අමෙරිකාවෙන් පශ්චාත් උපාධිය අරගෙන ත්‍රී වීල් බොඩියට හැඩ දාන අපේ කෙල්ලෙක්

ඉෂාරා වෙන්චර්ස් ආයතනයේ සභාපතිනි ඉෂාරා මනමේන්ද්‍ර
සැප්තැම්බර් 29, 2021

 

මළකඩ තවරාගෙන සෙල්ලම් කරපු පුංචි කෙල්ල දැන් මුළු ලෝකයම හොල්ලන කාර්මික නිෂ්පාදන නිර්මාණ ශිල්පිනියක්

 

දුවක් වුවත් මේ කෙලි පැටික්කිගෙ ලෝකය වෙලා තිබුණේ බෝනික්කන්, සෙල්ලම් ගෙවල් වෙනුවට කර්කෂ යකඩ තලන ගරාජ් වැඩ පොළක්. ඇය පාසල අවසන් වෙලා සුදු ගවුම පිටින්ම හනිකට දුවගෙන එන්නේ නුගේගොඩ තිබුණු පියාගේ ගරාජ් එකටයි..

 

මේ ගරාජ් එක තිබුණේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ. ලොරි බොඩි නිෂ්පාදනය කරන මේ වැඩපොළ තමයි සිඟිති ඉෂාරා දෝණිගේ ලෝකයම වුණේ.

යකඩ තලන ශබ්දය, වෑල්ඩින් කරන යන්ත්‍ර .... මේ හැම දෙයක්ම අතර මේ පුංචි කෙල්ල තමුන්ගේම ලෝකයක් නිර්මාණය කර ගන්නවා. මේ සිහින ලෝකයට ඇගේ නංගීත් මල්ලීත් හරි හරියට එකතු වෙන්නේ විස්මිත ආසාවකින්. කොයි තරම් අවදානම් වුවත්, කොයි තරම් කාර්යබහුල වුවත් මේ පුංචි පැටවුන්ගේ ලෝකයට කිසිම දවසක කාගෙන්වත් තහනමක් නම් තිබුණේ නැහැ.

සුදු ගවුමේ මළකඩ තවරාගෙන කරන සෙල්ලම් දිහා ආදරණීය පියා බලාගෙන හිටියේ හරිම සතුටින්. දිනක් පාසල් අවසන් වී දුවගෙන එන මේ දූ සිඟිත්තිය තියුණු නියනක් ගත්තේ කාටත් හොරා ...... ඇය ගරාජයේ කොණක හිඳගෙන ඒ නියනෙන් තම පැන්සල උල් කරන්න පටන් ගත්තේ තමුන්ගේ පාඩුවේ. එක් වරම දරුවා කෑ ගහගෙන තාත්තා ළඟට දුවගෙන එන්නේ ලේ පෙරෙන ඇඟිල්ලක් අල්ලාගෙන. මේක දකින පියාට උන් හිටි තැනුත් අමතක වෙනවා. ඔහු දුවගේ ඇඟිල්ල කටේ දමා ගත්තේ කරන්නෙ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරිවයි. පුංචි සුළඟිල්ලේ වේදනාවෙන් අඬන තම දූ සිඟිත්තියගේ අහිංසක මූණ දකින පියා ඒ කළ දඟ වැඩේට කිසිම තරවටුවක් නොකර හෙමිහිට ඔළුව අත ගෑවා.

ඒ සිහින සිත්තම් මතක අතුරින් පුංචි සිඟිත්තිය තම ආදරණීය පියාගේ අඩි පාරේ දිගු ගමනක් යන්නේ කවුරුත් නොසිතූ ලෙසින්. තාත්තාගේ ගරාජයේ මළකඩ තවරාගෙන සෙල්ලම් කරපු පුංචි කෙල්ල දැන් මුළු ලෝකයම හොල්ලන කාර්මික නිෂ්පාදන නිර්මාණ ශිල්පිනියක්. ඇය

හර්ෂි ඉෂාරා මනමේන්ද්‍ර‍‍‍‍‍....

තම පියාගේ අඩි පාරේ යමින් තමුන්ගෙම ලෝකයක් තනාගත් තරුණියක්.

සාම්ප්‍රදායික ගරාජ් කර්මාන්තය හා වාහන අලුත්වැඩියාව කියන සංකල්පය බිඳගෙන ඇය අලුත්ම නිර්මාණ බිහි කරන ව්‍යවසායිකාවක් බවට පත් වු දිරිය දියණියක්. අප ඇය සොයාගෙන එම කර්මාන්ත ශාලාවට පිවිසියේ ඇයගේ අලුත්ම නිර්මාණ දැකබලාගෙන සොඳුරු පිළිසඳරක යෙදීමේ අපේක්ෂාවෙන්...

කොරෝනා වසංගතය හමුවේ දැවැන්ත ව්‍යාපාර දරුණු අභියෝගයකට මුහුණු දෙන යුගයක ඇය එයට සාර්ථක විසඳුමක් සොයනවා. පුංචි ව්‍යාපාරයක් ස්වාධිනව කාටත් අත නොපා, ණය නොවී පටන් ගන්න පුළුවන් රථ වාහන නිෂ්පාදන පෙළක් මුලින්ම අපේ රටට හඳුන්වා දෙන්න ඇයට හැකියාව ලැබුණේ ඇයගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඇයගේ දිරියට පන්නරය ලැබුණු ආකාරය ගැන ඈ අපට හෙළි කරන්න පිළිසදරට පිවිසියේ කාර්යබහුල ජිවිතයෙන් මඳකට මිදෙමින් මහත් සතුටිනි.

 

ඇත්තටම ඉෂාරා, ඔයාට මේ වගේ අදහසක් පහළ වුණේ කොහොමද?

 

ඒක ටිකක් දිග කතාවක්.... හැබැයි ඒ දිග කතාවේ මුල්ම අත්තිවාරම වැටෙන්නේ ප්‍රේමදාස මනමේන්ද්‍ර නම් මගේ පියාගෙන්. අපේ තාත්තා ලොරි බොඩි නිෂ්පාදනය කිරීම තමයි මුලින්ම කළේ. ඔහුගෙන් ලබපු ඒ අභාෂය පුංචි කාලේ පටන්ම මගේ හිතේ විතරක් නොවෙයි, ඇඟෙත් තිබුණා. කාන්තාවකට අපහසුයි, ගැළපෙන්නේ නෑ මේ වගේ පටු ආකල්ප පුංචි කාලේම මගේ හිතෙන් ඉවත් වෙලා තිබුණා. ඒ සිතුවිල්ල හැමදාම තිබුණු නිසා මගේ ජිවිතේ දුර ගමනක් එන්නට හැකියාව ලැබුණා. තාත්තාගේ සාම්ප්‍රදායික ගරාජ් රැකියාවට වඩා වැඩි යමක් මට කරන්න හැකියාව ලැබුණේත් පුංචි කාලෙම ලබපු මේ ආභාෂය හා මගේ අධ්‍යාපනයයි නිසයි.

 

ඒ ගමන පටන් ගන්නේ කොහොමද ?

 

මම මූලික අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයෙන්. ඒ කාලේ මගේ ලෝකය වෙලා තිබුණේ තාත්තාගේ ගරාජ් එක. මමයි, නංගියි, මල්ලියි තුන් දෙනාම හවස් වරුවම ගත කරන්නේ මේ ලොරි බොඩි හදන ගරාජ් එකේ. ඇත්තටම ඒක හරිම සුන්දර කාලයක්. අපි හරිම නිදහසේ අපට ඕනේ විදිහට සෙල්ලම් කළා. ඇත්තටම පුංචි පුංචි උපකරණ, ආයුධ තමයි අපේ සෙල්ලම් බඩු වුණෙත්. හැබැයි ඒ මොන දේ කළත් අපේ තාත්තා අපි කරන දේවල් ගැන අවධානයෙන් තමයි හිටියේ. ඒ අවධානයෙන් මිදිලා අපි පුංචි පුංචි දඟ වැඩත් ඉඳලා හිටලා කරනවා. ඒත් ඒ කිසිම දවසක තාත්තා අපට තරවටු කළේ නෑ. තාත්තා කලබල වුණු දවසක් දැක්කේ මගේ ඇඟිල්ල කැපුණු දවසෙයි. ඒක නම් මටත් අමතක නොවන සිද්ධියක්.

 

ඉන් පසුව ඔබේ අධ්‍යාපන කටයුතු සිද්ධ වුණේ .....

 

මම ආනන්ද බාලිකාවෙන් ශිෂත්වය සමත් වෙලා කොළඔ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවට ගියා. සිරිමාවෝ බාලිකාවෙන් උසස් පෙළ සමත් වෙලා තමයි අමෙරිකාවේ කැන්සාස් විශ්ව විද්‍යාලයට ගියේ. එම විශ්ව විද්‍යාලයෙන් මම යාන්ත්‍රික ඉංඡිනේරු විද්‍යාව පිළිබඳ පළමු උපාධිය ලබා ගත්තා. ඉන් පසුව පශ්චාත් උපාධිය අවසන් කරලා ලංකාවට ආවේ මගේම ව්‍යාපාරයක් හෝ ස්වාධින රැකියාවක් කිරිමේ අපේක්ෂාවෙන්.

එතකොට ඔබේ පියාගේ ව්‍යාපාරය මොන ආකාරයෙන් ද තිබුණේ ?

 

තාත්තා එතකොටත් ඉෂාරා ඉංජිනියරින් ඇන්ඩ් ලොරි බොඩි බිල්ඩස් කියන කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යනවා. හැබැයි මට වුවමනා වුණේ ඉගෙන ගත්ත දෙයින් මගේම දෙයක් පටන් ගන්නයි.

 

ඊට පස්සේ ඔබේම ව්‍යාපාරයක් පටන් ගත්තා ද?

 

ඇත්තටම මට ඉගැන්වීමේ හැකියාවක් තිබුණු නිසා අධ්‍යාපන කේෂ්ත්‍රයට යොමු වෙන්න ආසාවක් තිබුණා. ඒ නිසා මම අධ්‍යාපන ආයතනයක් පටන් ගත්තා. ඒ ආයතනයේ ඉගැන්විම කළේ දරුවන්ගේ තිබෙන හැකියාව හඳුනාගෙන මොන මට්ටමේ ද කියන එක අවබෝධ කරගෙනයි. ඒ දරුවාගේ මට්ටමට ගැළපෙන අධ්‍යාපන වැඩසටහනක් තමයි කළේ.

 

ඒ වැඩසටහන කළේ මොන වගේ වයස් මට්ටමේ දරුවන්ට ද?

 

පළමු වසරේ සිට උසස් පෙළ දක්වා දරුවන්ට තමයි ඒ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කළේ. දැන් තියෙන ටියුෂන් ක්‍රමය තුළ ගාල කඩා ගත්ත සත්තු වගේ දරුවෝ දුවනවා. කිසිම ඉලක්කයක් නැහැ. පුළුවන් දරුවා අල්ලා ගත්තා. තවත් දරුවෝ කොටසක් අනිවාර්යයෙන්ම හැළෙනවා. ඒ හැළෙන දරුවා හිතනවා මම මෝඩයෙක් කියලා. ඒක වෙන්නේ අර ක්‍රමය අල්ලා ගන්න බැරි වුණාම. අපේ අධ්‍යාපන ලබා දීම තුළ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ පංති මට්ටමේ දී ලැබෙන්න ඕනේ දැනුම දරුවාට ලැබෙන්නේ නැතිවුණාම, උගන්වන ක්‍රමය හරි නොගියාම, දරුවාට වෙන ප්‍රශ්න තිබුණා ම ඒවාට ගැළපෙන ලෙස learning with difficulties කියන ක්‍රමය තමයි අපි ක්‍රියාත්මක කළේ. විධිමත් අධ්‍යාපනයේ සාම්ප්‍රදායික ක්‍රමය තුළ ඉගෙනීමට අපහසු දරුවෝ තමයි අපි මෙයට තෝරා ගත්තේ.

 

එතකොට ඉෂාරා ඔබ මේ ලොරි බොඩි නිර්මාණයට යොමු වුණේ කොහොමද?

 

ඇත්තමට අපේ රටේ ජනගහණය දවසින් දවස වැඩි වෙනවා. ව්‍යාපාර කේෂ්ත්‍රයේ අපට ජනතාව අතරට යන්න පුළුවන් හොඳම ක්‍රමය එනම් mobile කියන ක්‍රමය හඳුනා ගත්තා . ඒ අනුව තමයි ඉෂාරා වෙන්චූවර්ස් ෆ්‍රයිවට් ලිමිටඩ් ආයතනය පටන් ගත්තේ. 2015 දී තමයි මම එම කම්පැණිය පටන් ගත්තේ. තාත්තා මේ අතර අසනීප වුණා. ඒ නිසා සම්පූර්ණයෙන් ව්‍යාපාරයම මගේ අතට ගන්න වුණා. අපි සැහැල්ලු ටේලර්ස්, ලොරි බොඩි, ට්‍රක් හදන්න පටන් ගත්තා.

 

මේවා වඩාත් ප්‍රයෝජනවත් කාටද?

 

දිගු කාලීන ව්‍යාපාරයක් අඩුම ප්‍රාග්ධනයකින් පටන් ගන්න අයට විසඳුමක් දෙන්න තමයි අපි මේවා නිර්මාණය කළේ. පියාජෝ ත්‍රිවිල් එක උස අඩුයි. ඒක ඇතුළේ කිසි දෙයක් කරන්න බැහැ. අපි එය උස වැඩි කරන ක්‍රමයට හදලා තමුන්ගේ බිස්නස් එක ඉවර වුණාට පස්සේ හකුළා අඩු කරන ආකාරයට නිර්මාණය කළා. ඒ වගේ ජංගම රථයකින් ලක්ෂ 12 ක් වැනි මුදලකට කුඩා පරිමාණයේ කෑම කඩයක් පටන් ගන්න පුළුවන්.

 

තව මොනවද ඔබ කරපු නිර්මාණ?

 

ලොරියක ප්‍රමාණය ඩබල් කරන නිර්මාණය කළා. දිග අඩි 17ක ලොරියක් එය දෙගුණ කරන්න පුළුවන්. මේ හැම දෙයකම මූලික නිර්මාණ සැලසුම හදන්නේ මම. ඊට පස්සේ අපේ කාර්මික ඉංඡිනේරු කණ්ඩායමක් එකතුව තමයි මේවා නිර්මාණය කරන්නේ. අපේ ආයතනයේ දැන් විශාල පිරිසක් සේවය කරනවා. අපි ඉදිරියේ දී මේ වැඩවලට තරුණියන් පුහුණු කිරිමේ වැඩසටහන් පටන් ගන්නයි සූදානම. ඒ ගැන උනන්දුව, කැමැත්ත, උත්සාහය තිබෙන තරුණියන්ට වැද්දුම් ශිල්පින්, විදුලි කාර්මික ශිල්පිනියන්, නිර්මාණ ශිල්පින් ලෙස අපේ ආයතනයට එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා මම ආරාධනා කරනවා අපේ තරුණ කාන්තාන්ට. මෙය ඔවුන්ට මහගු අවස්ථාවක්. ගාමන්ට් ෆැක්ටරියක වැඩ කරනවාට වඩා තුන් හතර ගුණයක් පඩි ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු එකහමාරක් පුහුණු වුණොත් පනස් දහසට වඩා වැඩි පඩියක් මුලින්ම ගන්න පුළුවන්.

 

ඔබේ ඉදිරි සැලසුම් මොකක් ද?

 

මේ අවස්ථාවේ අපේ රටට වාහන ගේන්නේ නැනේ. ඒ නිසා අපි කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණ හා සත්ත්ව පාලන මෙවලම් නිර්මාණය කරනවා. ඒ වගේ ම විවිධ කේෂ්ත්‍රවලට අවශ්‍ය නිෂ්පාදනය කරන්න අදහසක් තියෙනවා. උදාහරණයක් ලෙස සැලෝන් සඳහා mobile salon එකක් හදන්න අපට ඇණවුම් ලැබුණොත් අනිවාර්යයෙන් අපි එය නිර්මාණය කරනවා. එයට අමතරව අපි රටේ ජංගම පීසා ආයතන සඳහා නවීන ට්‍රේලස් නිර්මාණය කරනවා. අපේ දේශීය නිෂ්පාදන අලෙවියට ගැළපෙන ජංගම අවන්හල් ආදිය නිර්මාණය කරනවා. ඊට අමතරව විවිධ නව තාක්ෂණයේ නිර්මාණ රැසක් කරන අතර විවිධ ලොරි සඳහා බොඩි ආනයනය කීරිමට ද කටයුතු කරනවා. ව්‍යාපාර කේෂ්ත්‍රය තුළ ප්‍රවාහනය කිරිමේ අපහසුව මඟ හරින, වියඳම අවම කරන කුඩා නිර්මාණ කිරීමේ සැලසුමක් අපට තියෙනවා. පවත්නා කෝවිඩ් තත්ත්වය තුළ මේ නිර්මාණවලට විශාල ඉල්ලුමක් ඇති වෙයි කියලා තමයි මගේ විශ්වාසය. ඇත්තටම ලෝකයට බලපා ඇති මේ තත්ත්වය හොඳ පැත්තට හරවාගෙන තරුණ පිරිසකට මඟ පෙන්වීමක් ලබා දෙමින් ගමනක් යාම තමයි මගේ ආපේක්ෂාව. ඒකට මේ වසංගතය ලොකු බාධාවක් නෙවෙයි.

ඇයට හැමදාමත් සෙවණැල්ලක් වූ අයෝනා මනමේන්ද්‍ර නම් ආදරණීය අම්මා සිහිපත් කරමින් ඇය අපේ කතාබහ නිමා කළා.
 

 

 

ජයාරූප -   හිරන්ත ගුණතිලක