කළ යුතු ම වැඩවලට මුල්තැන දෙන්න

දෙසැම්බර් 20, 2021

සෑම අයෙකුම හඹා යන්නේ සාර්ථකත්වයයි. ඒ වෙනුවෙන් සාර්ථකත්වයට පත්වූ පුද්ගලයන් ක්‍රියා කළ ආකාරය, පුරුදු ආදිය ගැන දැනුවත් වීම වැදගත්ය. ඒ යන ගමනේ දී අප විසින් ඇති කරගත යුතු පුරුදු පිළිබඳ අපි ඔබ සමඟින් කතා කළෙමු.

අද එහි දහවැනි කරුණ ලෙස දක්වන්නේ කටයුතු කලට වේලාවට සිදු කිරීමේ වැදගත්කමයි.

මෙය අපේ මුතුන් මිත්තන්ට තිබුණද අද වන විට අපෙන් ගිළිහී යමින් තිබෙන්නකි. ‘අද කළ යුතු දේ අදම කරන්න. හෙටට කල් දමා පසුතැවිලි නොවන්න‘ ලෙසින් ප්‍රකට කියමනක් ඇත්තේ ද එබැවිනි. අපේ බොහෝ දෙනෙක් අත් ඔරලෝසු භාවිත කරන්නේ විලාසිතාවක් ලෙසින් පමණි. අත් ඔරලෝසුව නිපදවා ඇත්තේ වේලාවට වැඩ කිරීමේ පහසුවට බව අමතකව ගොසිනි.

ඉලක්ක වෙත යාමට ජීවිතය ජය ගැනීමට බොහෝ දෙනකුට අපහසු වී ඇත්තේ තමා කළ යුතු දේ ගැන නොදන්නා නිසා නොවේ. දන්නා දේවල් ද නිසි කලට වේලාවට සිදු නොකිරීම නිසයි.

ඔබගේ සාර්ථකත්වය උදෙසා නැතිනම් ඉලක්ක ජය ගැනීම සදහා කළ යුතු එහෙත් මෙතෙක් කිරීමට නොහැකි වූ දේ හා ආරම්භ කළ ද තවමත් අවසන් කිරීමට නොහැකි වු කාර්යයන් මොනවාදැයි ලැයිස්තුවක් හදන්න. මෙය ඔබට තමා ගැනම යම් තක්සේරුවක් ලබා ගැනීමට හැකි ක්‍රමයකි.

ඔබ සාර්ථක ව්‍යාපාරිකයකු වීමට කැමැති යැයි අපි සිතමු. නමුත් එය ආරම්භ කිරීමට ඔබ සූදානම් නැත. එක් එක් හේතු ඉදිරිපත් කරමින් එය කල්දමයි. ඔබේ සිරුර තරබාරු යැයි අපි සිතමු. එය නිසි බර මට්ටමට අඩුකර ගතයුතු බව ඔබ දන්නා කරුණකි. එසේ කිරීමට ද ඔබට අවශ්‍යය. එහෙත් ඒ සඳහා යම් ක්‍රමවේදයක් අනුගමනය කිරීම ඔබ දිනෙන් දින ම කල් දමයි. ‘අද මහන්සියි. හෙට ඉඳන් ව්‍යායාම කරනවා...‘ යැයි සිතයි.

ඔබේ රැකියාවේ ඊළඟ උසස්වීම සඳහා ඔබට ඉංග්‍රිසි භාෂා දැනුමේ යම් ප්‍රගතියක් අවශ්‍ය වේ. ඔබේ දැනුම වර්ධනය කරගත යුතු බව ඔබ දනී. එහෙත් ඉංග්‍රිසි භාෂාව වර්ධනය කර ගැනීම උදෙසා පන්තියකට සහභාගි වීමට හෝ අන්තර්ජාලය භාවිතයෙන් යම් කිසි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඔබට නොහැකි වේ. අප බොහෝ දෙනෙකුගේ ඇති දුර්වලකම වන්නේ කළ යුතු දේ ගැන දැනගෙන සිටිය ද එය ක්‍රියාත්මක නොකිරීමයි. එය විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් දමයි.

බුදු දහමේ ද අලසයා විවිධ හේතු කියමින් කිරීමට ඇති දේ කල් දමන බව සදහන් ය. උදාහරණයක් ලෙස දැන් නිදිමත නිසා පස්සෙ කරනවා, දැන් කෑවා වැඩියි ඒ නිසා පස්සෙ කරනවා, දැන් අසනීප නිසා සනීප වුණාම කරනවා.... ආදී ලෙස කටයුතු කල් දමයි.

පැරෙටෝ ප්‍රින්සිපල් නමින් යුතු සිද්ධාන්තයක් පවතී. එහිදී නොකළාට කමක් නැති විශාල වැඩ හා කළ යුතු ම අත්‍යවශ්‍ය සුළු වැඩ ලෙසින් අප දිනක් තුළ සිදු කරන කාර්යයන් කොටස් දෙකකට වෙන් කරයි. අප දිනය පුරවා ගන්නේ නොකළාට කමක් නැති වැඩවලිනි. අත්‍යවශ්‍ය නොවන එම වැඩ කරමින් සිටිය දී අපට නොදැනීම දිනය ගෙවී යයි. අත්‍යවශ්‍ය සුළු වැඩවලින් එකක් හෝ කිරීමට නොහැකි වීමෙන් ඉලක්කය වෙත ළඟාවීමට හෝ සාර්ථකත්වයේ ගමන් මඟට පිවිසීමට ඔබට නොහැකි වේ.

දුර්වල පුද්ගලයන් බොහෝ දෙනෙක් දවස ගත කරන්නේ සිදු කරන ක්‍රියාවෙන් යම් වින්දනයක් ලැබෙතත් ඉන් ජීවිතයට හෝ සාර්ථකත්වයට හේතු නොවන දේ සමඟිනි.

කළ යුතුම වූ වැඩ වැඩි වශයෙන් සිදු කිරීමෙන් අපට ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ වීමටත් ඉලක්ක සපුරා ගැනීමටත් හැකියාව ලැබේ. ධනවත් වෙන හා ජීවිතයේ සාර්ථකත්වය ලබා ගත් පුද්ගලයන් තමාගේ කාලය වැඩි වශයෙන් යොදවන්නේ සාර්ථකත්වය සඳහා අදාළ වන වැඩ සදහාය. (Vital few works)මෙලෙසින් තමා කළ යුතු ම වැඩ ගැන අවබෝධයක් ලබාගෙන, එම වැඩ අවසන් කළ යුතු දින හෝ කාලය පිළිබඳ අවසන් දිනයක් ද යොදා ගනී. එම නිර්ණය කරගත් දිනයට හෝ එයට පෙර එම කාර්ය අවසන් කිරීමට උත්සාහ ගනී. මෙහිදී විනය ද ඉතාමත් වැදගත් තැනක් උසුලයි. කළයුතු හා නොකළ යුතු දේ වෙන් කරගෙන ඉන් කළ යුතු දේ පමණක් සිදු කිරීමට ස්වයං විනයක් පැවතීම ඉතාමත් වැදගත්ය. මෙහිදී තමා තමාට ම අවංක විය යුතුය. ඔබේ අනාගත ඉලක්ක ජය ගැනීමට නම් ඔබ විසින් කළ යුතුම (short term goals) කෙටි කාලීන ක්‍රියාකාරකම් ලැයිස්තුව සාදා ගත යුතුය. මෙය ඔබ විසින් පළමුවෙන් ම කළ යුතු ක්‍රියාවයි. මේ ගැන නිසි අවබෝධයක් ඔබට නැතිනම් උපදේශකයකුගෙන් ඒ සඳහා සහයක් ලබා ගත හැකියි.

ඉන්පසුව එසේ ලැයිස්තුගත කළ ක්‍රියාවන් සිදු කළ යුතු කාලසීමාවන් ද නිර්ණය කොට එහි සඳහන් කරන්න. අප ගොඩනැඟිල්ලක් සෑදීම සඳහා යම් කිසි ආයතනයකට බාරදුන් විට එය ආරම්භ කරන දිනය හා අවසන් කරන දිනය කලින් ම තීරණය කරයි. එවිට එම කාර්යයන් නිසි කලට අවසන් කිරීමට නම් ඒ ඒ කටයුතු අදාළ දිනයට සිදු කළ යුතුය. එසේ නොවුණහොත් නිර්ණය කළ දිනයට එම ව්‍යාපෘතිය අවසන් කිරීමට නොහැකි වේ.ඒ නිසා ඔබ ද තව අවුරුදු 5කින් 10කින් ජය ගත යුතු ඉලක්කයට ද සැලසුමක් සකස් කරගත යුතුය. මෙය ව්‍යාපාරික ඉලක්කයක්, වාහනයක් ගැනීම, නිවෙසක් ගොඩනැගීම, විදෙස් සංචාරයක් සදහා යාම, යම්කිසි ධනයක් ඉතිරිකර ගැනීම, ඉහළ අධ්‍යාපන සුදුසුකමක් අත්කර ගැනීම, විවාහය වැනි කුමනාකාර හෝ ඉලක්කයක් විය හැකිය. සාර්ථක ජීවිතයක් සඳහා සපුරා ගත යුතු ඉලක්ක ලෙස ඔබට හැඟෙන ඕනෑම ඉලක්කයක් මේ ආකාරයෙන් ඔබට සාර්ථක කරගත හැකිය. ඔබේ ඉලක්ක හා ඒවා ජය ගැනීම සඳහා කළ යුතු හා නොකළ යුතු ක්‍රියාවන් හඳුනා ගැනීම ඉතාමත් වැදගත්ය. ජපානයේ කියමනක සඳහන් වන්නේ එම හඳුනා ගැනීම ඔබ ඉලක්කයෙන් 50%ක කොටසක් සම්පූර්ණකර ඇති බවයි. ඒ සාර්ථකත්වය උදෙසා කළ යුතු දේ ඔබ දන්නා හෙයිනි. අනෙක් 50% සම්පූර්ණ වන්නේ ඔබ එය ක්‍රියාවේ යෙදවීමෙනි.මේ කරුණු ඔබේ පුරුදු ගොන්නට එකතු කරගෙන ජයග්‍රාහී මාවතට පිවිසෙන්න.

 

 

උපදෙස් - ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු