‘සත්තකින්ම මා ‍මේ පෙනී සිටින්නේ ඇය වෙනුවෙන්’

දෙසැම්බර් 20, 2021

කැසිඩ් තවදුරටත් කතා කළේය.

“ඇත්ත වශයෙන්ම බෙට්සි ස්ටර්න් දරුවකු හදා නොගත්තේ ඇය ඉහළ රැකියාවක් කරන නිසා. ඒ වගේම ඇය ඒ රැකියාවෙන් තව තවත් උසස්වීම් බලාපොරොත්තු වූ නිසා. ස්කොලොෆ් මහත්මයා ඔබ කියනවා ඇයට ‘මල්ටිපල් ස්ක්ලෙරොසිස්‘ නම් රෝගයක් වැළඳුණාලු.

එය තුන් ආකාරයකට දකින්නට පුළුවන්ලු. ඇයට තිබෙන්නේ බරපතළ කමෙන් අඩුම තත්ත්වයලු. කෝ අදාළ වෛද්‍ය වාර්තා? මං හිතන්නේ මේ නඩුව ආරම්භ වීමෙන් පසුව හෝ ඇය ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කොට නැහැ. එපමණක් නෙමෙයි අපට පැහැදිලි වන්නේ ඇය දරුවකු හදා ගැනීමේ උත්සාහයක නිරත වී නැහැ. ඇත්තෙන්ම මා මෙතැන සිටින්නේ බෙට්සි ස්ටර්න්ගේ නිසරු බව නිසා නෙමෙයි. එක් කාන්තාවක් අපට පැහැදිලිව පෙන්වා දී තිබෙන නිසා; ‘මුදල්වලට ගත නොහැකි දේත් මේ ලෝකයේ ඇති බව‘ සත්තකින්ම මා මේ පෙනී සිටින්නේ ඇය වෙනුවෙන්“

බිල් ස්ටර්න් වරින් වර හිස වැනුවේ මගේ නීතිඥ තැනගේ වචන ප්‍රතික්ෂේප කරමිනි.

අවසානයේ දී ඔහුට නැඟී සිටින්නට සිදු වූයේ ස්කොලොෆ්ගේ ප්‍රථම සාක්ෂිකරු හැටියට ය. ඔහු සුදුමැලි වී සිටි අතර ඔහුගේ උඩු තොලට පවා දහඩිය දමා තිබෙනු දැක ගත හැකි විය. හේ සාක්ෂි ආරම්භ කළේ තම ළමා කාලය සිහිපත් කරමිනි.

ඔහු ඉපදී තිබුණේ 1946 වර්ෂයේදී බර්ලින් නුවරදී ය. ඔවුන් වසර පහක් පුරා නාසින්ගෙන් බේරී පළා යමින් සැඟවෙමින් සිට ඇත. ඔහුට අවුරුදු දෙකේදී මව්පියන් එක්සත් රාජධානියට පැමිණ පිට්ස්බර්ග් නගරයෙහි පහළ මධ්‍යම පාන්තික පවුලක් ලෙස ජීවිතය ආරම්භ කොට ඇත. ඔහුගේ පියා අවන්හලක රාත්‍රී අරක්කැමියකු ලෙස සේවය කළ අතර මව සේවය කොට ඇත්තේ කර්මාන්තශාලාවක ය.

නමුත් බිල්ගේ වයස අවුරුදු 12 වන විට ඔහුගේ ලෝකයේ වීරයා වූ පියා මිය ගියේය. පවුලේ එකම දරුවා වූ හෙයින් ඔහුට හැම දෙයක්ම විඳ දරාගන්නට වූයේද තනිවම ය. කෙසේ හෝ ඉන්පසු බිල් සහ ඔහුගේ මව නිව්යෝර්ක් පුරවරය කරා සංක්‍රමණය වූහ. නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් සහ මිචිගන් විශ්ව විද්‍යාලයීය උපාධි පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ බිල් රැකියාවක් කරන අතරතුර තවදුරටත් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියේය. ඔහුට බෙට්සි මුණගැහුණේ ජීව රසායන විද්‍යාව ආචාර්ය උපාධියට උගනිද්දී ය.

බිල් සහ බෙට්සි 1967 වර්ෂයේදී එකම පන්තියක උගත් නමුත් දෙදෙනා හොඳින් දැන හැඳිනගත්තේ ඊට දෙවසරකට පසුව පැවැත්වුණු සාදයකදී ය.

බිල්ගේ යුදෙව් සම්භවය අමතක කොට දැමූ බෙට්සි මෙතෝදිස්ත කිතුනුවකු වූවාය. දෙදෙනාගේ විවාහය සිදු වූයේ පල්ලියකදී ය. ඔවුන් දෙදෙනා නිගමනය කොට තිබුණේ බෙට්සිගේ අධ්‍යාපන කටයුතු නිමාවන තෙක් දරුවකු බිහි නොකරන්නට ය. ඊළඟ මිනිත්තුවේදී හේ විස්තර කළේ බෙට්සිගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙනි. 1979 වර්ෂයේ එක් උදෑසනක බෙට්සි අවදිවනවිට ඇගේ ඇස් පෙනීම, දුර්වල වී තිබිණි. සියලුම දෑ ඇයට පෙනී ඇත්තේ බොඳ වූ ස්වභාවයකිනි.

අක්ෂි වෛද්‍යවරයා ඇයට පැවසුවේ අක්ෂි ස්නායුවක දුර්වලතාවක් හටගෙන ඇති බවකි. ඒ අසා බෙට්සි දැඩි ශෝකයෙන් හඬා වැටුණු බව ද හේ පැවසුවේය. එය මල්ටිපල් ස්ක්ලෙරොසිස් (MS) නම් රෝගයේ ලක්ෂණයක් විය හැකි යැයි ද වෛද්‍යවරයා පවසා ඇත.

පසුව ඇයගේ පෙනීම සුවපත් වුවද, ස්නායු රෝග විශේෂඥයකු වෙත ඇය කිසිදාක යොමුවූයේ නැත. එතැන් පටන් වසර 15ක පමණ කාලයක් තිස්සේ ඇය නොයෙකුත් ශාරීරික දුර්වලතාවලින් පෙළෙන්නී ය. ඒ අතර උණුසුම් දිනවලදි ඇගේ පාද,පා ඇඟිලි සහ අතේ ඇඟිලි හිරිවැටිමක් විය.

බිල්ගේ කතාව අසා මට දැනුණේ දුකකි. මා සැබෑ සිතින් දරුවන් නොමැති යුවළකට උපකාර කරන්නට ඉදිරිපත් වුවද එයට ඉඩ නොදුන්නේද ඔවුන්ම ය. පසු දින Bergen Record නම් නිව්ජර්සි හි පළවන පුවත්පත මඟින් පළ කොට තිබු විස්තරයකින් මා බෙට්සිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ගැඹුරට දැනගතිමි.

මවෙතින් සහ මහජනතාව වෙතින් ඒ තත්ත්වය සඟවා තබා ගැන්මට ඔවුන් එතරම් මහන්සි ගත්තේ ඇයිදැයි මම එයින් අවබෝධ කරගතිමි. දරුවකු කුස පිළිසිඳගෙන තමාගේම යැයි දරුවකු තනන්නට නොහැකි තරම් බරපතළ සෞඛ්‍ය දුබලතාවක් සැබවින්ම බෙට්සි තුළ වීය.

ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ Multiple Sclerosis නම් අක්ෂි රෝගය පිළිබඳ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ සහ එහි ස්නායු විද්‍යාව සම්බන්ධ මහාචාර්ය වෛද්‍ය ලෝරන්ස් ඩබ්ලිව් මයර්ස් මහතා සමඟ පුවත්පත කළ සංවාදයක් ඒ බව සනාථ කොට තිබිණි. ඉහත කී රෝගය කාන්තාවකගේ ගර්භණීභාවය සම්බන්ධයෙන් බරපතළ බලපෑමක් ඇති නොකරන බවත්, එම රෝගය වැළැඳුණු කාන්තාවන් බොහොමයක් දරුවන් ප්‍රසූත කොට ඔවුන් රැක බලාගන්නා බවත් ඔහු විසින් හෙළිදරව් කොට තිබිණි.

“එය එතරම් විවාදයට බඳුන්කළ යුතු කාරණාවක් නෙමෙයි. MS රෝගය වැළැඳුණු කාන්තාවන්ට නිරෝගී දරු උපතක් සිදු කිරීමේ බාධාවක් නැහැ. ඔවුන්ට ද සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයේ සිටින කාන්තාවක් වාගේම දරුවකු පිළිසිඳ ගෙන ප්‍රසූත කිරීමේ හැකියාව තිබෙනවා.“

එසේ පවසා තිබුණ් මිනසෝටා විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය රැන්ඩෝල් ටීෂාරිරෝ ය. ඔහු මිනෙපෝලිස් හි ෆෙයාර්වීව් නමැති MS රෝග පර්යේෂණ ආයතනයෙහි අධ්‍යක්ෂවරයාද වූයේය.

එම රෝගය සම්බන්ධයෙන් මෑතකදී පර්යේෂණයන්හි නියැළී සිටි ස්නායු රෝග විශේෂඥයකු වූ වෛද්‍ය ඩේවිඩ් තෝමස් කියා සිටියේ මෙවැනි අදහසකි.

“දරුවකු කුස දරා සිටීමෙන් කිසියම් කාන්තාවකගේ MS රෝගී තත්ත්වයට කිසිදු අහිතකර බලපෑමක් සිදුවන්නේ නෑ.“

මේ හෙළිදරව්වෙන් පසුව ස්ටර්න් යුවළ සහ මා අතර තිබූ සබඳතා සියල්ල ලිහී ගිලිහී ගොස් තිබිණි. නීතිඥවරුන්ගේ කාමරය තුළ නීතිමය ලියකියවිලි, වෙනත් රාජකාරිමය ලිපි ගොනු, බ්‍රීෆ් කේස්, බෑග් යනාදි නොයෙකුත් දෑ අතර අපි බොහෝ විට එකිනෙකා දුටුවෙමු. එහෙත් ඔවුන් දෙදෙනා මා දෙස බැලීමෙන් පවා වැළකී සිටින්නට වග බලාගත්තෝ ය. උසාවි භූමියෙන් පිටතට යාමේදී ද මා මඟහැර යන්නට ද ඔවුහු නිතර උනන්දු වුහ.

එහෙත් ඒ වනවිටත් මම ඔවුන් පිළිබඳව ශෝකයෙන් කල්පනා කළෙමි. මගෙ තරහව මඳකට අමතක කොට මා විමසා බලන්නට උත්සාහ ගත්තේ අප අතර මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වුයේ කෙසේද යන්නයි. දැන් අප හැම කෙනකුම ශෝකයෙනි. මේ අරගලය මගේ ආත්මය පහුරුගාමින් මට වධ දෙමින් සිටියේ ය.

“සතුටින්, විනෝදයෙන් සහ ආත්මීය වශයෙන් ඉතා උසස් තැනක හුන් මේරි බෙත් නමැති ධෛර්යමත් මාතාවට මොකද වුණේ? දැන් ඔබ බොහෝම පීඩාවටත්, විඩාවටත් පත්වෙලා වගෙයි අපට පේන්නේ.“

මාස ගණනාවක් තිස්සේ මේ නඩුව පසුපස හඹා යමින් සිටි මාධ්‍යවේදීහු කිහිප දෙනෙකුම මගෙන් විමසුවේ එම පැනම ය.

“නෑ. එහෙම නෑ. අපි නඩුවෙන් දිනන්ඩයි යන්නෙ.“ මා එසේ කීවේද උදාසීන කටහඬකිනැයි මට සිතේ.

පරිවර්තනය

සුනිලා විජේසිංහ

මීළඟ ලබන සතියේ