වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කැනඩාවේ තනිවුණු මට අප්පච්චි එදා වින්ද දුක- වේදනාව තදින්ම දැනෙනවා
උතුරා ගලන දාරක පිය සෙනෙහස අපූර්වතම අරුමැසියකි. මේ අරුමැසි පිය සෙනෙහස ගැන කියන්නට, සටහන් තබන්නට ඇති දෑ බොහෝය. ආදරණීය තාත්තා... අප්පච්චි ලෙසින් වචන අමුණන සිඟිත්තා තම පියාගෙන් ලබන උණුසුම හා රැකවරණය තුළින් බොහෝ දෑ උරුමකර ගනී.
බහ තෝරන වියේදී තම මවුපිය ආදර රැකවරණයෙන් පෝෂණය වූ දරුවකුට අනාගතයේදී සමාජයේ බොහෝ අත්දැකීම්, අභියෝග, බාධක හා ජයග්‍රහණ මැද තම ජීවිතයට මුහුණදීමට සිදු වෙයි. මෙලෙසින් සමාජය හා ගැටෙන දරුවාට තම ආදරණීය අම්මා, තාත්තා තමා උස්මහත් කරන්නට ගත් වෙහෙස හා මහන්සියේ තරම වඩාත් තදින්ම දැනෙයි.
බොහෝ විට තම මවුපියන් හා සමීපයේ සිටින විට ඒ වටිනාකම හා සෙනෙහස නොදැනුණත් ඔවුන්ගෙන් දුරස්ව වෙනත් රටක හෝ පළාතක සිටින විට එය වඩාත් සංවේදී ලෙසින් දැනෙයි. තම මවගෙන් ලබන සෙනෙහසත් පියාගෙන් ලබන ආරක්ෂාවත් වඩාත්ම සමීප ලෙසින් දැනෙන්නේ පුතෙකුට වඩා ඔවුන්ට සමීප වූ දියණියකටය. මේ සමීප සබැදියාව නොඅඩුව තම දරුවන්ට පුදන ආදරණීය තාත්තා නමැති උතුම් පදවියට හිමිකම් කියන්නට අවස්ථාව හිමිවන්නේ කලාතුරකිනි. තම යුතුකම් හා වගකීම් මැනවින් ඉටු කළ පියෙකුට තම දියණිය උස්මහත් වී සුන්දර යුවතියක් ලෙසින් පතිකුලයට පා තබන විට දැනෙන සතුට නිම්හිම් නැති තරම්ය. ඔහු එය මව මෙන් කඳුළට පෙරළා ලොවට හඬ ගා නොකීවත් ඔහු ද හදපතුලේ සඟවාගෙන සතුටු වන්නේ මහත් අභිමානයෙනි.
මෙලෙසින් සතුටු වන පියකුගේ අපරිමිත වූ සෙනෙහස ගැන, අතීත මතක සැමරුම් ගැන දියණියක් විසින් තබන ලද සටහන් තුළ සමාජයට ලද හැකි ආදර්ශය අති විශාලය. මෙවන් වූ පිය සෙනෙහස, අරුමැසිය ගැන සටහනක් තබන්නට අප හා මෙවර එක් වන්නේ හෙළ ගී අඹරේ දිගු කලක් පුරා ජනප්‍රිය ගායකයකු ලෙසින් මතක ගී සටහන් රැසක් දායාද කළ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි නම් ප්‍රවීණ ගායකයාගේ දියණියයි.
සත් සමුදුරෙන් එහා ඈත එපිට කැනඩාවේ සිටින චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය ලිහිනි විහන්ගා හෙට්ටිආරච්චි මෙවර අප සමඟ පිළිසඳරට එක්වූයේ දහසක් වැඩ රාජකාරි හා අධ්‍යාපන කටයුතු සමඟිනි. කැනඩාවේ වැන්කෝව විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන ඇය තම ආදරණීය සැමියා වන දිල්ශාන් එදිරිසිංහ සමඟ වසර දෙකකට වැඩි කාලයක් කැනඩාවේ ගත කරමින් තම අධ්‍යාපන කටයුතු අවසන් කිරීමේ අවසාන කාල පරිච්ඡේදය ගත කරමින් සිටියි. තම අධ්‍යාපන කටයුතු හා දෛනික කටයුතු රැසක් මැද ලිහිනි මෙම පිළිසඳර සටහනට එක් වූයේ තම පියා බොහෝ කලක් තරුණී සමඟ වූ සබැඳියාව දන්නා නිසාමය. ඈත රටක තම මවුපියන්ගෙන් ඈත්ව තම සැමියා සමඟ ඇය ගෙවන ජීවිතය තුළ තම මවුපියන් ගැන බොහෝ සිහිවෙයි. ඒ මතක සැමැරුම් අතරින් ඇයට වඩාත්ම තදින්ම මතකයේ රැඳි සිදුවීම් බිඳක් අප හමුවේ තැබුවේ උතුරා ගලන හැඟුම්බර මතක සිත්තම් ලෙසිනි.
“පවුලක් ලෙස අපව මේ තත්ත්වයට ගේන්න අපේ අප්පච්චි පුදුම කැපවීමක් කළ කෙනෙක්. අපේ අප්පච්චි මුළු ජීවිතයම සෑහෙන්න කැපවීමක් කළ චරිතයක්. අප්පච්චි මුලින්ම සංගීත ලෝකයට ප්‍රවිෂ්ට වෙන්නේ බෙල්හුඩ් සෞන්දර්ය නිකේතනයෙන්. අප්පච්චිගේ අම්මා ඒ කියන්නේ මගේ ආච්චියි, සීයයි ජීවත් වුණේ යටියන්තොට ගරාගොඩ කියන ගමේ. සීයා මිය ගියාට පස්සේ ආච්චි වත්තක කිරි කපලා තමයි අප්පච්චිට උගන්වලා තියෙන්නේ. ඇත්තටම ඒ කාලේ පටන්ම අපේ අප්පච්චි සෑහෙන්න දුක් විඳලා තමයි තැනකට ආවේ. ඊට පස්සේ තමයි අපේ අප්පච්චි කොළඹ ඇවිත් තියෙන්නේ.
අපේ අම්මා මංගලිකා හෙට්ටිආරච්චි හමුවෙන්නේ ඉන්පසුවයි. අපේ පවුලට මුලින්ම එකතු වුණේ අයියා ගයාන් මධුවන්ත. ඊට පස්සේ තමයි මම. අපේ අප්පච්චිත් සමඟ ගත කරපු කාලය මතක නම් ගොන්නක්ම තියෙනවා. අපේ අප්පච්චි තරුණ සේවා සභාවේ උපදේශකවරයෙක් ලෙස සේවය කරපු කාලේ තමයි පුදුම කැපවීමක් කළේ.
අප්පච්චි උදේට ගෙදරින් යන්නේ ඇඳුම් ටිකක් බෑග් එකේ දාගෙන. හවසට වැඩ ඇරිලා සමහර වෙලාවට සංගීත සංදර්ශනවලට යනවා. ඒ ගිහින් එන්නේ රෑ එළිවෙන කිට්ටුව. සමහර සංගීත සංදර්ශන බලන්න අපි පවුල පිටින්ම යනවා. අපට තිබුණා පොඩි වෑන් එකක්. වෑන් එකේ පිටිපස්සේ තියෙන්නේ එක සීට් එකයි. පිටිපස්සට මෙට්‍රස් එකක් දාලා ඒකෙ තමයි මමයි අයියයි යන්නේ. සමහර වෙලාවට අම්මත් පොඩ්ඩක් පස්සට එනවා. තාත්තා සින්දු කිය කියා වාහනය ඩ්‍රයිව් කරනවා. හරිම සුන්දරයි. අපි ට්‍රිප් එකක් යනවා වගේ තමයි සංගීත සංදර්ශනවලට ගියේ.
පුංචි කාලේ පටන්ම මමත් ඉතින් සින්දු කියන්න ආසයි. ඒ කාලෙ මම කියන ජනප්‍රියම සින්දුව තමයි අසංග ප්‍රියමන්ත පීරිස් මහත්තයාගේ ‘මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්’ කියන ගීතය. මේ ගීතය කියනකොට අප්පච්චි කියනවා මගේ දෝණි කවදා හරි හොඳ ගායිකාවක් වෙනවා මංගලා කියලා. හැබැයි අම්මා තාත්තාට වඩා වෙනස්. එයා හැම වෙලාවෙම අපේ ඉගෙනීම ගැන හොයලා බලනවා. පන්ති එක්ක යනවා. අපි වෙනුවෙන් අම්මට කරන්න ලොකු වැඩ කොටසක් පැවරිලා තිබුණා. ඒ නිසා අම්මත් එක්ක තිබුණු බැඳීම අප්පච්චිට වඩා වැඩියි.
අපට අප්පච්චි කිසිම දෙයකට බලකිරීමක් කළේ නැහැ. විශේෂයෙන් මට සංගීතය ඉගෙන ගන්න අම්මවත්, අප්පච්චිවත් කිව්වෙ නැහැ. මම තමයි උසස් පෙළ සඳහා සංගීත විෂයය තෝරා ගත්තේ. නමුත් මට විශ්වවිද්‍යාලයේදී විශේෂවේදී උපාධියට ව්‍යාපාර සංඛ්‍යානය තෝරා ගන්න සිදු වුණා. මම කැනඩාවේදී ව්‍යාපාර සහ පරිගණක විද්‍යා විශේෂ උපාධියත් තමයි හදාරන්නේ.
ඇත්තටම දැන් මට දැනෙනවා අප්පච්චි කොයිතරම් දුකක්, මහන්සියක්, වෙහෙසක් ඒ කාලෙ ගත්ත ද කියලා. සමහර දවස්වලට අප්පච්චි ගෙදර එන වෙලාවවත්, යන වෙලාවවත් අපි දන්නේ නැහැ. එදා අප්පච්චි කරපු දේවල් ගැන මට කැනඩාවේ ගත කරන කාලයේදී තදින්ම දැනෙනවා. අපි මෙහෙ තනි වෙලා. අප්පච්චි තරම් දුක් වින්ඳේ නැති වුණත් මම රෑ වෙලා එනකොට දැනෙනා වෙහෙස, මහන්සිය.. කොයි තරම් ද කියලා දැනුණහම මම අප්පච්චිට කතා කරනවා. මම කියනවා අප්පච්චි අපි වෙනුවෙන් කොයිතරම් ඒ කාලෙ දුක් විඳින්න ඇති ද කියලා මට දැනෙනවා කියලා.”