පේරාදෙණියේ කැම්පස් අවන්හල

පෙබරවාරි 12, 2024

 තුහීනයෙන් වැසී ගිය හන්තාන කඳු වැටිය තවමත් නිසලය....හිරිගඩු පිපෙන සීතල අතුරින් හමන මඳ සුළඟ තුරුණු නැවුම් සිතට හාදු දෙයි....

සරසවි වරම් ලබන බොහෝ දරුවන්ගේ සිහිනයක් තමයි පේරාදෙණිය සරසවිය. මේ සරසවියේ සුන්දරත්වය තවත් ඔපවත් කරන කටයුත්තක් ගැන පසුගියදා දැන ගන්නට ලැබුණා. ඒ ගැන තමයි මේ පුංචි සටහන,

රටේ ඕනෑම විශ්ව විද්‍යාලයක සිසුන් හොඳ වැඩක් කරනවා නම් ඒක හදවතින්ම අගය කරන්න ඕනෑ. මේකත් ඒ වගේ පේරාදෙණිය සරසවි සිසුන්ගේ වැඩක්.

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ම විශ්වවිද්‍යාලය තුළ පවත්වාගෙන යන අවන්හල The Kiosk Students for Students සංකල්පය අනුව මෑතකදී පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ ඉදිවූ, වෙනස්ම කැෆේ එකක්.

මෙහි වැදගත්කම තමා මේ කැෆේ එක පාලනය කරන්නෙ කෘෂිකර්ම පීඨයේ සිසුන් එයාලට ෆ්‍රී වෙලාවල්වල part time shiftsවලට වැඩ කරන්න පුළුවන්.

බොහෝම නිදහස් , සුවපහසු වටපිටාවක් තියෙන

ඕනෙම කෙනෙක්ට විවෘත කැෆේ එකක්්‍.

සාධාර මිල ගණන් යටතේ පිරිසුදු ආහාර, බීම වර්ග, අතුරුපස වර්ග, කේක්, අයිස් කොෆී,මොහිතෝ, ඩෝනට්ස්, සුප් ජාති, ක්‍රිස්පි චිකන් බර්ගර්,හොට්ඩෝග්, නූඩ්ල්ස් වගේ තව කෑම ජාති ගොඩක් තියෙනවා.

අමතක වුණා නේ..Vet faculty farm එකෙන් එදා උදේම දොවාගෙන එක fresh milkවලින් හදන රසම රස මිල්ක්ශේක් (Chocolate / strawberry ) එකකුත් තියෙනවා .

විශේෂත්වය තමයි වෙන තැන්වල වගේ ආහාර රස ගන්වන්න MSG (අජිනමොටෝ) වගේ කෘත්‍රිම රසකාරක මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ. ස්වභාවික රසකාරකවලින් තමා කෑමට රස එකතු කරන්නෙ.

එදිනෙදා අවශ්‍ය එළවළු ජාති නැවුම් පිට එදාම අරන් එනවා. කල් යව යව ෆ්‍රිජ්වල දාන පරණ වුණු එළවළු කිසිවක් යොදාගන්නෙ නෑ. ඒ නිසාම කෑම ජාති ගොඩක් ෆ්‍රෙෂ්.

Open kitchen එකක් තියෙන නිසා ඔයාගේ කෑම වේල හදන්නෙ කොහොමද කියලා ඇස් දෙකෙන්ම බලාගන්නත් පුළුවන්.

යාළුවො එක්ක, මවුපියෝ එක්ක, GF/BF එක්ක ඇවිත් නිදහසෙ කෑම කන්න, කතා කරන්න , වගේම යාළුවන්ගෙ birthday වලට, විශේෂ අවස්ථාවලදි ඇවිත් කේක් එකක් කපලා, පොඩි පාටියක් එහෙම දාලා, සින්දුවක් කියලා යන්නත් පුළුවන්.

මනස ටිකක් රිලැක්ස් කරගන්න, පාඩුවෙ පාඩම් වැඩක් කරගන්න හිතුණොත්, නිස්කලංක පරිසරයක් වගේම, free WIFI තියෙනවා.

මේ ලස්සන වටින සංකල්පය පේරාදෙණියේ සරසවි බිමට ගෙන එන්න මුල් වූයේ මේ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධීපති මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු මහතා සහ ආදී විද්‍යාර්ථයන්ගේ සංකල්පයක් අනුවයි.

මහාචාර්ය සරත් කොඩිතුවක්කු මහතා මේ සංකල්පය බිහි වූ අාකාරය අපට විස්තර කළේ හරිම සතුටින්. “කොරෝනා වංසගතය සමයේ සහ පසුගිය ආර්ථික අර්බුද පැවති කාලයේදී අපේ දරුවෝ විවිධ දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. ඉගෙනීමේ කටයුතු සඳහා මුදල් සොයාගැනීමේ අාර්ථික අපහසුතා ඇති වුණා. මෙවැනි අවස්ථාවක තමයි මේ සංකල්පය බිහි වුණේ. මෙහි සම්පූර්ණයෙන්ම පාලන කටයුතු සහ සේවය සපයන්නේ විශ්ව විද්‍යාල දරුවෝ. මේ කැෆටේරියා එක ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වුණේ මුදල් ඉපැයීමට වඩා පුළුල් අාකල්පයම වෙනසක් දරුවන් තුළ ඇති කිරීමයි. ඉගෙනීමේ කටයුතුවලට අමතරව කළමනාකරණය, ව්‍යාපාරික කුසලතා වර්ධනය හා සේවාදායකයාට හොඳ සේවයක් සැපයීම තුළින් ප්‍රායෝගික ජීවිත අවබෝධය ලබා ගැනීමට මෙය අවස්ථාවක් වේවි.

මෙහි දරුවන් 58 දෙනකුට වැඩි සංඛ්‍යාවකට රැකියා අවස්ථාව ලබාදෙන්න හැකි වුණා. ඊට අමතරව විවිධ සමාජ සද්කාරකයන් රාශියක් මෙයින් ලැබෙන මුදලින් අපි සිදුකරනවා. මෙය විදේශ රටවල ඉතා ජනප්‍රිය සංකල්පයක් වුණත් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට මෙය අලුත් අත්දැකීමක් වේවි. මේ සංකල්පය ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට ඉදිරියේදී එක්වෙයි කියලා මම හිතනවා.“

 

කෘෂිකර්ම පීඨයේ පීඨාධීපති මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු