Fake ඇප් හඳුනාගන්නෙ මෙහෙමයි

ඔක්තෝබර් 7, 2024

 

තාක්ෂණය නැතුව අද කිසිම දෙයක් කරන්න බැහැ. ඔව්, නිවෙස ඇතුළේ ඉඳලා ගෙයින් එළියට බැහැලා නැවත ගෙදර ඇවිත් නින්දට යනකම්ම අපි දැන් ඉන්නේ තාක්ෂණෙත් එක්ක. තාක්ෂණය ඒ තරමට අපේ ජීවිතවලට සමීප වෙලා තියෙද්දි මේ තාක්ෂණික ලෝකය මඟහැරලා ඉන්න ගියොත් වෙන්නේ සමාජය ඇතුළේ කොන්වීම පමණක් නොවෙයි පුද්ගලයකු වශයෙන් පෞද්ගලිකවත් පසුගාමී තත්ත්වයකට පත්වීමයි. හැබැයි දැන් තාක්ෂණය හරි දියුණුයි වගේම හරි පහසුයි. මොකද අතේ තියෙන ස්මාට් ෆෝන් එකෙන් තාක්ෂණික ලෝකය තුළ ගනුදෙනු කරන්න දැන් සියලු පහසුකම් ලබා තියෙනවා. නමුත් මේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරද්දි ලොකු ලොකු දේවල් ගැන විතරක් නෙවෙයි හරිම පුංචි දේ ගැන පවා ලොකුවට හිතන්න ඕනේ.

මොකද වංචාවන්ට රැවටීම්වලට හසුවෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා.

 

හැමදේම පහසු කරන ඇප් නිසා දැන් ජීවිතයේ ගොඩක් දේවල් පහසු වෙලා. Android අය මේ ඇප් play store එකෙන් Download කරද්දි Apple පාවිච්චි කරන අය App store එකෙන් මේවා Download කරගන්නවා. මේ දෙකේ වෙනස තමයි Apple අයට නම් මේ ගන්න ඇප් ගැන ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මොකද App store එකේ fake app නැතිම තරම්. ඒ කියන්නෙ ව්‍යාජ ඇප් ගැන. නමුත් Android පරිශීලනය කරන අයට ඒ වාසිය ලැබෙන්නේ නැහැ. මොකද එකී මෙකී නොකී හැම ඇප් එකක්ම එහි අන්තර්ගත නිසා ප්‍රමිතිගත ඇප් එකක්ද ව්‍යාජ ඇප් එකක්ද කියලා හඳුනාගන්න බැහැ. සමහර විට මේ වගේ ෆේක් ඇප් එකක් නිසා ඔබේ දුරකතනයේ දේවල් වෙනත් පාර්ශ්වයක් සතු කර ගන්න වගේම විවිධ ගැටලුවලට මුහුණපාන්න තියෙන ඉඩකඩත් වැඩියි.

 

ඒ වගේම එක ඇප් එකක් ප්‍රසිද්ධ වේගෙන එද්දී ඒ නමින්ම ඇප් නිර්මාණය වෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් මේ බොරු ඇප්වලට නොරැවටී හරි ඇප් එක හරිම වැදගත්.

 

නිර්මාණකරුගේ නම පරීක්ෂා කරන්න

 

ඇප් එක නිර්මාණය කළ පුද්ගලයා හෝ ආයතනය කුමක්දැයි මුලින්ම අන්තර්ජාලය හරහා දැනුවත් වන්න. ඉන් අනතුරුව ප්ලේ ස්ටෝර් එකෙහි පෙන්වන ඇප්වල සංවර්ධකයාගේ නම පරීක්ෂා කරන්න. ව්‍යාජ යෙදුමක් හඳුනා ගැනීමට වඩාත්ම ඵලදායි ක්‍රමය වන්නේ එයයි. එකම නමින් යෙදුම් කිහිපයක් පෙන්නුම් කළත් වෙනත් නිර්මාණකරුවෙක්ගේ නමක් පෙන්නුම් කරන්නේ නම්, එය බොහෝ විට වංචනික අනුවාදයක් විය හැකිය.

 

Review පරීක්ෂා කරන්න 

 

අනෙක් පරිශීලකයින් යෙදුම ගැන පවසා ඇති Review පරීක්ෂා කරන්න. ඒවා එකිනෙක හොඳින් කියවා බලන්න. ඇතැම්විට උඩින් පෙනෙන්නට තිබෙන ඒවා ඇප් එක වර්ණනා කර තිබෙනවා විය හැකියි. ඒ නිසා පිටු කිහිපයක සමාලෝචන තැනින් තැන පරීක්ෂා කර බලන්න. ඇතැම් කෘත්‍රිම ක්‍රම මඟින් ව්‍යාජ සමාලෝචන දෙන අවස්ථාද දැක ගත හැකියි. මේ නිසා සමාලෝචන සැබෑ පුද්ගලයින් විසින් සිදු කරන ලද්දේද නැද්ද යන්න පරීක්ෂා කිරීම ද වැදගත් ය.

 

ඇප් එක ඔබෙන් අවසර ඉල්ලන දේ ගැන පරීක්ෂා කරන්න 

 

ඇප් එකක් ඉන්ස්ටෝල් කර ගැනීමේදී ඔවුන් ඔබේ ඡායාරූපවලට, දුරකතන නාමාවලියට සහ ඔබේ ලොකේෂන් එකට පිවිසෙන්න ඔබෙන් අවසර ඉල්ලනවා. ගොඩක් දෙනෙක් කරන්නේ ඉල්ලන ඉල්ලන හැමදේටම අවසර දීමයි. හැබැයි එහෙම අවසර නොදුන්නත් ඇප් එක ක්‍රියාත්මක කරවන්න පුළුවන්. සමහර ඇප් නම් අවසර නොදුන් විට ඔබට ඩවුන්ලෝඩ් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේ ඇප්වලින් පරිස්සම් වෙන එක හොඳයි.

 

ලාංඡනය සහ ව්‍යාකරණ දෝෂ පරීක්ෂා කරන්න

 

ව්‍යාජ යෙදුම්වල බොහෝ විට ව්‍යාකරණ දෝෂ දැක ගත හැකියි. ලාංඡනයේ කොලිටිය අඩු බව කැපී පෙනේවි. ලාංඡනය පැහැදිලි නැත්තම්, බොඳයි නම් එය ව්‍යාජ ඇප් එකක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඔබ තෝරාගත් ඇප් එකේ මෙවැනි ගැටලු පෙනෙන්නට තිබෙනවා නම් එය වංචනික අනුවාදයක් විය හැකිය.

 

ඩවුන්ලෝඩ් කර ඇති ප්‍රමාණය 

 

ව්‍යාජ ඇප් එකක් ඩවුන්ලෝඩ් කර ඇති ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. නීත්‍යනුකූල ඒවාට වඩා අඩු බාගත කිරීම් සංඛ්‍යාවක් ඇති බව කැපී පෙනෙනු ඇත.