ජ්‍යොතිෂ ගැටලු

ඔක්තෝබර් 14, 2024

අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ‍ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ‍ෙජ්‍යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ.

අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු
තරුණී ලේක්හවුස්.
කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
 

හතර කේන්දරය පාළුයි

මගේ හතර කේන්දරය පාළු බව ජ්‍යොතිෂවේදීන් පවසයි. එය සත්‍යයක් දැයි සඳහන් කරන්න.
මාවනැල්ලේ - රම්‍යලතා

පළමුව එය සත්‍යයක් බව සඳහන් කරමි. 1, 4, 7, 10 කොටුවල ග්‍රහයන් නොමැතිවීම සහ තවත් කරුණු සංසන්දනය කර බලා මෙසේ වේ යැයි සඳහන් කළ හැකි වෙයි. ඔබ කරන කියන බොහෝ කටයුතු අසාර්ථක වුවත් උපන් භූමියෙන් පිට වුවහොත් හෝ ඥාති පරපුරෙන් තනිව ජීවත් වුවහොත් දියුණුවක් ලබා ගැනීමට හැකි වනු ඇත. මෙය හුදෙක් ඔබට බලපා ඇත්තේ ලෞකික ජීවිතයටයි. අධ්‍යාපනය සහ ජීවත්වීම සඳහා අවශ්‍ය පසුබිම ඔබට ලැබී ඇති බව සඳහන් කරමි. මේ ගැන නොසිතා පිං දහම් කරමින් කටයුතු කරන්න.

පිරිමි පෙනුමක් තිබීම ගැටලුවක්

මාගේ ශරීරය පිරිමියකුගේ ආකාරයට පෙනෙයි. මගේ පියයුරු ද වැඩී ඇත. මෙය මට විශාල අසහනයකි. පිළියමක් ඇත්නම් පවසන්න.
මහනුවර - ශ්‍රියා කුමාරි

ඔබ උපන් නැකත හා ග්‍රහ පිහිටීම් අනුව පිරිමියෙකුගේ ගති ලක්ෂණ අනිවාර්යයෙන්ම පිහිටයි. නමුත් ලිංගික විපර්යාසයක් සිදු නොවෙයි. එමෙන්ම කේතු ග්‍රහයාගේ දෝෂත් සිකුරු ග්‍රහයාගේ යටපත්වීමත් නිසා සප්ත ධාතූන්ගේ වැඩීම නැවතී ඇත. මේ සඳහා ජ්‍යොතිෂ ආයුර්වේද ප්‍රතිකාර ඇති බැවින් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියකු හමුවී පිළියම් යොදාගන්න.

කාලසර්ප දෝෂය නිසා බාධක වැඩියි

මා හට උපතින් කාලසර්ප දෝෂය යෙදී ඇති නිසා ජීවිතයේ වැදගත් සියලු දේටම බාධා ඇතිවෙන බව පවසයි. මෙය ගැටලුවක්ද?

පිටිපන - චලනි

කාලසර්ප යෝගය යනු රාහු කේතු අංශක 160 කෝණයට පිහිටන අතර කෝණයේ එක් පසෙකට අනෙකුත් ග්‍රහයන් කොටුවීමයි. මෙය විවිධ කෝණයන්ට පිහිටනු ලැබේ. ඔබ හඳහනට අනුව මෙම පිහිටීම අංග සම්පූර්ණ කාල සර්පයෝගයක් නොවේ. නමුත් මෙම බලපෑම් ඇති බව සඳහන් කරමි. මෙතෙක් කලක් ඔබ කළ කී දෑ දෙස ආපසු හැරී බැලූ විට ඔබටම සිතා ගත හැකි වනු ඇත. අධ්‍යයන කටයුතුවලදී කොතරම් අදක්ෂ වුවත් අසමත් වීම් පෙනි පෙනී ඉතා හොඳින් විභාග සමත් විය හැකි බවත් කිසිම දෙයක් හරියාකාරයට සිදු නොකරන බවත් එය රැකියාවට ද එලෙසම වෙයි.

ස්ථාවර සිතිවිලි නොමැති චංචලභාවයක් පෙන්වයි. නිතරම පියවර දෙකක් උඩට පැනීමට අසාවක් පෙන්වයි. විවාහය ද පවත්වා ගැනීමට නොහැකි වනු ඇත. මෙම සියල්ල හිතට ගෙන කටයුතු කළහොත් දියුණුවක් ලබාගත හැකි වනු ඇත. මේ සඳහා පෙර ජ්‍යොතිෂ්‍යවේදීන් සඳහන් කළ ප්‍රතිකර්ම කිරීම යෝග්‍ය වේ.

දියණියගේ විවාහය ගැටලුවක්

මාගේ වැඩිමහල් දියණියගේ දෙවැනි විවාහයද අසාර්ථකව එයින් ද ඉවත්ව මා මේ ඉදිරිපත් කරන හඳහන හිමිකරු සමඟ විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටි. ඔහු පිය පාර්ශ්වයෙන් බාප්පා කෙනෙකු වෙයි. මෙය ගැළපේද? අනාගතය කෙසේ වෙයිද?
කුරුවිට - ශ්‍රීමති

මෙම විවාහය ද සිදුවන බව සඳහන් කරමි. එයට හේතුව නම් මෙම දරුවා ගත් තීරණයක් හරි හෝ වැරැදි ගන්නා තීරණය වෙනස් නොකරන නිසයි. තමා ගන්නා තීරණය හරි බව නිතර සිතා ඇය මෙවර ද එවැනිම තීරණයක් ගෙන මනස ද සාදා ගනී. මෙම විවාහයද වසර 1 1/2ක් වැනි කාලයක් පවතින අතර එයද අත හරියි. නමුත් මෙවර එය සිතන පරිදි ලේසියෙන් මෙයින් මිදීමට නොහැකි වෙයි. පැවසිය හැක්කේ එපමණකි.