පෝල් මැක්වෙ මාස්ටර් යටතේදියි. 2001 වසරේදී ඔහුත් සමඟ එකතු වෙලා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ඉන්ටර්නැෂනල් සෙන් බූ-ඩෝ මාර්ෂල් ආර්ට් ඇකඩමිය ආරම්භකර තිබෙනවා. එය එංගලන්තේ තිබෙන ලෝක එක්සත් සටන් කලා සංවිධානයේ අනුශාඛාවකි.

නුවර සිසු සිසුවියන් පමණක් නොව දර්ශන මාස්ටර්ගෙන් ගුරුහරුකම් ලබාගන්නට නන් දෙසින් ඔහුව සොයාගෙන පැමිණෙන්නේ ගුරුමුෂ්ටියකින් තොරව ඔහු සතු සියලුම දැනුම සිසු සිසුවියන්ට ලබාදෙන නිසයි. මෙවන් ගුරුවරයෙකුගෙන් ගුරුහරුකම් ලබන්නටත් මේ තුන් සොයුරියන් වාසනාවන්ත විය.

ඡායාරූප  - ශාන් රූපස්සර