වර්ෂ 2024 ක්වූ September 09 වැනිදා Monday
අඩ නිරුවත කියන්නේ මැජික් එකක් නෙවෙයි
ඇය මෙරට කලාව තුළ උඩුගං බලා පිහිනන්නියකි. බොහෝ රංගන ශිල්පිනියන් දායක වීමට තබා කතා කිරීමටවත් මැළිවන මාතෘකා ඔස්සේ සිය රංගන ප්‍රතිභාව විදා හළ ඈ සිනමාව මෙන්ම මේ වනවිට ටෙලි නාට්‍ය හරහාද සමාජය තුළ අලුත් කතිකාවක් ආරම්භ කරමින් සිටින්නීය. තමා සම්බන්ධ වූ පළමු නිර්මාණයේ සිටම අතිවිශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් ඈ “චමත්කා ලක්මිණී” නම් වේ. සුමති සහ සරසවි සම්මාන උලෙළවල දීද ඇය කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වූයේ කෙටි කාලයකින් නැඟී එන නිළියට හිමි සම්මානයට පාත්‍ර වූ නිසාය. සම්මාන දෙකක් දෝතට ගත් ඇයට කියන්න ගොඩක් දේවල් ඇති. ඒ ගැන අපි ඇයගෙන්ම අහලා දැනගනිමු.
පසුගියදා පැවති සම්මාන උලෙළ කිහිපයකදීම ඔබ සම්මානයට පාත්‍ර වුණා. මොකද ඒ ගැන හිතෙන්නේ?
සුමති ටෙලි සම්මාන උලෙළ්දී හියුමන් එරස් ටෙලිය වෙනුවෙන් හොඳම නැඟී එන නිළිය සම්මානය ලැබෙද්දි සරසවිය සම්මාන උලෙළ්දීත් හුස්ම සිනමා පටයට හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒක මට ලොකු සතුටක්.
හැබැයි ඒ සම්මාන ද්විත්වයම ලැබුණේ ලංකාව තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ නිර්මාණ වෙනුවෙනුයි.
හියුමන් එරස් එකේ නීශා, හුස්ම එකේ තාරුකා ඒ දෙන්නටම මම කරපු කැපවීම ගොඩක් අමාරු කැපකිරීමක්. අපි රංගනයක් කරද්දී මඩ කාගෙන දූවිලි කාගෙන කට්ට කාගෙන වැඩ කරන එක ලේසීයි ආත්මය කැප කරනවට වඩා. මම මේ චරිතවලට මගේ ආත්මයම කැප කළා. හියුමන් එරස් අධ්‍යක්ෂක සුපුන් රත්නායක කිව්වේ මේ චරිතය චමත්කා හැරෙන්න වෙන කරන්න කෙනෙක් නැහැ කියලා. ඒ තරමට ඔවුන් මාව විශ්වාස කළා. මේ නිර්මාණ දෙකම ආන්දෝලනයක් ඇති කළේ ඒ නිර්මාණවල තියෙන වෙනස් ගතිය, අලුත් ගතිය, යුනික් ගතිය නිසා. අපි ප්‍රේක්ෂකයාට නිතරම දෙන්න ඕනේ අලුත් දේවල්. එකම නිළියෝ ටික දාගෙන එකම විදිහේ ස්ක්‍රිප්ට්වල රඟපානවට වඩා මේ ඇති වෙච්ච වෙනස ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් වෙන්න ඇති.
කලාව ඇතුළේ ඔබේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ කොතැන ද?
මෙතැනදී මට මතක් වෙන්නේ මගේ පළමු චිත්‍රපටය. නාලක විතානගේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු ‘සරුංගල්’ චිත්‍රපටය. මගේ පළමු චිත්‍රපට රංගනය නිසාම මට පුළුවන් වෙනවා ජනාධිපති සම්මාන උළෙලේ වේදිකාව උඩට නැඟලා සම්මානයක් ගන්න. ඒක තමයි මට හම්බෙන මෝටිවේශන් එක.
ඒ වගේම ‘හුස්ම’ චිත්‍රපටයට මම මගේ මුළු ජීවිතේම වගේ කැප කළා. මම ඒ රංගනය වෙනුවෙන් අතිවිශාල අවදානමක් ගත්තා. එහෙම බලද්දි ‘හුස්ම’ චිත්‍රපටයත් මගේ ජීවිතේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක්.
ඊට අමතරව මට තවත් පුළුවන්, මගේ උපරිමය මීටත් එහා කියන හැඟීම මට ඇති වුණේ හියුමන් එරස් නිසා. ඔය තුන තමයි මගේ රංගනයේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට මම දකින්නේ.
ඔබ හිතන ආකාරයට ලාංකික ප්‍රේක්ෂකාගාරය තුළ අඩ නිරුවත පිළිබඳව තිබෙන ආකල්පය මොන වගේද?
අඩ නිරුවත හෝ නිරුවත වේවා මේ හැමදේම අපි කරන්නේ කලාව එක්ක. කලාව තේරුම්ගත්ත පුද්ගලයාට මේක අමුතු මැජික් එකක් නෙවෙයි. නිර්මාණයකට නිරුවත හෝ අඩ නිරුවත යොදාගන්නේ රස වින්දනය සඳහා අවශ්‍ය පමණට විතරයි නම් ඒක ඇතුළේ මැජික් එකක් හොයන්න දෙයක් නෑ. හුස්ම කරපු කාලේ හිටපු ප්‍රේක්ෂකාගාරය නෙවෙයි 2023 වෙද්දි ඉන්නේ. පහුගිය අවුරුදුවල කොරෝනා නිසා කොටු වුණු මිනිස්සු එළියට ආවේ නැවුම් මිනිස්සු විදිහට. ඒ මිනිස්සු කලාව හොයන්න පුරුදු වුණා. මොකද ගෙවල් ඇතුළේ හිටපු කාලේ ඒ මිනිස්සු බොහෝ කලා නිර්මාණ රස වින්දා.
ඒත් එක්කම මට තේරුම් ගියා හුස්ම චිත්‍රපටය එළියට දාද්දි හිටපු ප්‍රේක්ෂකාගාරයට වඩා හියුමන් එරස් කරලා එළියට දාද්දි ඉන්න ප්‍රේක්ෂකාගාරය වෙනස්. ඔවුන්ගේ ප්‍රතිචාර වෙනස්. එහෙම බලද්දි අද වෙද්දි කලාව ඇතුළේ අඩ නිරුවත හෝ නිරුවත අමුත්තක් නෙවෙයි මිනිස්සුන්ට. ඉතින් අඩ නිරුවත කියන්නේ මැජික් එකක් නෙවෙයි.
ඔබේ ඇතැම් රංගනයන් සම්බන්ධයෙන් එල්ල වුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර දරාගත්තේ කොහොමද?
මම ලොකු විශ්වාසයකින් වගේම එයින් ඇතිවෙන්න පුළුවන් බලපෑම ගැන සිය දහස් වතාවක් හිතලා තමයි නිර්මාණයකට දායක වෙන්නේ. මොකද රංගනයකින් මට වෙන හානිය වළක්වා ගැනීමේදී මම තනි වුණොත් මට ඒකට ලොකු සටනක් කරන්න වෙන නිසා. නමුත් මම දායක වෙච්ච හැම නිර්මාණයකම අධ්යක්ෂවරුන් නිර්මාණය එළියට දැම්මට පසුවත් ඒකේ ගුණාත්මකභාවය වෙනුවෙන් පෙනී හිටියා. ඒ දේවල් එක්ක මට හැම වෙලේම මම දායක වුණේ ගුණාත්මක නිර්මාණයක් වෙනුවෙන් කියන දේ කෙළින් කියන්න ශක්තිය ලැබුණා.
වෙනස් ආකාරයේ කලාවක් හොයන මිනිස්සු අතරේ චමත්කා කියන්නේ ‘අයිකන්’ එකක් කියලා කිව්වොත්?
වෙනස් ආකාරයේ කලාවක්ද දන්නේ නෑ. නමුත් මම මං තුළ කලාව හොයන මනුස්සයෙක්. මම ආසයි අලුත් දේවල් කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ කවුරුත් මීට කලින් නොකරපු දේවල් කරනවා කියන එක නෙවෙයි. මට දැනෙන වැඩ ටිකක් කරන්න මම කැමැතියි. රංගනය මගේ හැමදේම. මම ඒ වෙනුවෙන් සෑහෙන කැප කිරීමක් කරනවා. මේ හැමදේම එක්ක මට ඕනි මම කරන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ වගේම ඒකේ ප්‍රතිඵලය මිනිස්සු දකිද්දි චමත්කා කලින් එකට වඩා වෙනස් චරිතයක් කරලා ඒ අයට දැනෙනවා නම් මට ඒ ඇති.
ජීවිතයේ පසුතැවෙන තැන් තියෙනවා ද?
මම මගේ ජීවිතයේ පසුතැවෙන තැන් අඩුයි. පවුල සම්බන්ධ දේවල්වලදී විතරක් ඇරුණාම වෘත්තියේ දී මට එහෙම දැනිලා නෑ. මවක්, බිරියක් විදිහට කරන භූමිකාව මට තේරෙනවා. ජීවිතේම රඟපෑමක්නේ. මගේ ජීවිතයේ ගෙනියන්නේ කොහොමද කියන එක මම දන්නවා. නෑදෑයෝ ආශ්‍රය කරන්නේ හරිම අඩුවෙන්. ගොඩක්ම යාළුවෝ විතරයි.
මේ දිනවල තිරගත වන වර්ණ ගැනත් කතා කරමු?
මට කවදාවත් එකට වැඩ කරන්න ලැබෙයි කියලා හිතපු නැති පිරිසක් සමඟ වර්ණ තුළදී වැඩ කරන්න ලැබෙනවා. ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක සහ විශ්ව කොඩිකාර වගේ ප්‍රවීණයන් පිරිසක් එක්ක වැඩකරන්න ලැබීමම ලොකු දෙයක්. මේ සිනමාපටයේ ආදරය, සෙනෙහස, රාගය, දුක, සතුට මේ හැමදේම තියෙනවා. මේ වෙද්දි සාර්ථකව තිරගත වෙන වර්ණ සිනමා පටයට ලැබෙන ප්‍රතිචාර බොහොම ඉහළයි. ඇත්තටම වර්ණ කතාබහට ලක් වූ සිනමා පටයක් වෙලා ඉවරයි.
අවසන් වශයෙන් හැමදේටම සහාය දෙන පවුල ගැනත් මතක් කරමු?
ඇත්තටම අපේ පුංචි පුතා එක්ක අපි බොහෝම සතුටින් පවුල් ජීවිතය ගෙනියනවා. සැමියයි මායි නියැළෙන්නේ වෘත්තීන් දෙකක. නමුත් අපි ඒක පෞද්ගලික ජීවිතයට අදාළ කරගෙන නෑ. එකිනෙකාට උදවු කරගනිමින් බොහෝම හොඳින් පුතත් එක්ක සතුටින් ආදරෙන් ඉන්නවා.