ඕසෝන් වියන රැක ගනිමු

සැප්තැම්බර් 16 වැනි දිනට යෙදුණු අන්තර්ජාතික ඕසෝන් දිනය නිමිත්තෙනි
සැප්තැම්බර් 22, 2021

 

ඕසෝන් වියනට හානි වී පෘථිවිය ඍජුවම පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් ශාක වර්ධනය අඩාල වේ. විශේෂයෙන් රනිල කුලයේ ශාකවල ඵලදාව අඩු වීමෙන් ධාන්‍ය නිෂ්පාදනය නිසි අයුරින් සිදුනොවී මිනිසුන් තුළ ප්‍රෝටීන් ඌණතා ඇති වේ.

 

මිනිස්සුනට ජීවත්වන්නට අවැසි දෑ බොහෝය. ඔවුන් සිතන පරිදි මිල -මුදල්, යාන- වාහන, ඉඩ- කඩම්, ගේ- දොර, වැනි දෑ ජීවිතය පවත්වා ගෙන යෑමට අවැසි දෑය. නමුත් සත්‍ය එය නොවන බව මොහොතක් කල්පනා කළ විට ඔබට වැටහෙනු ඇත.

 

ස්වභාවදහමේ නිසි ක්‍රියාකාරීත්වය මානව දිවිය පවත්වා ගෙන යන්නට බළපාන ප්‍රධානතම කරුණයි.

වායුගෝලයේ ස්වභාවිකව නිර්මාණය වී ඇති ඕසෝන් ස්ථරය ජීවින්ගේ පැවැත්ම සුරක්‍ෂිත කරයි.එහෙත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඕසෝන් ස්ථරය මේ වනවිට ක්‍ෂය වෙමින් පවතී.ඒ පිළීබඳව ලෝක ප්‍රජාවගේ අවධානය යොමුකරවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1987 දී සැම වසරකම සැප්තැම්බර් 16 වැනිදා ඕසෝන් වියන සුරැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

 

ඕසෝන් වියන පෘථිවියේ පැවැත්මට වැදගත් වෙන්නේ කොහොමද?

 

ඕසෝන් වියන නොවන්නට පෘථිවියේ  ජීවය ගැඹුරු මුහුදේ පත්ලටම පමණක් සීමා වීමට ඉඩකඩ තිබිණ. පෘථිවියේ ජෛව විවිධත්වය ඇති වුයේද , ජීවීන් ලොව පුරා ව්‍යාප්ත වුයේ ද ඕසෝන් වියන ඇතිවීම හේතුවෙනි.

එපමණක්ද නොවේ, බහු සෛලික ජීවීන් බිහිවන්නේ ද, සත්ත්ව හා ශාක පරිණාමය සිදුවන්නේද ඕසෝන් වියන ඇති වු හෙයිනි. සාගර පත්ලට පමණක් සීමාව තිබු ජීවය සාගර පත්ලෙන් තෙත් බිමටද, තෙත් බිමින්, ගොඩ බිමටද සංක්‍රමණය වී පාථිවිය පුරා ව්‍යාප්ත විය.

 

ඕසොන් වියන හායනය වීමෙන් සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසක් ඇති වේ.

 

මොනවද ඒ සෞඛ්‍ය ගැටලු

 

ඕසෝන් වියනට හානිවීම නිසා සූර්ය කිරණ ඍජුවම පාථිවියට පතිත වේ . එලෙස අධික ශක්තියකින් යුත් පාරජම්ජුල කිරණ චර්ම රෝග ඇති කිරීමට සමත්ය. ඒ අනුව සම පිලිස්සීම, අකලට සම මහළු වීම සහ සමේ පිළිකා ඇති වීම සිදුවේ. එමෙන්ම අක්ෂි රෝග ඇති වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි ඇති වීම හේතුවෙන් ලෙඩ රෝගවලට , විශේෂයෙන්ම බෝවන රෝගවලට  ඔරොත්තු දීමේ හැකියාව අඩුවේ. විවිධ ශ්වසන රෝග ඇති වීම මෙන්ම , ජාන විකෘතිතාවයන් ද ඇති වේ.

 

ඕසෝන් වියනට හානි වීමෙන් ඇති වෙන්නේ සෞඛ්‍ය ගැටළු විතරද?

 

සෞඛ්‍ය ගැටළු පමණක් නෙවෙයි, පාරිසරික හා වෙනත් ගැටළු ද ඇති වෙනවා. ඕසෝන් වියනට හානි වී පෘථිවිය ඍජුවම පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් ශාක වර්ධනය අඩාල වේ. විශේෂයෙන් රනිල කුලයේ ශාකවල ඵලදාව අඩු වීමෙන් ධාන්‍ය නිෂ්පාදනය නිසි අයුරින් සිදුනොවී මිනිසුන් තුළ ප්‍රෝටීන් ඌණතා ඇති වේ.

පාරජම්බුල කිරණ ජලය තුළින්ද ගමන් කිරීමේ හැකියාවෙන් යුක්තවන හෙයින් මත්ස්‍ය හා උභය ජීවීන්ගේ බිත්තරද විනාශ වේ. මත්ස්‍ය හා උභය ජීවී ගහණය අඩු වීමට එය හේතුවන අතර ජලජ ශාක ප්ලවාංග විනාශ වීම හේතුවෙන් විශාල මත්ස්‍යයන්ට ආහාර හිඟයක් ඇති වේ.

පෘථිවියේ උෂ්ණ්ත්වය ඉහළ යාමෙන් සාගර ජල මට්ටම ඉහළ යයි. ධ්‍රැව හා ග්ලැසියර් දියවීමෙන් ගොඩබිම් ජලයෙන් යටවන අතර එය විශේෂයෙන්ම ලංකාව, මාලදිවයින වැනි දූපත් රටවල්වලට විශාල තර්ජනයකි.

ඕසෝන් වියනට හානිවීමෙන් වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යන අතර ගෝලීය දේශගුණ රටාවන්ද වෙනස් වේ. වළාකුළු සෑදීමේ ආකාර වෙනස් වීම හේතුවෙන් කාලයට වැසි නොලැඹී යයි.

වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ද වැඩි වී ඕසෝන් ස්ථරවිභවය විනාශ වීම ද වේගවත් වේ.

 

ඕසෝන් වියන හානි වෙන්නේ මොනවායින්ද?

 

මිනිසා පෘථිවිය මත පහළ වී තාක්ෂණික දියුණුව අත්පත් කරගන්නා විට ඕසෝන් ස්තරයට හානි පැමිණෙන්නට විය. නයිට්‍රජන් ඔක්සයිඩ් නිසා ඕසෝන් ස්තරයට හානි සිදු වන බව මුලින් ම හෙළි වූයේ 1970දී පමණ ය. ක්ලෝරෝෆ්ලූරෝකාබන (chlorofluorocarbons) නිසා ඕසෝන් ස්ථරයට සිදු වන හානි පිළිබඳව 1974දී අනාවරණය කර ගැනිණ.

ශීතකරණ හා වායු සමනය භාවිතයේදී, සුවඳ විලවුන් භාවිතයේදී, තීන්ත භාවිතයේදී, පළිබෝධ නාශක ඉසින අවස්ථාවන්හිදී වායු ගෝලයට එකතුවන ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්, ඕසෝන් ස්තරයේ පැවැත්මට හානිකර ය. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් ගිනි නිවන උපකරණ භාවිතයේදී ද ද්‍රාවකයක් හා පිරිසුදු කාරකයක් ලෙස භාවිත කිරීමේදී ද වායුගෝලයට එකතු වේ.

 

එම රසායනිකය ද ඕසෝන් ස්ථරයට හානි පමුණුවයි. පිරිසුදු කාරකයක් ලෙස භාවිතයට ගන්නා මෙතිල් ක්ලෝරෆෝම් ද ඕසෝන් ස්ථරය පළුදු කරන බව විද්‍යාඥයෝ පවසති.

ඇන්ටාක්ටිකාවට ඉහළ අහසේ ඕසෝන් ස්ථරයේ සිදුරක් නිර්මාණය වී තිබෙන බව විද්‍යාඥයන්ගේ අවධානයට පළමුවෙන්ම ලක් වූයේ 1985දී පමණ ය. මෙම සිදුර කාලයත් සමග විශාල වන බවත් 2003 වනවිට එම සිදුර ඉහළම විශාලත්වයට පැමිණ තිබෙන බවත් විද්‍යාඥයන්ට අවබෝධ විණ.

ඒ වෙනුවෙන් ඔබට කළ හැකි දේ

 

ඕසෝන් ස්ථරය හානි වීම වළක්වා ගැනීම සඳහා නිවෙසේ සිටම ඔබට කළ හැකි දේ බොහොමයි.

ප්ලාස්ටික්, රබර් වැනි දෑ පිළිස්සිම මඟින් වායු ගෝලයට එකතු වන විස රසායනිකත් ඕසෝන් ස්තරය හානි වීමට හේතුවකි. ඒ නිසා නිතරම දිරාපත්වන පොලිතීන් හෝ ඒ වෙනුවට වෙනත් ආදේශක එදිනෙදා කටයුතුවලට යොදාගන්න.

පැරැණි ශීතකරණ භාවිතයත් ඕසෝන් ස්ථරය හානි වීමට හේතුවකි. අද පවතින නවීන ශීතකරණ භාවිත කරන්නේ අවුරුදු 20කට පෙර නිපද වූ ශීතකරණයක් භාවිත කළ බලශක්තියෙන් 1/10 කි.

ඔබට ඇත්තේ ඉපැරැණි ශීතකරණයක් නම් නව ශීතකරණයක් මිල දී ගන්න. එමගින් ඔබට මුදල් සහ බලශක්තිය යන සම්පත් දෙක ම ඉතිරි වේ.

ලෝකය පුරා ම දැන් ස්වභාවික ශීතකාරක වෙත නැඹුරුවීමක් දැකිය හැකිය. ඒ බොහෝ විට හයිඩ්‍රෝ කාබන් වන අතර ඇතැම් දියුණු සමාගම් විසින් ව්‍යාපෘති මට්ටමින් ශීතකාරකයක් ලෙස කබන්ඩයොක්සයිඩ් යොදාගනියි. ආර් 600 වැනි ශීතකාරක ඕසෝන් ස්ථරයට හානි නොකරයි. බොහෝවිට ඒවා ගෝලීය උෂ්ණත්වයට බලපාන්නේද අවම ප්‍රමාණයකිනි. හයිඩ්‍රෝ කාබන් විසින් ද්‍රව්‍ය දහනය කරයි.

දැන් බොහෝ ගෝවීන් රසායනික පොහොර භාවිතයෙන් වැළකි කාබනික පොහොර වගාවට යොමු වෙමින් තිබෙන නිසා එය හොඳ ප්‍රවණතාවයකි.

ඕසෝන් වියන සුරැකීම සඳහා ශ්‍රී ලංකාවත් ඉතා වැදගත් පියවර කිහියක් ගෙන තිබේ. පරිසර අමාත්‍යාංශය යටතේ ජතික ඕසෝන් ඒකකය පිහිටුවීම, ඕසෝන් අහිතකර ද්‍රව්‍ය ශ්‍රි ලංකාවට ගෙන ඒම තහනම් කිරිම, රසායනික ද්‍රව්‍ය භාවිතා කර සුවඳ විලවුන් නිෂ්පාදන කරන ආයතනවලට ඕසෝන් හිතකාමි තාක්ෂණය හඳුන්වා දීම ඒ අතර කැපී පෙනෙයි.

 

අන්තර්ජාලය ඇසුරිනි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.