වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අප්පච්චිගේ මුළු ලෝකයම වුණේ අපි
ලෙය කිරට හැරෙන පෙමට පමණක් දෙවැනි වූ පීතෘ ප්‍රේමය ඉතා ගැඹුරුය. එය මහ මෙරකට වඩා ගැඹුරු ලෙසින් හදවත පතුලේ රඳවාගෙන ඔහු දරුවන්ට දක්වන සෙනෙහස දෝර ගලා යයි. ඒ ආදරණීය පිය සෙනෙහස මවු සෙනෙහසට වඩා වැඩි හෝ අඩු යැයි කිසිවකුටත් තර්ක කළ නොහැකිය. ඒ ප්‍රබල වූ ආදර සෙනෙහසක ඇති ගැඹුර වඩාත් හොඳින් සමීපව දැනෙන්නේ තම ලෙයින් උපන් දියණියටය. තම දිවියේ ආදර සෙනෙහස හා ආරක්ෂාව මුලින්ම තම පියාගෙන් ලබන දියණියක් ඔහුට වඩ වඩාත් සමීප වන්නේ කුඩා අවධියේදීමය. පුතෙකුට වඩා දියණියකට තම පියාගෙන් හිමිවන ආරක්ෂාව හා සෙනෙහසේ රැඳී ඇත්තේ විද්‍යාත්මක පදනමක් මත ගොඩනැඟුණු පරිකල්පනයකි. එය වඩාත් සංවේදී ලෙසින් දැනෙන අවස්ථා බොහෝය. ඇය විවාහවන අවස්ථාව දක්වාම තම පියාගෙන් ලබන ආරක්ෂාව හා සෙනෙහස ගැඹුරු ලෙසින් විවරණය කරනු ලබන්නේ විවිධ වූ සංසිද්ධි පදනම්කර ගනිමිනි.
මේ ගැඹුරු වූ පිය සෙනෙහසට ගී පදවැල් ලිය වී ඇත්තේ ඉතාම අතලොස්සක් වුවත් සංවේදී හදවතකට තම පියා ගැන බොහෝ දෑ සටහන් කළ හැකිව තිබේ. ඒ සටහන් මතක සැමරුම් අතර ප්‍රියා සූරියසේන නම් කෘතහස්ත ගායකයාට සුවිශේෂ ස්ථානයක් හිමි වෙයි. ආදරණීය දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියා බවට පත්වන ප්‍රියා හෙළ ගී අඹරේ ජනප්‍රිය ගී රාශියක් ගැයූ ගායකයෙකු ලෙසින් දශක හතරකට වඩා වැඩි කාලයක් රසිකයන්ගේ මතකයේ රැඳී සිටීම ඉතා විශාල වාසනා මහිමයක් මෙන්ම ඔහු උපතින්ම ලැබූ සහජ කුසලතාවයේ පිං මහිමයයි.
මේ ප්‍රවීණ ප්‍රතිභාපූර්ණ කලාකරුවාගේ ගීත ලෝකය වඩාත් හැඩ වී ඇත්තේ ඔහුගේ පවුල් කුටුම්භය තුළ වූ ආදරණීය සැබැඳියාවෙනි. ජීවිතයේ අපමණ වූ බාධක හා හැළ හැප්පීම් රැසක් මැද දිවි සයුරේ ගැඹුර සොයා ගිය ප්‍රියා ජීවිත මං පියසේ ඔහු ලැබූ වටිනාම සම්පත බවට පත් වූයේ ඔහුගේ ආදරණීය බිරිය තමරා සූරියසේන හා දරුවන් හතරදෙනාය. මේ දරුවන් හතරදෙනා අතුරින් ප්‍රියාගේ අඩි පාරේ යන්නට වඩාත්ම කැමැත්තක් හා උනන්දුවක් දක්වන්නේ ඔහුගේ දෙටු දියණියවන ඉරෝෂි සූරියසේනයි. ඇය තම පියාගේ අඩි පාරේ යමින් නව නිර්මාණකරණයේ යෙදෙමින් ඇයගේම නිර්මාණ බිහිකිරීම් තුළින් ගී ලොව හැඩ කරයි. බැංකු කළමනාකාරිනියක ලෙස ඉතාම කාර්ය බහුල ජීවිතයක් ගතකර ඇය ඒ සියලු කාර්යයන් මැද තම පියාගේ නිහඬ වූ කටහඬට නැවත ජීවය දෙන්නට පෙරට පැමිණ ඇත්තේ නව අවුරුදු ගීතයක් ද සමඟිනි. ඇය පසුගියදා ‘එරබදු මල් පිපිලා’ නම් නව ඇල්බමයක් නිකුත් කළ අතර බණ්ඩාර ඇහැළියගොඩ මහතා ගේ පද රචනයෙන් සහ නවරත්න ගමගේ මහතාගේ සංගීතයෙන් එය හැඩ වී තිබේ. මේ අලුත් ගීතයත් සමඟ ඉරෝෂි තම ජීවිතයේ අතීතය ගැන සිහිපත් කළේ හරිම හැඟුම්බර ලෙසිනි. ඒ අතීත මතක සැමරුම අතර ඇය තම ආදරණීය අප්පච්චි ගැන සිහිපත් කළේ මහත් සෙනෙහසිනි.
“අපේ අප්පච්චිට අවුරුදු කාලෙට අපිත් එක්ක ගත කරන්න ලැබෙනවා අඩුයි. ඒ කාලෙට අප්පච්චිට ලංකාව වටේම සංගීත ප්‍රසංගවලට යන්න වෙනවා. මට මතකයි දවසක් අවුරුදු දවසේම ප්‍රසංගයකට යන්න තිබුණා ඈත ප්‍රදේශයකට. අපිත් එක්ක අවුරුදු මේසයට හිටියොත් අප්පච්චිට ඒ ප්‍රසංගයට යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි කිව්වා කමක් නැහැ අප්පච්චි යන්න... අපි පහුවදාට අවුරුදු මේසය හදමු කියලා. නමුත් අප්පච්චි කිව්වා ප්‍රසංගයට යන්න පරක්කු වුණාට වඩා අවුරුද්දකට සැරයක් එකතු වෙලා කෑම මේසයට ඉඳලා යන එක වටිනවා කියලා. ඊට පස්සේ තමයි අප්පච්චි ප්‍රසංගයට ගියේ. ප්‍රසංගයට යනකොට ඒක ඉවරවෙන්න තිබිලා තියෙන්නේ විනාඩි දෙක තුනයි. නමුත් අන්තිම තප්පර දෙක තුනේදී හරි ආපු එක ගැන සතුටු වෙලා අප්පච්චිට සිංදු කියන්න සංවිධායක මණ්ඩලය ආරාධනා කරලා තියෙනවා. ඇත්තටම ඒ වගේ ලොකු බැඳීමක් අපේ පවුලේ තිෙයනවා. ඒ කියන්නේ අපේ අප්පච්චි අපට පෙනෙන්නේ වීරයෙක් විදිහට. අප්පච්චි කිසිම වෙලාවක කලා කටයුතු නිසා ඔහුගෙන් පවුලට විය යුතු යුතුකම් ටික අඩුවක් කරන්නේ නැහැ. මට මතකයි මම උසස් පෙළ කරන කාලෙ සමහර දවස්වලට පන්තිවලට යන්න තියනවා. අප්පච්චි එන්නේ මහ රෑ එළිවෙලා. නමුත් උදේම මාව පන්තියට දාන්න නැඟිටිනවා. එයාගේ ලොකුම හීනය වුණේ අපි හතරදෙනාම ඉගෙන ගන්න එක. මොකද එයාට තිබුණු ආර්ථික අපහසුකම් සහ දුෂ්කරතා නිසා උපාධිය සම්පූර්ණ කරන්න බැරි වෙලා තියනවා. එයා තමයි අප්පච්චිගේ පවුලේ එකම පිරිමි දරුවා. නාත්තන්ඩිය වගේ දුෂ්කර ප්‍රදේශයක ඉපදිලා අප්පච්චි ගුරු වෘත්තියට ඇවිත් තියෙන්නේ හරිම අමාරුවෙන්.
හුඟක් වෙලාවට අපට අප්පච්චිත් එක්ක ගත කරන්න ලැබෙන්නේ සති අන්තයේදී විතරයි. සති අන්තයේදී අපි කරන්නේ එකට එකතු වෙලා පොඩි ට්‍රිප් එකක් යනවා. එහෙම නැති වුණොත් එකට එකතු වෙලා කෑමක් උයනවා. සමහර වෙලාවට අප්පච්චි සමහර ගීත පුරුදු වෙනවා. හැබැයි අපි පාඩම් කරනවා. එයා කරන්නේ ඒක නවත්තලා පොඩ්ඩක් එළියට ගිහින් එනවා.
අප්පච්චිගේ එකම හීනය වුණේ අපට උගන්වන එක. එයා හැම වෙලාවෙම කියන්නේ හොඳට ඉගෙනගෙන උපාධියක් කරලා ඊට පස්සේ සංගීතය ඉගෙන ගන්න කියලා. මොකද එයාට ඉගෙනගෙන උපාධියක් ගන්න බැරි වුණ එක ගැන ලොකු කනගාටුවක් තිබුණා. ඒ නිසා ඒ අඩුව අපට උගන්වලා හරි සම්පූර්ණකර ගන්න ආසාව තිබුණා. ඇත්තටම අපේ පවුලේ හතරදෙනාම හොඳට ඉගෙනගෙන අප්පච්චිගේ අපේක්ෂාව සම්පූර්ණ කළා. නමුත් අප්පච්චි නොහිතපු වෙලාවක තමයි අසනීප වුණේ. එහෙම නොවුණා නම් අප්පච්චිත් එක්ක අපට සංගීත ක්ෂේත්‍රයේ ලොකු දෙයක් කරන්න තිබුණා. ඇත්තට අප්පච්චිට තිබුණු කටහඬ හරිම ගැඹුරුයි. ඒ සින්දු ඒ විදිහටම කියන්න ලේසි නැහැ. ඒ නිසා අප්පච්චිට තිබුණු ජනප්‍රියත්වය තවම අඩුවක් නැහැ.
අපි තවමත් අප්පච්චි ලෙඩ වුණා කියලා ඔහු තනි කරලා නැහැ. අම්මයි අප්පච්චියි ළඟ ඉන්න මල්ලි ළඟදීම ලංකාවට එනවා. අපි මමයි නංගියි අක්කයි තුන් දෙනාම හැම වෙලාවෙම අප්පච්චි බලා ගන්නවා. මේ අවුරුද්දේ මල්ලි නැති වුණාට අපි ඔක්කොම මහ ගෙදරට එකතු වෙලා අප්පච්චිත් එක්ක අවුරුදු සමරනවා. ඒක එයාට ලොකු සතුටක්. සමහර වෙලාවට අප්පච්චි හරිම සංවේදී වෙනවා. ඒ වෙලාවට එයාට ඇඬෙනවා. නමුත් එයා හිත හයිය ධෛර්යවන්ත පුද්ගලයෙක්. ඒ ධෛර්යය ශක්තිය හා කැපවීම තමයි අපව මේ තරම් දුරක් ගෙනාවේ. අම්මා වගේම අප්පච්චිත් සෙවණක් වගේ අදටත් ඉන්නවා. අපි දැන් විවාහ වෙලා වෙනම ජිවත් වුණත් අපට තියන ආදරය අඩුවක් නැහැ. අප්පච්චි ජනප්‍රිය ගායකයෙක් වුණාට කිසිම දවසක ජනප්‍රියත්වය ආභරණයක් කරගෙන අනවශ්‍ය ලෙස හැසුරුණේ නැහැ. එයාට ඕනෙ වුණේ තමුන්ගේ පාඩුවේ අපිත් එක්ක සතුටින් ජීවත් වෙන්න. ඒ සතුට අප්පච්චි ලෙඩ වුණාට අපට පුළුවන් විදිහට දෙනවා. මම අලුතින් කරන නිර්මාණවලටත් එයා පුදුම කැමැතියි. මම හිතන්නේ ආදරණීය පියෙකු ලෙස අපේ අප්පච්චි දිවා රෑ නොබලා වෙහෙසුණේ අපව යම් තැනකට ගේන්න. ඒ වෙහෙස මහන්සියේ ප්‍රතිඵල ඔහුට දකින්න ලැබීම විශාල වාසනාවක්”.