තමාගේ දුර්වලතා හඳුනාගෙන පිළියම් යොදමු..

නොවැම්බර් 20, 2019

ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ කිරීමට හැම දෙනාම කැමැති ය. එහෙත් අපි නොදන්නා අපේම දුර්වලතා ඒ සාර්ථකත්වය අපෙන් ඈත්කර දමයි. පසුගිය සති කිහිපයේ දී අපි සාර්ථකත්වයට මං අහුරන එවැනි ප්‍රධානතම දුර්වලතා පහක් පිළිබඳ සවිස්තරව කතා බහ කළෙමු.

තමා තුළ මෙම දුර්වලතා ඇති බව හඳුනා ගත්ත ද ඒවා මඟහැර ගැනීමට ඇතැම් විට නොහැකි විය හැකිය. එම දුර්වලතා මඟහරවා ගන්නා ආකාරය පිළිබඳ අපි අද තොරුතුරු දැන ගනිමු.

 

  •  සැප සෙවීම- අරමුණට බාධා වන පරිදි වැඩිපුර සැප සෙවීම.
  •  නොරිස්සීම- තමන් අකැමැති දේ සමඟ ගැටෙන ස්වභාව. සරල නොරිස්සීමේ සිට වඩාත් තරහ යන තත්ත්වය දක්වා එය වර්ධනය වීම.
  •  ගොනුවක් නැති බව හෙවත් විපිලිසර බව- මේ නිසා කිසියම් නිශ්චිත අරමුණක් කරා නොගොස් විවිධ අරමුණු කරා යන ස්වභාවක් ඇති වේ.
  •  කල් දැමීම- සිතේ සහ කයේ කම්මැළිකම, උකටලී බව නිසා ඇති වන ස්වභාවකි.
  •  අවිශ්වාසය- තමන් කරන දෙය පිළිබඳ තමාට ආත්ම විශ්වාසයක් නොමැති වීම.

මේ කරුණු පහ දැනුවත්ව හෝ නොදැනුවත්ව අප හැම කෙනකු තුළම කිසියම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වේ. දියුණුව කැමැති අයකු මුලින් ම කළ යුතු වන්නේ මේ කරුණු පහ හඳුනා ගැනීමයි. පසුගිය සතිවල දී මේ පිළිබඳ අප කළ පැහැදිලි කිරීම් අනුව මේ පහෙන් එකක් ඔබ තුළ ක්‍රියාත්මක වන විට එය ඔබට හඳුනා ගැනීමට හැකිවේ.

'මගේ හිතේ දැන් පවතින්නේ මෙන්න මේ බාධා ස්වභාවය..' කියා හඳුනා ගැනීම පළමුවෙන් ම කළ යුතුය. යම් පුද්ගලයකුට ඉක්මනින් එසේ තම දුර්වලතාව හඳුනාගත හැකි නම් එයම එම බාධාව ජය ගැනීමට උපකාර වනු ඇත.

බොහෝ විට මේ බාධා අපට හඳුනා ගැනීමට හැකි වන්නේ නොදැනුවත්ව ම එය අප තුළ ක්‍රියාත්මක වී එහි ප්‍රතිඵලය ද අප අත් විඳි පසුව ය.

ඇතැම් අය ජීවිතය දෙස ආපසු හැරී බලා ' අයියෝ.. ඒ කාලේ මං ඔහේ කාල බීලා ජොලියේ හිටියා මිසක් මේ ගැන වැඩියේ හිතුව නං අද මම මෙතැන නෙවෙයිනේ..' වැනි දේ හෝ 'මට ඒ වෙලාවේ උන්නා මළා පෙනුනේ නෑ...' වැනි දේ පවසන්නේ එම නිසයි. එහෙත් ඒ වන විට ප්‍රතිඵලය අත්විඳ අවසන් ය.

එමෙන්ම 'අපරාදෙ.. ඒ වැඩේ මං දිගට ම කරගෙන ගියා නම් මට හොඳ ප්‍රතිඵල හම්බ වෙනවනේ..', 'මං එදා ගියේ නෑනේ මේ බිස්නස් එකට. ගියා නම් ඒක මට ලැබෙනවනේ..', ' මං මේ බෑ කියලා හිටියට මට වැඩිය දුර්වල අය මේක කරලා දැන් හොඳට ඉන්නවනේ..' වැනි දෑ අපට නිතර අසන්නට දකින්නට ලැබේ.

එසේ වන්නේ මේ කරුණු පහම අප දන්නා දේ වුවත් අපට එය අවබෝධ වන්නේ එහි අනිටු විපාක විඳීමට සිදු වූ පසුව වීම නිසයි.

සාර්ථකත්වය කරා යන පුද්ගලයා හෝ ව්‍යාපාරිකයා ප්‍රථමයෙන් ම කළ යුතු වන්නේ තමා තුළ මේ කරුණු පහම හෝ පහෙන් එකක් හෝ ක්‍රියාත්මක වන බව අවබෝධකර ගැනීමයි. ඔහු ඒ පිළිබඳ නිරන්තර අවබෝධයකින් සිටිය යුතුයි.

අනෙකුත් සත්ත්වයන්ට නොමැති හැකියාවක් මනුෂ්‍යයාට සහජයෙන් ම ඇත. එනම් තමන් දක්වන ප්‍රතිචාර පිළිබඳ කලින් කල්පනා කිරීමේ හැකියාවයි. සමාන්‍යයෙන් සතුන් කලින් පුරුදු පුහුණු කිරීමක් නොකළහොත් ස්වභාවයෙන් ඔවුන් කරන්නේ ලැබෙන උත්තේජනයට ප්‍රතික්‍රියා දැක්වීමයි. එහෙත් මනුෂ්‍යයාට එසේ නොවේ. අපට කල්පනා ශක්තියක් ඇත. එසේ කල්පනාකර 'මේ වෙලාවේ මං මොකක්ද කරන්න ඕනෑ..' යැයි සිතීමේ හැකියාවක් පවතී. මේ හැකියාව අප විසින් භාවිත කළ යුතුය. 'මේ වෙලාවේ මං මේ කරන්න යන්නේ මගේ දියුණුවට බාධා වන ආකාරයෙන් සැපයට ලොල් වීමක්' යනුවෙන් තේරුම් ගතහොත් ඉන්පසුව ඉන් වැළකීමට කිසියම් උත්සාහයක් දැරිය හැකියි.

ඒ පියවර වෙත පුද්ගලයකු ළඟා වෙන්නේ කෙසේද?

'මම මේ විදියට තමයි කටයුතු කරන්නේ..' යැයි තමා තේරුම් ගතහොත් කළ යුතු වැදගත් ම දේ වන්නේ තමාගේ අරමුණ, තමන් කැපවී සිටින්නේ කුමක් සඳහා ද යන්න නැවත මෙනෙහි කිරීමයි. උදාහරණයක් ලෙස ඔබ ශිෂ්‍යයකු නම් 'මගේ උත්සාහය මේ අධ්‍යාපන ඉලක්ක වෛද්‍යවරයකු වීමේ පරමාර්ථයෙන්' යන්න නිතර නිතර මෙනෙහි කරන්නේ නම්, තමාට මුහුණ දීමට සිදුවන බාධාවන් ජය ගත හැකිය.

තමාගේ සිත සාර්ථකත්වයෙන් ඉවතට යන කරුණුවලට පෙලඹේ නම්, තම අරමුණ ඉටුකර ගැනීමේ හා ඊට ළඟා වීමේ අවස්ථා පිළිබඳ තම සිත තුළ චිත්තරූපයක් මවා ගැනීමයි. එවිට තමා හමුවේ ඇති බාධාව මැඬගෙන ඉදිරියට යා යුතුයි යන හැඟීමක් හා උත්සාහයක් ඔහුට නැවත ඇතිවේ.

මේ තත්ත්වය ජය ගැනීමට හැකි අනෙක් ක්‍රමය වන්නේ තමාට විය හැකි අනර්ථය මතකයට නඟා ගැනීමයි. තමාට තම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් කුමන ආකාරයේ පාඩුවක් සිදුවේද යන්න නැවත මතක්කර ගත යුතුයි.

මෙම කරුණු දෙක, එනම් අරමුණෙහි හොඳ පැත්ත මෙනෙහි කිරීම සහ එය සාක්ෂාත්කර නොගැනීම හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල ගැන නැවතත් කල්පනා කිරීමෙන් ඒ අවස්ථාවේ ඇති වූ බාධාව මැඩගෙන ඉදිරියට යාමට අවශ්‍ය ජවය, ශක්තිය ලැබෙනු ඇත. එහෙත් මෙමඟින් සියලු බාධා සදහට ම නැති වේ යැයි සිතිය නොහැකි ය. මන්ද මේවා ස්වාභාවික මනුෂ්‍ය හැසිරීම් රටා වන බැවිනි.

මේ සඳහා අපට තවත් විවිධ උපක්‍රම භාවිත කළ හැකිය. ඉන් එක් ක්‍රමයක් වන්නේ තම හිතවතුන් හා ඥාතීන් හමුවේ නැතහොත් ප්‍රසිද්ධියේ තමන් ළඟා වීමට අපේක්ෂා කරන අරමුණ පිළිබඳ කිසියම් ප්‍රබල ප්‍රකාශයක් කිරීමයි.

උදාහරණයක් ලෙස දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තමා තරගයට යාමට පෙර ම තම ජයග්‍රහණය පිළිබඳ, පදක්කම් ලබා ගැනීම පිළිබඳ ප්‍රකාශ කරති. එවිට තමාගේ සිත තුළ ම ලොකු අභියෝගයක් ඇති වේ. සාර්ථකත්වයට පත් වූ සෑම පුද්ගලයකු ම පවසන දෙයක් වන්නේ තමන්ට තිබූ ලොකුම අභියෝගය තමා තුළ ම වූ දුර්වලකම් මැඬගෙන ජයග්‍රහණය කරා ළඟා වීම බවයි.

එමනිසා තමා ආදරය කරන කෙනකුට දරුවකුට, බිරියට, ස්වාමිපුරුෂයාට හෝ මවුපියන්ට තම අරමුණ සාක්ෂාත්කර ගැනීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් අත්කර ගන්නවා යැයි ප්‍රකාශයක් කිරීමට හැකි නම්, පොරොන්දුවක් දිය හැකි නම් එය කල් දැමීමට, පසුබෑමට සිත ඉඩ නොදේ.

සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන් ඇසුරු කිරීමෙන් නිරන්තර අදහස් හුවමාරුකර ගැනීමෙන්, ඔවුන්ගේ කටයුතු පිළිබඳ හැදෑරීමෙන් තම ජීවිතවලට දියුණුවක් ළඟාකර ගත හැකිය. ඇසුරු කිරීම යනු නිතර මුණගැසීම, එකට කාලය ගත කිරීම නොව, අනෙක් තැනැත්තාගේ සිතුම් පැතුම්වලින් තමන්ගේ සිතුම් පැතුම් වෙනස් වීමට ඉඩ හැරීමයි. ඒ සඳහා කිසිදා මුණ නොගැසුණ පුද්ගලයන්, යම් පඬි වදන්, කථාන්දර, පොත්පත් පවා භාවිත කළ හැකිය.

එක්තරා වාර්තාවකට අනුව නෙල්සන් මැන්ඩෙලා නම් ශ්‍රේෂ්ඨ නායකයා සිරගතව සිටි කාලය තුළ දිරි ලබාගෙන තිබෙන්නේ ධ්ව්ඍධ්ඛ්ඊඋඉ (අපරාජිත) නම් පද්‍ය පන්තිය නිතර ඇසුරු කරමිනි. එහි ඇති ප්‍රභල වැකියක් වන්නේ,

මම මගේ දෛවයේ අධිපතියා වෙමි

මගේ ආත්මයේ නියමුවා ද මම වෙමි යන්නයි.

අප පෙන්වා දුන් බාධාවන් නිසා තම ජීවිතය කිසියම් පසුබෑමකට ලක් වුවද නැවත වරක් අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමෙන් සාර්ථකත්වයට ළඟා විය හැකිය. දියුණු විය හැකි එකම සත්ත්වයා මනුෂ්‍යයා බැවින් මෙය අප හැමටම සිදු කළ හැකි කාර්යයකි. අප හැමට ම ජීවිතය දිනීමට අපහසු නොවනු ඇත.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි