වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඇය වැනි දක්ෂ කෙනකුට මං එහෙම කළානම් එය ජාතික අපරාධයක්
මෙරට වීදි නාට්‍ය මෙන්ම වේදිකා නාට්‍ය හා රංග කලාව වෙනුවෙන් සක්‍රීයව දායකත්වය ලබාදෙන මේ ප්‍රවීණයා ගැන අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නොවේ. පරපුරක් බිහි කිරීමට ගුරු වෙමින් නාට්‍ය හා රංග කලාවේ නිරතව කටයුතු කරන ඔහු වෘත්තීයෙන් සෞන්දර්යය සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වෙයි.
මෙරට වේදිකාව පෝෂණය කිරීමට කැපවී සිටින අපූරු නාට්‍යවේදියා ප්‍රසන්නජිත් අබේසූරිය සම්මානනීය කලාකරුවෙක්.
ඔහු මේ දිනවල අපට හමුවන්නේ සද්ධා මංගල සුරියබණ්ඩාරගේ රචනයෙන්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණයෙන් විකාශය වන නාඩගම්කාරයෝ නාට්‍යයේ මාස්ටර් නමැති චරිතය සමඟයි. තරුණී අද කතා බහ වෙන්වන්නේ ඔහු සමඟින්.
මාස්ටර්ගේ චරිතය ප්‍රේක්ෂකයෝ බොහොම ආදරයෙන් වැළඳගෙන...
ඔව්. ඒ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වනවිට වැඩිම පිරිසක් නරඹන නාට්‍යත් නාඩගම්කාරයෝ. හැමදාම දකින ටෙලි නිර්මාණවලට වඩා මෙය වෙනස්ම විදිහේ නිර්මාණයක් නිසා ප්‍රේක්ෂක හිත්වලට තදින්ම කා වැදුණා.
නාඩගම්කාරයෝ ටෙලිය මෙතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක් ද?
මේ ටෙලිය ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක් බලන්න නම් අපිට හොයාගෙන බලන්න වෙනවා. නමුත් මේක ගෙදර ඉන්න ඔක්කෝටම බලන්න පුළුවන්. මෙයි වැඩි හරියක්ම තියෙන්නේ පන්සලේ බණ මඩුවේ වේදිකා නාට්‍ය පුහුණ කිරීම. දවසකට පුංචි කොටසකින් හරි මේ නාට්‍යයෙන් වේදිකාව ගැන කියලා දෙනවා. ඒ වගේම දැනුමට යමක් ලැබෙනවා. මේ කෝවිඩ් කාලයේ හැමෝම ගෙවල්වල රැඳිලා ඉන්නේ. ඉතිං අලුත් නිර්මාණ රූගත කිරීම් කෝවිඩ් නිසා අඩපණ වෙලා තියෙන වෙලාවේ විනෝදාශ්වාදයට අලුත් යමක් තිබුණේ නැහැ. ඒකත් එක හේතුවක් මේ නාට්‍ය ජනප්‍රිය වෙන්න. අනිත් එක නිවෙසේ ඉන්න වයසකම කෙනාගේ ඉඳලා පොඩිම කෙනා දක්වාම බලන්න පුළුවන් නාට්‍යයක් නිසා.
ටෙලි තිරයේදී, ඔබ මේ විදිහට බොහෝ දෙනාට දැනෙන චරිතයක් රඟපාන්නේ සෑහෙන කාලයකට පසුව නේද?
ටෙලිනාට්‍ය රඟපෑම ඉතා අඩුයි. ටෙලි නාට්‍ය රඟපෑමට වඩා ප්‍රතික්ෂේප කළ චරිත බොහෝමයි. විවිධ හේතූන් මත සමහර චරිත බාරගන්න අපහසු වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස මගේ භූමිකාව ගැනත් හිතලා තමයි චරිත බාරගන්නේ. එම වෘත්තියෙන් ලැබෙන සීමිත විවේකය වැඩිපුර වෙන් කළේ වේදිකාවට. විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ මුල් කාලයේදී වසර තුනක් පමණ රඟපෑමට සම්බන්ධ වුණේම නැහැ. පසුගිය කාලයේදී මුතු වරුසා, ඉලංදාරි හැන්දෑව, සකූගේ කතාව, නාඩි ඇතුළු නාට්‍යවල රඟපෑවා. ඉන්පසු ‘හදවිල අරණ‘ සහ මෑතකදී තෝරාගත්තේ මේ නාඩගම්කාරයෝ නාට්‍යයි. . කොහොමටත් යමකට දායක වෙනවා නම් මම ඒ දේ කරන්නේ වඩාත් තෘප්තිමත්වයි. මම තෘප්තිමත් නැත්නම් කිසිම දෙයක් බාරගන්නේ නැහැ.
කොහොම ද මාස්ටර්ට ලැබෙන ප්‍රතිචාර..
විවිධාකාර ප්‍රතිචාර ලැබෙනවා. මං දන්න කියන අය පවා මට දැන් කතා කරන්නේ මාස්ටර් කියලා.
විශේෂයෙන්ම රටපුරා මට විශ්වවිද්‍යාල හා ඉන් පිට විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ශිෂ්‍යනුත් මට මාස්ටර් කියලයි කතා කරන්නේ. සමහර ශිෂ්‍යයන් කියනවා අපි පරක්කු වෙලා අවොත් අපිට නම් ඔහොම සරා ට වගේ ආදරයෙන් සැලකුවෙ නැහැ කියලා. ඉතිං ශිෂ්‍යයින්ගේ වගේම ඇදුරුතුමන්ලා, ගුරුවරු, හාමුදුරුවරු ඇතුළු බොහෝ දෙනාගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම ආදරණීයයි. අධ්‍යාපනික දැනුමකුත් එයින් ලැබෙන බව ඔවුන් කියනවා.
කෝවිඩ් වසංගතයත් එක්ක නාඩගම්කාරයෝ ටෙලියටත් බොහෝ බාධක ආවා...
දෙපාරක්ම නාට්‍යයේ කිහිප දෙනකුට කෝවිඩ් හැදුණා. සජිතටයි සංගීත්ටයි හැදුණා මුලින්ම. ඊට පස්සේ මටත් ගිරිරාජ් කෞෂල්යටත් හැදුණා. පළමු සැරේ ලොකු ගැටලුවක් නොවුණත් දෙවැනි සැරේ යම් යම් ගැටලු මතු වුණා. ඉතිං නාට්‍ය කෙටි කාලයකට නවත්වන්න හැදුවත් ප්‍රේක්ෂකයින් සහ නාළිකාව එකට එතරම් කැමැති වුණේ නැහැ. ඒ නිසා ඒ කෙටි කාලයේදී නාට්‍යයෙන් පිට පැනලා අලුත් දර්ශන අලුතෙන් ලියලා රූගත කිරීම් කරන්න සිදුවුණා. ඒ නිසා නාට්‍ය ඒ කාලයේදී යම් කිසි විදිහකින් පසුබෑමකට ලක් වුණා. ඉතිං ප්‍රධාන චරිත කිහිපයකටම කෝවිඩ් හැදුණ නිසා අනෙක් චරිත සඳහා අලුත් කොටස් ලියලා රූ ගත කිරීම් කළා. සමහර දවස්වල දර්ශන තලය තියෙන අදාල නිවෙසට රූගත කිරීම්වලට ගියාම එයාලා කෝවිඩ් හැදිලා නිරෝධායනය වෙනවා. ඉතිං ගේ දෙන්න බැහැ කියනවා. මාස්ටර්ගෙ ගෙදරත් එහෙමයි. මාස්ටර්ගේ ගෙදර වෙනුවට දැන් හතර වැනි ගේ අරන් රූගත කිරීම් කරන්නේ. ප්රේක්ෂකටන්ට ඒ වෙනස පෙන්නේ නැති වෙන්න ඉතිං කැමරාකරුවන් ඒ වැඩේ කරනවා. සරාගේ ගෙදරට අරන් තිබුණ ගෙදර හිටපු ආච්චි අම්මා කෝවිඩ් හැදිලා නැති වුණා. ඉතිං ඉස්සර වගේ නිදහසේ දැන් නාට්‍ය කරන්න බැහැ. සමහර දවසට ඒ ගම ලොක්ඩවුන් කරලා. නැත්තම් කෝවිඩ් නිසා පාර වහලා. ඉතිං ඔහොම අභියෝග ගොඩක් මැද කරපු නාට්‍යක් මේක.
නාඩගම්කාරයන්ගේ නාඩගමේ වගේම ඔබත් එක්තරා විදිහක නාඩගම්කාරයෙක්...
මම ඇත්තටම නාට්‍යකරුවෙක්. නාඩගම් ශෛලියෙන් නිෂ්පාදනය කළ නාට්‍යවලත් මම රඟපාලා තියෙනවා. සරච්චන්ද්‍රයන් නාඩගම් ශෛලීයෙන් නිෂ්පාදනය කරපු මනමේ, සිංහබාහු, ලෝමහංස වගේ නාට්‍යවලත් මම රඟපෑවා. නාට්‍ය නිර්මාණ කරුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, රංගන ශිල්පියෙක් වගේම පෞද්ගලික ජීවිතයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වීමත් මේ ටෙලියේ මාස්ටර්ගේ චරිතය හොඳින් රඟපාන්න පිටිවහලක් වුණා.
ඉතිං මගේ සාමාන්‍ය ජීවිතයේ ගති ලක්ෂණ, ස්වරූපය, හැසිරීම්, ක්‍රියාදාමයන් පවතින චරිතයක් මම නොවී රඟපාන්න ලැබුණු අවස්ථාවක් මේක.
මේ දවස්වල ඔබ නියැලෙන අනෙකුත් කලා කටයුතු ගැන කතා කළොත්..
මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වන සකූගේ ලෝකය ටෙලි නාට්‍යයට රඟපෑමෙන් දායක වෙනවා.
වාර්තාමය ටෙලි නාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. එහි වැඩකටයුතුත් කරගෙන යනවා. විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු එක්ක නිර්මාණ බාරගන්න අපහසුයි. විවේකයක් නැහැ. යමක් කරන්න නම් මට ගැලපෙන චරිතයක් ලැබෙන්නත් එපැයි. ඉතිං චරිත තෝර බේරගෙන තමයි යන්නේ. මට ගැලපෙනවානම් මං බාර ගන්නවා. තියෙන්නේ පොඩි චරිතයක් වුණත් මට ඒක ගැලපෙනවා කියලා හිතෙනවානම් මං යනවා. අඳුන්ගිර ටෙලියේ පොඩි චරිතයකට මට කතා කළේ. ඒක මට ගැලපෙන චරිතයක්. ඒ නිසා මං ඒකට සම්බන්ධ වුණා.
කෝවිඩ් නිසා වැඩිම බලපෑම වුණේ වේදිකාවට...
වේදිකා නාට්‍ය නිර්මාණය වෙනවා. ඒවා සම්මාන ලබනවා. නමුත් ඒ නාට්‍ය පැවැත්මක් නැහැ. ශෝ තියෙන්නේ නැහැ. විචාර ලියැවෙන්නේ නැහැ. ඉස්සර හොඳ නාට්‍යයක් පෙන්නුවාම මංගල දර්ශනයට විචාරකයෝ ඇවිල්ලා ඒවා ගැන සතිඅන්ත පත්තරවල විචාර යනවා. ඒ විචාර කියවලා ප්‍රාදේශීය සංවිධායකවරු විචාර ඔස්සේ හොඳ වේදිකා නාට්‍ය ගමට ගෙන්වනවා. අසූව දශකයේ නාට්‍ය පෙන්නුවෙ එහෙම. ඉස්සර අපි නාට්‍යයක් කළාම අඩුම ගානෙ දර්ශන වාර පනහක්වත් වෙන්වනවා. දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් නැති වෙලා. දැන් විචාර කලාවක් ඇත්තෙම නැහැ. නාට්‍ය උලෙළක් පවත්වනවා. සම්මාන දෙනවා. ඒ ගැන කවුරුත් දන්නේ නැහැ. දැන් වේදිකා නාට්‍ය උලෙළවල් කියන්නේ කලාකරුවන් අතරේම වන ගනුදෙනුවක්. අපි අපිම රඟපානවා. අපිම අනිත් අයගේ බලනවා. කෝවිඩි එක්ක වේදිකාවට ඒ ඉතුරු වෙලා තිබුණු තැනත් නැති වෙලා ගිහින්.
තිරය දැන් එන්න එන්න පුංචි වෙලා නේද?
දැන් චිත්‍රපට විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය පවා බලන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන්නේ. කාර්යබහුලත්වය සහ පහසුව ඒකට එක හේතුවක්. අනිත් හේතුව ප්‍රේක්ෂකයන්ට ටෙලිවිෂනයෙන් තමන්ට අවශ්‍ය දෙයට වඩා වෙළෙඳ දැන්වීම් බලන්න වෙලා තියෙන්නේ. ඒ නිසා යූටියුබ් එකෙන් ටෙලිනාට්‍ය බලනවා. වෙළෙඳ දැන්වීම් වසංගතය යූටියුබ් එකටත් ඇවිල්ලා. හැමදෙයක්ම වානිජකරණය වීමත් එක්ක කලා රසඥතාවය පහළට ගිහින් තියෙන්නේ.
කලා කටයුතුයි, වෘත්තීයයි එක්ක පවුල් ජීවිතය විවේකීව ගත කරන්න කාලය ලැබෙනවා ද?
රංගනයට වඩා මා ප්‍රිය කරන්නේ ගුරු වෘත්තියට. විශ්වවිද්‍යල ආචාර්යවරයෙක් විදිහට මම මගේ වෘත්තිය කරන්නේ හරිම කැමැත්තෙන්. තමන් කැමැතිම දේ තමන්ගේ වෘත්තිය බවට පත්වන්නේ සීමිත පිරිසකට පමණයි. කැමැතිම දේ වෘත්තිය වෙද්දී ඒක වෘත්තීයක් කියලා හිතෙන්නේ නැහැ. මං කැමැති දරුවන්ව පුහුණු කරන්න. වෘත්තියෙන් ලැබෙන විවේකය තමයි රංගනයට යොදා ගන්නේ. කාලය කළමනාකරණය කරගත්තොත් පවුල් ජීවිතය විවේකීව ගත කරන්න
ඔබේ බිරියත් දක්ෂ රංගන ශිල්පිනියක්...
මගේ බිරිඳ නයනා ජයතිලක. ඇයත් රංගන ශිල්පිනියක්. සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ සම්මානනීය රංගන ශිල්පිනියක්. අග්නි පියාපත්, නීල පබළු, චලෝ වගේ නිර්මාණවල ඇය රඟපානවා. එයා මට වඩා දක්ෂ රංගන ශිල්පිනියක්. අපි එකතු වීමට හේතුවත් කලාවයි. ඇයව හමුවන්නෙත් වේදිකාවෙන්. සෝමලතා සුබසිංහ මහත්මියගේ ජාතික රංග පාසල නම් ජාතික රංග කලායතනයෙන් තමයි ඇයව හමුවන්නේ. සමහර අය බැන්දට පස්සේ බිරියව රැකියාවකට යවන්නේ නැහැ. ගෙදර තියාගන්නවා. දරුවෝ බලාගෙන ගෙදර දොර වැඩ කරගෙන ඉන්න දෙනවා. නමුත් ඇය වැනි දක්ෂ කෙනකුට මං එහෙම කළානම් එය ජාතික අපරාධයක් වෙනවා. එයාව මට අයිති නැහැ. එයා ජාතික වස්තුවක් විදිහටයි මම සලකන්නේ. අපි දෙන්නාම ක්ෂේත්රයේ ඉන්න නිසා වැඩකටයුතු කරන්න ඉතාම පහසුවෙලා තියෙනවා.
පුතාලා දෙන්නත් ඔබ වගේම කලාවට අවතීර්ණ වෙමුන් ඉන්නවා...
මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා උවිඳු හර්ෂජිත්, පොඩි පුතා හරිඳු රංගජිත්. ලොකු පුතා ජීව වෛද්‍ය ඉන්ජීනේරු උපාධිය අවසන් කරලා ඉන්නේ. දැන් ඔහු කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපදේශකවරයෙක් වශයෙන් සේවය කරනවා. පොඩි පුතා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය හදාරනවා. දෙන්නාම පොඩි කාලේ ඉඳලා නිර්මාණවලට සම්බන්ධ වුණා. නමුත් ටිකෙන් ටික ලොකු වෙද්දි පුතාලට මම කිව්වේ ඉගෙනගන්න කියලා. ලොකු පුතා පුරහඳ කළුවර, සුළං කිරිල්ලී, මදර් තෙරේසා වැනි චිත්‍රපටිවල වගේම ටෙලි නාට්‍යවලත් රඟපෑවා. ඊට පස්සෙ අධ්‍යාපනයට තමයි මුල් තැන දුන්නේ. දෙන්නාම මේ දවස්වල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කලායතනේ සින්දු කියන්න ඉන්නවා. ලොකු පුතා ළඟදීම ගීතයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. පොඩි පුතා අක්කර ගල, ත්‍රෛලෝක, අහස් මාලිගා සහ හදවිල අරණ නාට්‍යවලට සම්න්ධ වුණා. ඔහුගේ රංගනයකට සුමති සම්මානත් ලැබිලා තියෙනවා.
කලා පවුලක් නිසාම ගෙදරදිත් කතා බහ කරන්නේ කලා කටයුතු ගැන ද?
ඔව් ඉතිං ගෙදර ඔක්කොම කලාවත් එක්ක ඉන්න නිසා කලාව ගැන කතා බහ කරනවා වැඩියි. අපේ ගෙදර ඉතිං කලා කටයුතු ගැන කතා නොකර ඉන්නවනම් තමයි පුදුම වෙන්න ඕනේ.
මාස්ටර්ගේ චරිතයම ද ගෙදරත් තියෙන්නේ?
ගොඩක් දේවල් ඒ වගේ තමයි. මාස්ටරුත් ගොඩක් දේවල් ප්‍රශ්න කරගෙන දඟලන්නේ නැහැ. මාත් එහෙම තමයි. සමහර දේවල් ප්‍රශ්න කියලා දන්නවා වුණත් මං ඒවා ගැන අසුබවාදීව බලන්නේ නැහැ. ඒක මගෙ හොඳක් ද නරකක්ද මං දන්නේ නැහැ. එකෙන් මට වාසි වෙච්ච තැනුත් තියෙනවා. අවාසි වෙච්ච තැනුත් තියෙනවා.
ඉදිරි වැඩ කටයුතු ගැන කතා කළොත්..
මේ වැඩකටයුතු මේ විදිහටම කරගෙන යනවා. ගොඩක් වැඩ කරන්න වුවමනාව තිබුණත් මේ වෙලාවේ කිසිම දෙයක් ගැන සැලසුම් කරගන්න බෑනේ. අද මෙහෙම රට ඇරලා තියෙද්දී හෙට වෙනකොට වහන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ සැලසුම් එක්ක වැඩකරන්න බැහැ.
ඡායා - ශාන් රූපස්සර