කොරෝනා රෝගීන්ට ගැළපෙන දේශීය කෑමබීම

සැප්තැම්බර් 15, 2021

මේ දිනවල අපේ ගෘහණියන් කෑමබීමවල රසය ගැන වගේම ගුණය ගැනත් වැඩියෙන් හිතනවා. කොරෝනා වසංගතයත් එක්ක ගෘහණියන් ප්‍රතිශක්තිය වැඩිකරන කෑම ගැන හරිම උනන්දුයි. ඒ නිසාම අන්තර්ජාලයේ, සමාජ මාධ්‍යජාලවල, පුවත්පත්වල වැඩියෙන් එවැනි කෑම සාදන අයුරු අප දකිනවා.

හැබැයි මේ සෑම කෑම බීම වර්ගයක්ම අපේ පැරැණි මුළුතැන්ගෙයි අරුමයක් නොවෙයි. අතීතයේ අපේ මවුවරු උදේට කැඳ කෝප්පයක්, දවල්ට පළා මැල්ලුමක්, කෑම අරුචියට මිරිස් හොද්දක් හැදුවේ කෑම වට්ටෝරු පොත් බලාගෙන නම් නොවෙයි. ඔවුන් ඒ දේවල් අත්දැකීමෙන්ම දැනගෙන තිබුණා. ඒත් දවසින් දවස නාගරීකරණය වීමත් එක්ක මේ දේවල් අපෙන් ඈත් වුණා.

නමුත් කොරෝනා වසංගතයත් සමඟ නැවතත් අපේ පැරැණි මුළුතැන්ගෙයි කෑමබීමවලට අලුත් පණක් ලැබුණා. එදා අපේ අම්මලා මේ කෑමබීමවල වටිනාකම නොදැන වුණත් අපට දුන්න කෑමබීම වර්ගවල ගුණය වර්තමාන ගෘහණියෝ සොයනවා. විශේෂයෙන්ම තමුන්ගේ නිවෙසේ හෝ අසල්වැසි නිවෙසක කොරෝනා රෝගියෙක් ඉන්නවා නම් කෑම අරුචිය නැති කරන කැමබීම ගැන උනන්දුයි. එලෙස උනන්දු වෙන ඔබට කොරෝනා රෝගීන්ට වඩාත් ගැළපෙන කෑම බීම පෙළක් මෙලෙසින් තිළිණ කරන්නේ එය ඔබට වඩාත් ප්‍රයෝජනවත් නිසයි.

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී

මල්ලිකා ජෝෂප් මහත්මිය

ආයුර්වේද රූපලාවණ්‍ය වෛද්‍ය

මහේෂ් අතුරලිය

 

 

තක්කාලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

ලොකු ලූනු ග්‍රෑම් 100ක්

කැරට් ග්‍රෑම් 100ක්

පිටි ග්‍රෑම් 50ක්

බේකන් ග්‍රෑම් 25ක්

තක්කාලි සෝස් ග්‍රෑම් 100ක්

ස්ටොක් ලීටර් 1/4ක් (එළවළු හෝ කුකුළු මස තම්බාගත් වතුර)

ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්

බටර් හෝ බටර් ස්වල්පයක් (ග්‍රෑම් 50ක් තරම්)

 

සාදන ක්‍රමය

 

පළමුව ගැඹුරු භාජනයක් ගෙන එයට බටර් හෝ බටර් ස්වල්පයක් දමා රත් කරන්න. ඉන්පසු එයට බේකන්, තරමක ලොකුවට කැපූ ලූනු, කපාගත් කැරට් එකතු කර රන්වන් පාටවනතුරු රත් කරන්න. පසුව පිටි, තක්කාලි සෝස් හා ස්ටොක් මිශ්‍රකර සාමාන්‍යයෙන් විනාඩි 40 - 50ක් පමණ රත් කරන්. පසුව මෙය හොඳින් පෙරාගන්න. අනතුරුව ලුණු හා ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණ එකතුකර පිළිගන්වන්න

 

-------------------

මෂ්රූම් සුප්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ඔලිව් තෙල්

තේ හැදි 2ක්

බටර් මේස හැදි 1ක්

සිහින්ව ලියාගත් රතුලූනු

ගෙඩි 2ක්

සිහින්ව ලියාගත් සුදු ලුනු

ස්වල්පයක්

කෑලි කපාගත් බටන්

මෂ්රූම් කෝප්ප 1ක්

පාන් පිටි මේස හැඳි 1ක්

වතුර කෝප්ප 1 1/2ක්

ලුණු හා ගම්මිරිස් රස පදමට

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්

 

සාදන ක්‍රමය

පෑන් එකකට ඔලිව් තෙල් ටික දමා සිහින්ව ලියාගත් ලූනු හා සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. මෙයට කෑලි කරගත් මෂ්රූම් ටික දමා හොඳින් කලවම් කරමින් හැඳි ගාන්න. ලුණු හා ගම්මිරිස් රස පදමට මෙයට එක් කරගන්න.

දැන් මෙය හොඳින් කලවම් කර වසා තැම්බෙන්නට තබන්න. මෂ්රූම් ටික හොඳින් තැම්බුණු පසු එය බේරා

බ්ලෙන්ඩ්කර ගන්න. බ්ලෙන්ඩ් කරගත් මෂ්රූම් පියුරි එක නැවතත් සුප් එකට එකතු කරන්න. දැන් ෆ්‍රෙෂ් ක්‍රීම් ද එකතු කර උකුවෙන තෙක් හැඳි ගා ළිපෙන් බා පිළිගන්වන්න.

-----------------------

යකි නාරං කොළ කැඳ

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

යකි නාරං කොළ මිටක් දෙකක්

කරල් හැබ කොළ ස්වල්පයක්

කෝවක්කා ඉති කිහිපයක්

කරපිංචා ඉති කිහිපයක්

නිල් කටරොළු දලු ස්වල්පයක්

එළබටු දලු ටිකක්

පිටවක්කා ඉති කිහිපයක්

මොනරකුඩුම්බිය අතු කිහිපයක්

දේශීය සහල් වර්ගයකින්

ග්‍රෑම් 250ක් පමණ

සුදුලූනු බික් කිහිපයක්

ඉඟුරු කැබැල්ලක්

පොල් බෑයක් පමණ

සාදන ක්‍රමය

මුලින්ම සහල් ටික ළිප තබා බෙරි වෙන්න තම්බා ගන්න. දැන් කරල් හැබ, කෝවක්කා, කටරොඩු, එළබටු, සියල්ල කුඩාවට කපා ගෙන බ්ලෙන්ඩරයකට දමා අඹරා ගන්න. ඊට පසු කරපිංචා ස්වල්පයක් සූරාගෙන එයට එකතු කරන්න. අවසානයේ යකි නාරං, මොනරකුඩුම්බිය කොළ ටික ද කුඩාවට කපාගෙන ඉඟුරු, සුදුලූනු, රතුලූනු හා පොල් ටික ද

දමාගෙන ජලය යොදා නැවතත් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මෙය හොඳින් ඇඹරුණු පසු පෙනේරයකට දමා යුෂ ටික පෙරා ගන්න.

ඔබ මුලින් තම්බා ගත් බත් ටික ද බ්ලෙන්ඩරයට දමා හොඳින් අඹරා ගන්න. දැන් එය මැටි මුට්ටියකට දමා එයට කොළ කැඳ යුෂ ටික ද එකතු කර ළිපේ තබන්න. ඒ අතර ලුණු පදමට දමන්න. දැන් ඔබ මෙය ළිප තබා උතුරන විට බාගෙන පානයට ගන්න.

-------------------

අන්නාසි අතුරුපසක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

සිහින්ව කපාගත්

අන්නාසි ග්‍රෑම් 250ක්

බිත්තර 4ක්

සීනි අවශ්‍ය පමණ

දෙහි ගෙඩි 1ක්

අන්නාසි මිරිකා ගත්

උකු යුෂ හැඳි 1ක්

ජෙලටින් තේ හැඳි 1ක්

ක්‍රීම් (බටර් හා සීනි මිශ්‍ර)

කෝප්ප 1ක්

 

සාදන ක්‍රමය

පුංචි කැබලිවන ලෙස අන්නාසි කැබලි කරන්න. අන්නාසි යුෂ වෙනම තබා ගන්න. ජෙලටින් කුඩු එම අන්නාසි

කෝප්පයට කලවම් කරන්න. විනාඩි 20 ක් පමණ එය තබන්න. බිත්තර සුදු මද ගෙන එය ද ගසාගන්න. කහමද වෙනම

තබා ගන්න. එයට සීනිහ හා අන්නාසි යුෂ එකතු කර පෙඟෙන්න හරින්න. උකු වූ පසු ළිපෙන් බා නිවෙන්නට හරින්න. නිවුණු පසු අනෙක් මිශ්‍රණ එකතු කර සියල්ල භාජනයකට දමන්න. එය වතුර භාජනයකට දමා පෙර සේම නිවෙන්නට තබන්න. පසුව කෑමට ගන්න.

 

----------------------------

සුදුලූනු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

සුදු ලූනු බික් 15 - 20ක් පමණ

වෙනම සිහින්ව ලියාගත් සුදුලුනු ස්වල්පයක්

කෝන් පිටි මේස හැඳි 2ක්

ලුණු, ගම්මිරිස් රස පදමට

තෙල් ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම වතුර බඳුනකට කෝන් පිටි ටික දමා දියකර ගන්න. බඳුනකට තෙල් ටිකක් දමා සුදුලුනු ටික දමා බැදගන්න.

එයට සිහින්ව කපාගත් සුදුලුනු ටික දමා හොඳින් තෙම්පරාදු කරගන්න. (සුදුලූනු පිච්චෙන්න නොදී) දැන් මෙයට කෝන් පිට හා දියකරකගත් වතුර ටික දමා හැඳි ගාන්න. එය හොදින් උණුවෙන තෙක් හැදි ගා එයට ජලය කෝප්ප 1/2ක් පමණ එකතු කරන්න. දැන් මෙයට ලුණු හා ගම්මිරිස් රස පදමට දමන්න. අවසානයේ උකුවෙන තෙක් හැඳි ගා ළිපෙන් බා ගන්න. මෙය

රාත්‍රී කාලයේ ටෝස් කරගත් පාන් සමඟ ද රසවිඳිය හැකි රසවත් සුප් එකකි.

----------------------

කාරල්ලන් සුප්

 

අවශ්‍ය ද්‍රව්‍ය

දියකිරි කෝප්ප 2 1/2ක් (දෙවැනි කිරි)

තක්කාලි ගෙඩියක්,

කාරල්ලන් ග්‍රෑම් 150ක්

අමු මිරිස් කරල් 2ක්

අබ ඇට

බටර් ස්වල්පයක්

උලුහාල්

සූදුරු

සුදු ලූනු

රතු ලූනු ගෙඩි 2ක්

ලුණු / ගම්මිරිස්

කොත්තමල්ලි කොළ, කරපිංචා,

දෙහි ගෙඩියක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම ඔබ කාරල්ලන් ශුද්ධකර ගන්න. ඔබ මෙම කාරල්ලන් ශුද්ධ කරන අවසාන අවස්ථාවේ දෙහි ස්වල්පයක් දමා සෝදා ගත්විට එම මාළුන්ගේ ඇති පිළී ගඳ නැතිව යයි. දැන් ඔබ සුප් එක සෑදීම ආරම්භ කරන්න.

භාජනයක් ගෙන එය ළිප තබා බටර් ස්වල්පයක් දමා රත් කරන්න. බටර් රත්වීගෙන එනවිට එයට සුදුලූනු ටික එක් කරගන්න. එයට රතුලූනු ගෙඩි දෙකක් ද කපා එක් කරන්න. මෙයට සූදුරු ඇට හා උළු හාල් තේ හැඳි කාලක ප්‍රමාණයක් දමන්න. එයට අබ ඇට ද තේ හැඳි කාලක ප්‍රමාණයක්, මෙය රත්වීගෙන එන විට එක් කරන්න. මෙය බැදෙන විට තක්කාලි

එක් කර ගන්න. ඉන්පසුව අමු මිරිස් ටික දමා වර්ණය වෙනස්වීමට නොදී දිය කිරි එක්කර ගත යුතුයි. එයට ගම්මිරිස් ද එක් කරගන්න.

අවසානයේ මෙයට ලුණු එක්කර ඔබගේ රස පදමට දමා රත්වී කැටි නොගැසෙන ලෙස රත් වෙන්නට තබන්න.

මෙයට තුනපහ කුඩු අවශ්‍ය නොවන අතර උළුහාල් හා සූදුරු ඇට යෙදූ විට එහි රසය හොඳින්ම දැනෙයි. දැන් මෙයට කාරල්ලන් ටික ටික එක් කරගන්න.

මෙය උතුරා ගෙන එන විට පෙණ ටික ඉවත් කරගන්න. මාළු හොඳින් තැම්බෙන විට ඔබට හොඳ සුවඳක් දැනේ. දැන් ඔබ ළිප නිවා කොත්තමල්ලි කොළ ස්වල්පයක් හා කරපිංචා එක් කර දෙහි ස්වල්පයක් එක් කර සෙමෙන් කලවම් කර මාළු

කුඩු නොවන ලෙස පිළිගන්වන්න.

-------------------

මුං ඇට රසම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

මුං ඇට කෝප්ප 1යි

වතුර කෝප්ප 5යි

තෙල් ස්වල්පයක්

අබ

රතු ලූනු පෙති කිහිපයක්

ඉදුණු ලොකු තක්කාලි ගෙඩි 1ක්

කුරුඳු පොතු කෑලි 1ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

රස අනුව ලුණු හා දෙහි

 

සාදන ක්‍රමය

 

මුං ඇට තම්බා පොඩිකර ගන්න. තැම්බීමේදී ඉතිරි වූ ජලයත්, උණු වතුර ටිකකුත් දමා ලුණු පදමට දමා පසෙක තබන්න.

හට්ටියකට තෙල් ස්වල්පයක් දමා තෙම්පරාදුවට දමා ගන්න. බැදෙන විට තක්කාලි, ගම්මිරිස් කුඩු එකතුකර මුං ඇට මිශ්‍රණය ඊට දමා නැවත උණුකර දෙහි යුෂ ටිකක් දමා රස බලා ළිපෙන් බාගන්න.

-------------

කායම් හොද්ද (මිරිස් හොද්ද)

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ගොරක බික් 2 - 3ක්

ගම්මිරිස් ස්වල්පයක්

කොත්තමල්ලි

තේ හැඳි 2 - 3ක්

උළුහාල් මේස හැන්දක්

රතුලූනු ගෙඩි 10ක් පමණ

සුදුලූනු ගෙඩි 4 - 5ක්

සූදුරු ස්වල්පයක්

අමු මිරිස් කරල් 3 - 4ක්

වියළි මිරිස් කරල් 2 - 3ක්

ඉඟුරු කැබැල්ලක්

කුරුඳු කැබැල්ලක්

කරපිංචා ඉති 2 - 3ක්

මහදුරු ස්වල්පයක්

රස පදමට ලුණු

 

සාදන ක්‍රමය

මුලින්ම කොත්තමල්ලි, ගම්මිරිස්, උලුහාල්, සූදුරු, මහදුරු ඇතුළු සියලුම තුනපහ ජලය ස්වල්පයක් දමා අඹරා ගන්න.

මෙය මිරිස් ගලක අඹරා ගැනීමට හැකි නම් වඩාත් හොඳයි.

එයට ගොරකා හා මිරිස් ද එකතු කර නැවත අඹරන්න. අවසානයේ අමු මිරිස්, කරපිංචා, සුදුලූනු ද දමා කුරුඳු පොතු දමා නැවතත් අඹරන්න. දැන් මෙය තලපයක් සේ සකසාගෙන මැටි හට්ටියකට දමන්න. එයට රස පදමට ලුණු දමා ජලය යොදා කලවම් කරගන්න. මෙයට ජලය අඬුකෝප්ප 6ක් පමණ දැමීම ප්‍රමාණවත්ය.

දැන් මෙය ළිපේ තබන්න. හොද්ද තැම්බෙන විට නැවුම් සුවඳක් දැනෙයි. එවිට ළිපෙන් බාගෙන ලුණු පදම බලා උණු උණුවේම පිළිගන්වන්න.

----------------------

 

රසවත් මිශ්‍ර සුප් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

කරපිංචා

‍සුදුලූනු

රතුලූනු

හාල් පිටි නූඩ්ල්ස් ස්වල්පයක්

පැස්ටා ස්වල්පයක්

කහ පරිප්පු

ගම්මිරිස්‍, ලුණු

චිකන් ස්වල්පයක්

(කුඩාවට කපාගත්)

බටර්

එළවළු (අර්තාපල්, කැරට්,

බෝංචි,

වට්ටක්කා කෑලි ටිකක්)

මාමයිට්

 

 

සාදන ක්‍රමය

 

මුලින්ම භාජනයක් ගෙන එයට එළවළු ටික දමා ලුණු ස්වල්පයක් එක් කර ජලය දමා විනාඩි 10 - 15ක් පමණ තබන්න. එයටම රතු ලූනු, සුදු ලූනු, කරපිංචා ද දමන්න.

විනාඩි කිහිපයකට පසු එම ජලයෙන් ඉහත ද්‍රව්‍ය ඉවත්කර දිය බේරා ගන්න. දැන් එළවළු ටික කපා ගන්න.

මෙය බෝල් එකකට දමා නූඩ්ල්ස් ටික හා පැස්ටා ටික එකතු කරන්න. පරිප්පු හා චිකන් ද එයට එකතු කරන්න.

සියල්ල මිශ්‍ර කර එයට රස පදමට ගම්මිරිස් ස්වල්පයක් ද එක් කරගන්න.

ගැඹුරු භාජනයක් ගෙන තැම්බෙන්නට ප්‍රමාණවත් ලෙස ජලය එක්කර ගන්න. ඉන්පසු සකසා ගත් මිශ්‍රණය එයට දමා තම්බා ගන්න.

ඔබ පෙර කපාගත් කරපිංචා, සුදු ලූනු, රතුලූනු ටික බටර් ටිකක් දමා රන්වන් පැහැය වනතෙක් තෙම්පරාදුකර ගන්න. දැන් මෙය ද සුප් එකට එකතු කරන්න.

අවසානයේ සියල්ල තැම්බෙන්නට තබා මූඩියකින් වසන්න.

සුප් එකේ චිකන් ඇතුළු සියල්ල තැම්බීගෙන එන විට ලුණු පදමට එකතුකර ළිපෙන් බා ගන්න.

අවසානයේ දී මෙයට මාමයිට් ටිකක් ද එකතු කර කලවම් කර පිළිගන්වන්න