වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සුදු සඳ එළියේ ගී ලොවට පිපුණු වෙසක් කැකුළ
සුදු සඳ එළියේ නළ මත පොපියන හිරු මල් කැකුළක රොන් ඉහිරිණි. එක එක මැණිකෙක එක එක රූපෙක එළියෙන් නැහැවුණු මලක් වී ඒ කැකුළ ගීත ක්ෂේත්රයේ පිපිණි. ඇය මාපා හාමු මුදියන්සෙලාගේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාරයි. (අප කවුරුත් දන්නා ඉන්ද්‍රානි සේනාරත්නයි.)
වෙසක් කැකුළු, හිතන්නකෝ අයියේ, හොඳ හොඳ ළමයින් අපි වාගේ, හඳ පානේ මල් පිපුණා, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, සිරිමා බෝ මැඩ, රතු පාට මල් වැනි අමරණීය ගීතාවලියක ජන හද රැන්දූ කෝකිලාව ඇයයි.
කලාව ගැහැනු දරුවකුට නොහොබිනා දෙයකැයි සිතු කාලයක ඉන්ද්‍රාණි කලා ක්ෂේත්රයට පිවිසියාය. පුංචි ඉන්ද්‍රාණිගේ කලා දිවියේ මහ ගෙදර වූයේ කොළඹ මියුසියස් විද්‍යාලයයි. එහෙත් ඇය මුලින්ම කලාවට අත්පොත් තැබුවේ ගායනයෙන් නම් නොවෙයි. පෑන් තුඩිනි. ලේඛිකාවක වීමට සිහින මැවූ ඇය පුවත්පත්වල ළමා පිටුවලට, කාන්තා පිටුවලට ලිපි ලියා ලැබුවේ අපමණ සතුටකි. ගායිකාවක ලෙස ජනප්රියවී සිටි කාලයේ ද ඇය සැම විටම ලේඛනයට ඇලුම් කළාය. පුවත්පත්වලට ලිපිද සැපයුවාය.
ඉන්ද්‍රාණිගේ සිත ලේඛනයට ඇදී යද්දී ඇයගේ ගායන හැකියාව හඳුනාගත්තේ පාසලේ ඊවා පෙරේරා සංගීත ගුරුතුමියයි. අපේ පළමු නිළි රැජන රුක්මණී දේවියත්, චිත්‍රා පෙරේරාත් (චිත්‍රා සෝමපාලත්) පුංචි ඇයගේ ලෝකයේ ගායන වීරවරියන් වෙද්දී ඇයට ද නොදැනීම දෛවයේ ලියැවුණු පරිදි ගායන ලොවේ දොරටු විවර විණි.
කවි කීමට හපන් ඉන්ද්‍රාණි ඒකාලයේ ජනප්‍රිය වී තිබූ ‘කෝකිල හටන’ කවි තරගයෙන් ලංකාවේ සියලු පාසල් තරගකරුවන් අබිිබවමින් පළමුවැනියා වී මියුසියස් විද්‍යාලයට ජයග්‍රහණය අත්පත්කර දුන්නාය.
ලංකා ගුවන් විදුලි සේවයට විසි පස් වසරක් පිරීම නිමිත්තෙන් නිමැවුණු ‘ලෝපුරා රැව් නඟා’ ආසිරි ගීයේ සුනිල් සාන්තයන්ගේ සහාය ගායිකාව වීමට වරම් ලැබුවාය. ළමා පිටියේ ජනප්‍රිය ගායිකාවක වූවාය. ‘සොම්නස හෝ සන්තාපය හමුවේ’ ගීය සුසිල් ප්‍රේමරත්නයන් සමඟ ඇය ගැයුවේ ළමා ගායිකාවක ලෙස සිටියදීය. ළමා පිටියේ ළමා උපන්දින සුබ පැතුම් ගීය වන “ආයුබෝවන් - වාසනාවන් - ප්‍රීතිමත් සුබ උපන් දිනයක් හිමිවේවා” ගී හඬද ඇයගේය. ලංකාදීප පත්‍රය සංවිධානය කළ දීපසිකා සම්මාන උලෙළේදී ‘ගුවන් විදුලි රංජනී’ වීමට තරම් ඇය රටපුරා ජනප්‍රිය ළමා ගායිකාවක වූවාය. එවකට ඇය කොළඹ දේවි බාලිකා විදුහලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව සිනමා පටයේ ගී ගයන්නට ලැබීම ඉන්ද්‍රාණිගේ ජීවන රේඛාව ස්වර්ණ රේඛාවක් බවට පත් කළ හැරවුම් ලක්ෂ්‍යයයි. ජීවන සහකරු සිසිර සේනාරත්න ඇයට මුණ ගැසුණේ රේඛාව සිනමා පටයට ගී ගැයීමට යද්දීය. උඩු ගුවනේදී බැඳි හාදකම මල්පල දැරුවේය. සිසිර - ඉන්ද්‍රානි ගී හඬ රන් රස සේ පෑහුණා සේම දෙහද ද ගීයට තනුවක් සේ වෙන් කළ නොහැකි ලෙස බද්ධ විණි. ‘ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ, ඕලු නෙළුම් නෙරිය රඟාලා ගීයේ ඉන්ද්‍රාණිගේ සහාය ගායනය සිසිරට ජීවිතය පවතින තුරුම සහාය ගායනාව බවට පත් විය.
ඉන්ද්‍රාණි, සිසිරට සසර පුරා පතාගෙන ආ බිරියක වූවාය. කඩවසම් ජනප්‍රිය ගායකයකු වූ සිසිරට පෙම්පත් සිය ගණන් ලැබුණේ ඉන්ද්‍රාණිට පෙම් කරන කාලයේය. විවාහයෙන් පසුවද ඔහු දෙස වරක් බැලූ තරුණියක් නැවත හැරී බැලීමට පැකිළුණේ නැත. එහෙත් ඒ කිසිවක් ඉන්ද්‍රාණි දබරයකට හේතුවක් කර නොගත්තාය.
විවාහවූ අලුත ඉන්ද්රාණිගෙන් බතට හොද්දට ලුණු වැඩි වුණත් සිසිර ද ඉවසුවේය. ඉන්ද්‍රාණි ඉවුම් පිහුම් වැරැදි හදාගෙන සිසිරට රසට කෑම පිසින්නට උගත්තාය. ඇය වෙනත් ගායකයන් සමඟ ගී ගයනවාට නම් ඔහු තරම් මනාපයක් දැක්වූයේ නැත. ඉන්ද්‍රාණි ඔහුගේ මනාපයට ඉඩ දුන්නාය.
“ඉස්සර මට හරියට කේන්ති යනවා. මහ ලොකු කාරණාවලට නෙවෙයි. බොහොම පුංචි දේවවල්වලටයි. ඉන්ද්‍රාණි ඒවා ඉවසාගෙන හිටියනෙ. මං ලෙඩ වුණ වෙලාවෙ මට අම්මා කෙනෙක් වුණා. අදටත් මෙයා මගෙ හෙවණැල්ල වගේ.
මේ වගේ බිරිඳක් ලබන්න මං බොහොම වාසනාවන්තයෙක්.” මිය යන්නට ටික කලකට පෙර සිසිර සේනාරත්නයන් මාධ්‍යයට මුළු හදවතින්ම පැවසුවේ එනිසාය. ඉන්ද්‍රාණි සිසිරට වඩා වසරකින් බාලවිය.
රෝගී වී සිටින සිසිර සේනාරත්නයන් මිය ගිය බවට ආරංචියක් පැතිර ගියේ දෙදෙනා විවාහ දිවියේ පනස්වැනි සැමරුම වෙනුවෙන් ‘සිසින්ද්රා’ ප්‍රසංගයට සූදානම් වෙද්දීය. මරණය ගැන විමසා සිසිර ඉදිරියේදීම ඇමතුම් ගලා එද්දී ඇය එය සැමියාගෙන් සඟවා ගත්තේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් අග්‍රප්‍රාප්ත බිරියක බව ප්‍රකට කරමිනි.
ඉන්ද්‍රාණි ලේඛන කලාවට ඇති ඇල්ම මියෙන තුරුම අත් නොහැරියාය. මියෙන තුරුම මුවින් ගී පද ගැයුණාසේ අතැඟිලි අතරේ පෑන් තුඩ ද රැඳුණි. ‘රන් පියවර’ සිය කලා ජීවිතයේ පනස්වස ගැන ඇය ලියූ කෘතියයි. ඒ කෘතියේ ද කථා නායකයා බවට සිසිර පත් කළේ හිමි බැති පෙම් උපදවාගෙනයි.
කතාබහ කර තීරණගත් එකිනෙකාට ළෙන්ගතුව කටයුතු කළ පති පතිනියන් කලා ලොවේ සිටින්නේ අතැඟිලි ගණනටත් අඩුවෙනි. සිසිර - ඉන්ද්‍රාණි ඒ පතිපතිනියන් අතර ද කිරුළ පැලඳුවන්ය.
සිසිර රෝගී වී සිටියදී ඉන්ද්‍රාණි දිවා රෑ ඔහුට ඇසෙන සේ සෙත් පිරිත් සජ්ඣායනා කළාය. මේ භවයෙන් ඔහු නික්ම ගිය පසු දියණියටත් පුතුන් දෙදෙනාටත් මුනුබුරු මිනිබිරියන් පස් දෙනාටත් සිසිර සේනාරත්නයන්ගේ අඩුව පූරණය කළාය. දැන් ඇය ද නික්ම ගොසිනි. ඒ ජුලි 15 වැනිදාට 83 වැනි උපන් දිනය සමරන්නට තිබියදීය. එහෙත් ගුවනේ කොහේදෝ සිට සිය සංසාරික බිරියට සිසිර “ලොව මිහිර නොබලා, රස සිහින පෙනිලා, මගෙ මැණික සුවසේ නිදී’ කියනු ඇසෙයි.