වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නවීන තාලයේ වැරැන්ඩාවකින් නිවෙසට අමුතුම ආකර්ෂණයක්
අතීතයේදී ගමේ සුන්දරත්වය වැඩි වූයේ පොල් අතු සෙවිලි කළ පුංචි නිවහනක සිරියාවෙනි. ගෙපැළ පුංචි වුණත් නිවහනේ සිරියාව වගේම නිර්මාණ තාක්ෂණයත් එදා හොඳටම ගළපාගෙන තිබුණේ හරිම අපූරුවට.
වැසි වෙලාවට ගෙපැළේ පොල් අතු වහළයෙන් වැටෙන වැහි බිඳු වලින් නොතෙමෙන්න පුංචි පිළක් හැම නිවහනකම තිබුණේ නිර්මාණ තාක්ෂණය හරියට ගැළපෙන ආකාරයට.
මේ තාක්ෂණයෙන් ඈත් වෙන්න තවමත් අප අකැමැතියි. කොයි තරම් සුවිශාල ගෙයක් හැදුවත් මුලින්ම නිවෙසේ ඉදිරිපස කොටසට පුංචි වැරැන්ඩාවක් යොදනවා. එහි ගොඩනැඟිලි තාක්ෂණයක් වගේම සුන්දරත්වයකුත් එකතු වුණු විට නිවෙසකට අමුතුම පෙනුමකුත් ලැබෙනවා. මෙවැනි වැරැන්ඩාවක් යොදන තාක්ෂණික ක්‍රමය බොහෝ විට තීරණය වෙන්නේ නිවෙසේ සැලසුම හා ඉඩමේ පිහිටීම අනුවයි.
ඔබට මෙය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා නිවාස සැලසුමක වැරැන්ඩාව පිහිටීම අනුව සැකසූ සටහන් කිහිපයක් අපි ඉදිරිපත් කරමු. එය හොඳින් අධීක්ෂණය කරන්න. ඒ අනුව ඔබගේ නිවාස සැලසුමට ද කොයි ආකාරයේ වැරැන්ඩාවක් ගැළපේදැයි තීරණය කරන්න.
මෙහි මැද පිහිටි නිවාස සැලසුමේ ඇත්තේ කුඩා වැරැන්ඩාවකි. නිවෙසේ ඉදිරිපසින් ඇති එය ප්‍රධාන දොරටුව ආරක්ෂාවන අයුරින් යොදා තිබේ. එහි පාවහන් ගළවා තැබීමට වෙනම ස්ථානයකි. අසුන් ගැනීමට කුඩා බංකු දෙකක් ද වෙයි.
ඔබ මෙහි පළමු සැලසුමේ දකින්නේ එවැනිම වැරැන්ඩාවකි. නමුත් එය ගෙමිදුලට විවෘතවන කොටස වීදුරු යොදා ආවරණය කර තිබේ. එසේම වැරැන්ඩාවටද සීලිමක් ඇති අතර මේ වැරැන්ඩාව ඉතාම ආකර්ෂණීය ලෙසින් නිම වී ඇත.
මෙහි තුන්වැනි සැලසුමද තවත් ආකර්ෂණීය වැරැන්ඩාවකි. එය ද නිවෙසේ එක් පැත්තකින් පිහිටයි. එසේම එය සාලයට සම්බන්ධ වන්නේ පැත්තකිනි. නිවෙසේ ආකර්ෂණයට මෙන්ම අමුත්තන් සඳහා ද ප්‍රයෝජනවත් මේ වැරැන්ඩාව පැති වහළයක් මඟින් ආවරණය වී තිබේ.
ඔබට අප ඉදිරිපත් කළේ නවීන තාලයේ වැරැන්ඩා කිහිපයකි. මෙලෙසින් විවිධ වාරැන්ඩා වර්ග රාශියකි. එම වැරැන්ඩාව යොදන ආකාරය තීරණය වන්නේ ගෙහිමියාගේ අවශ්‍යතාවයට හා නිවෙසේ නිර්මාණ සැලසුමට අනුවය. එය ඇතැම්විට රථවාහන නවතා තැබීමට ප්‍රයෝජනවත් ලෙසින් විශාලව නිර්මාණය කිරීමටද හැකියාව ඇත.
උපදෙස් - කැදැල්ල හෝම්ස්හි අධ්යක්ෂ
දේශමාන්‍ය ආචාර්ය
මහින්ද ඒකනායක
සටහන
දුමින්ද කාරියවසම්