වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බොක්සිං වළල්ල මවිත කළ උතුරේ පුංචි කෙල්ල ඉන්දුකා දේවී
මෙලොව උපත ලබන සෑම දරුවකුම පෝෂණය ලබන්නේ කිරි බවට හැරෙන මවගේ රුධිරයෙනි. එලෙසින්ම පියාගෙන් ලබන ආදරය, රැකවරණය හා පන්නරය දරුවා ඉහළටම රැගෙන යයි. එහෙත් මේ සිදුවීම ඊට හාත්පසින්ම වෙනස් එකකි. ඇය ජීවිතය ජය ගන්නේ පියා අහිමිවීමෙන් ලද බිඳවැටීම ශක්තියක් කරගනිමින් මවගේ ලෙයට හැරුණු කිරෙන් පමණක් පෝෂණය ලබමිනි.
තංගෙයි ගනේෂ් ඉන්දුකා දේවි. අපේ කතා නායිකාව ඇයයි. ඇය ජාත්‍යන්තර බොක්සිං වළල්ල ජය ගන්නට පන්නරය ලබන්නේ එවැනි අහිමිවීම් රැසක් උපතින්ම උරුමකර ගනිමිනි. වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධය හමුවේ සියලු දේ අහිමි වෙද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් කරිපට්ටමුරිප්පු පුතියන්ගර් ග්‍රාමයෙන් මෙවැනි දක්ෂ දරුවකු බිහිවීම ශ්‍රී ලාංකේය අප සැමට අති විශාල වූ අභිමානයකි. පසුගිය 18 වැනිදා පාකිස්තානයේ ලාහෝර් හි පැවති අන්තර්ජාතික කික් බොක්සිං (Kick Boxing) තරගයේ වයස අවුරුදු 25න් පහළ කිලෝ ග්‍රෑම් 50 - 55 බර පන්තිය තරගයේ රන් පදක්කම දිනාගත් ඉන්දුකා දේවී ලැබූ ජයග්‍රහණය පිළිබඳ බොහෝ මාධ්‍යයන්ට සටහන් තැබීමට අමතකව තිබුණත් අප ඇයගේ ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තේ ඇය සමඟ පුංචි පිළිසඳරකට එක් වෙමිනි. සන්නිවේදනයේදී භාෂා ගැටලුව යම් තරමකට පැවතියත් ඇය ඒ ජයග්‍රහණය පිළිබඳ අභිමානය වචන බවට පෙරළුෑයේ මහත් සතුටිනි.
“මගේ පියා පුංචි කාලෙදිම යුද්ධයෙන් මට අහිමි වුණා. ඒත් අපේ අම්මා හරිම ධෛර්වන්තයි. ඇය මාවයි අයියවයි ජීවත්කරවන්න, උගන්වන්න පුදුම කැපවීමක් කළා. ඒ නිසා පුංචි කාලේ පටන්ම මට දරා ගැනීමේ ශක්තිය තිබුණා. ඕනෑම දෙයක් දරාගෙන ජීවිතය ජය ගන්න පුළුවන් කියන ආත්ම ශක්තිය අපි දෙන්නට අම්මා ආදර්ශයෙන්ම දුන්න නිසා කවදා හරි ලෝකයම ජය ගන්නවා කියන ශක්තිය හිතේ තිබුණා. මම පුංචි කාලේ පාසල් ගියේ කරිප්පු මුඩික්කුම් රජයේ පාසලට. ඉන්පසුව උසස් පෙළ කරන්න ඔඩ්ඩුසුඩාන් දෙමළ මහා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසලේ ඉගෙන ගන්න කාලේ මට මේ බොක්සිං ක්‍රීඩාවට ආසාවක් තිබුණා. හැබැයි ඒකට අවස්ථාවක් උදාවුණේ විමලන් සර් නිසයි. ඔහු මට කිව්වා ඔයා මේ ක්‍රීඩාව තෝරාගන්න. ඔයාට දරාගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා කියලා. ඔහු මාව පුහුණු කඳවුරකට යොමු කළා. ඒ ලැබුණු පුහුණුවයි මඟ පෙන්වීම නිසා තමයි මාව මේ ජයග්‍රහණය කරා රැගෙන ගියේ.
මගේ පියාගේ නම ගනේෂ්. අම්මාගේ නම නාගේෂ්වරී. ඇත්තටම මගේ පියා නැතිවීමේ අඩුව කවදාවත් අම්මා අපට දැනෙන්න තිබ්බේ නැහැ. කොහොම හරි උසස් පෙළ දක්වා උගන්වන්න කුලීවැඩ කරලා සල්ලි හෙව්වා. මගේ හැකියාව හඳුනාගත් Child First UK ආයතනය මට ඉගෙන ගන්න 2013 සිට 2019 දක්වාම උදව් කළා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක පිරිසක් නිරන්තරයෙන් උපකාර කළා. ඒ ලැබුණු උපකාරය විශාල ප්‍රයෝජනයක් වුණා. මම ලංකාවේදී පදක්කම් රාශියක් දිනලා තියෙනවා. මට පදක්කම් 19 කුයි කුසලාන 5ක් තියෙන්නේ ඒ ලැබුණු සහයෝගය නිසයි.
මම 2017 තමයි පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ. ප්‍රසාද් වික්‍රමසිංහ සර් තමයි පුහුණුකරු හැටියට කටයුතු කළේ. මගේ පුහුණු කටයුතුවලට Cfcd ආයතනයෙන් අනුග්‍රහය ලබා දුන්නා. හැබැයි මට ක්‍රීඩා අමාත්‍යංශයෙන් නම් සහයෝගයක් ලැබුණේ නැහැ. නමුත් ඉදිරියේදී මගේ හැකියාව දැකලා උදව් කරයි කියලා හිතනවා. මගේ එකම හීනය 2024 දී ඔලිම්පික් පදක්කම මගේ රටට ගෙන එන සිහිනය. ඒ සිහිනය කොහොම හරි දිනාගෙන අන්තර්ජාතික බොක්සිං විනිසුරුවරියක් වෙන්න තමයි මගේ එකම ආසාව.“
ඇය තුළ වූ අධිෂ්ඨානය හරිම ප්‍රබලයි. යුද්ධය නිසා සියලු දේ අහිමි වූ ඉන්දුකා දේවී අවුරුදු 23 දී අන්තර්ජාතික බොක්සිං වළල්ල ජය ගන්නේ තමාගේ ආත්ම ශක්තියෙනි. එම ශක්තියට නිසි මඟ පෙන්වීම හා පුහුණුවක් ලැබෙයි නම් ඇයට ඔලිම්පික් කිරුළ කරා ළඟාවීම අපහසු නොවෙයි.
ඉන්දුකා දේවී අපේ ලාංකේය තරුණ පරපුරට ලබාදෙන ආදර්ශය ද බෙහෙවින්ම වටියි.
සියලු සැප පහසුකම් තිබියදීත් දහසක් අඩුපාඩුකම් ගැන මැසිවිලි නඟන දකුණේ තරුණ තරුණියන්ට ඇය හඬ ගා කියන්නේ ලාංකේය තාරුණ්‍යයේ ශක්තියයි. එම ශක්තියට අපි හදපත්ලෙන්ම සුබ පතමු.
පරිවර්තනය -
ලේක්හවුස් දැන්වීම් අංශයේ
අයි. රෙජිනා මහත්මිය