අගය එකතු කළ පොල්කිරිවලින් රසය වැඩි ඉන්දියන් කෑමබීම

මාර්තු 24, 2025

අපේ ගෘහිණියන් සැබැම දක්ෂ නිර්මාණශිලී කාන්තාවන්ය. මේ දිනවල පවතින පොල් ගැටලුවට ඇය සාර්ථක විසඳුම් රැසක්ම සොයාගෙන තිබේ. පිටි කළ පොල්කිරි, පොල්කිරි පැකැට්, ක්‍රීම් කොකනට් වැනි දෙයට යොමුවීමට දැනුවත් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය ගත් උත්සාහයක ප්‍රතිඵලය ලෙසින් ඇය දැන් අගය එකතු කළ පොල්කිරි යොදා ගනිමින් විවිධ ආහාර වර්ග පිළියෙළ කරයි. ඔබට මෙවර තිළිණ කරන මේ කෑම බීම වට්ටෝරු වෙළෙඳ ලෙසින් අගය එකතු කළ පොල්කිරි යොදාගනිමින් සකස් කළ කෑම බීම වර්ග කිහිපයකි.

කොකනට් මිල්ක් පුලාඕ

 Coconut milk pulao

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී සහල් ග්‍රෑම් 500ක්

බී ලූනු ගෙඩි 2ක්

අමු මිරිස් කරල් 3ක්

ගිතෙල් මේස හැඳි 3ක්

වියළි කජු මද 10 – 12ක්

අඟලක පමණ කුරුඳු කැබැල්ලක්

එනසාල් 3 – 4ක්

බේ කොළ 2ක්

අඹරාගත් ඉඟුරු තේ හැඳි 1ක්

අඹරාගත් සුදුලූනු තේ හැඳි 1ක්

ඇසුරුම් කළ පොල් කිරි කෝප්ප 1 1/2ක්

කොත්තමල්ලි කොළ

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

බාස්මතී සහල් විනාඩි 30ක් පමණ පෙඟෙන්නට හරින්න. බී ලූනු පෙති කපාගන්න. අමුමිරිස් දෙකට මැදින් පළන්න.

භාජනයක් ලිප තබා රත් වූ පසු ගිතෙල් දමා එයට වියළි කජු එකතු කර රන්වන් පැහැය වනතෙක් බැදගන්න. එය ඉවත් කර එම භාජනයටම කුරුඳු, එනසාල්, බේ කොළ සහ කපාගත් බී ලුනු, අමු මිරිස් එකතු කර විනාඩි 2 – 3ක් පිසගන්න. දැන් එයට ඇසුරුම් කළ පොල්කිරි දමා හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් එයට පොඟවාගත් සහල් දමා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර පියනකින් වසා පිසගන්න. පිළිගැන්වීමට පෙර බැදගත් කජු සහ සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මිශ්‍ර කරන්න.

 

බනානා කොකනට් ස්මූති

 Banana coconut smoothie

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කළ පොල්කිරි කොප්ප 1ක්

ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්

කිතුල් හෝ පොල් පැණි මේස හැඳි 2ක්

කුරුඳු කුඩු ස්වල්පයක්

අයිස් කැට කිහිපයක්

කුඩාවට කපාගත් ස්ට්‍රෝබෙරි ජෙලි මේස හැඳි 3ක්

 

සාදන අයුරු

පිටි කළ පොල්කිරි, කෙසෙල් ගෙඩි, අයිස් කැට, පැණි දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න. වීදුරුවකට දමා පිළිගැන්වීමට පෙර ජෙලි කැබලි සහ කුරුඳු කුඩු ස්වල්පයක් ඉසගන්න.

 

ක්‍රීම් කොකනට් චිකන්

(Creamy coconut chicken)

 අවශ්‍ය ද්‍රව්‍ය

කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 500ක්

අඹරාගත් ඉඟුරු තේ හැඳි 1ක්

අඹරාගත් සුදුලූනු තේ හැඳි 1ක්

අබ ඇට තේ හැඳි 2ක්

බේ කොළ 2ක්

එනසාල් 3ක්

සිහින්ව කපාගත් වියළි මිරිස් කරල් 3ක්

සූදුරු තේ හැඳි 1ක්

බීලූනු ගෙඩි 1ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

කොත්තමල්ලි කුඩු තේ හැඳි 1ක්

ගරම් මසාලා ​තේ හැඳි 1ක්

අඹරාගත් අමු මිරිස් ​තේ හැඳි 1ක්

කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2ක්

පොල්තෙල් මේස හැඳි 3ක්

ඇසුරුම් කළ පොල්කිරි කොප්ප 1ක්

ජලය කොප්ප 1/2ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

කුකුළු මස් කපා සෝදාගන්න. භාජනයක් ලිප තබා තෙල් දමා රත් වූ පසු පිළිවෙළින් අබ ඇට, බේ කොළ, එනසාල්, වියළි මිරිස්, සුදුරු, බීලූනු, අමු මිරිස්, ඉඟුරු, සුදුලූනු, මිරිස් කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩු, ලුණු දමා ජලය ස්වල්පයක් එකතු කර පිසගන්න.

එයට කුකුළු මස් දමා විනාඩි 2ක් පමණ හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ඇසුරුම් කළ පොල්කිරි දමා අඩු ගින්දරේ පිසගන්න. ඉන්පසු ගරම් මසාලා සහ බේ කොළ එකතු කරන්න.

 

තක්කාලි පොල්කිරි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

තක්කාලි පියුරි කොප්ප 1ක්

ඇසුරුම් කළ පොල්කිරි

කෝප්ප 1ක්

මිරිස් කුඩු (කාශ්මීර්)

තේ හැඳි 1/2ක්

කහ කුඩු තේ හැඳි 1/4ක්

පෙරුම්කායම් තේ හැඳි 1/4ක්

සීනි තේ හැඳි 1ක්

කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 1ක්

ජලය කෝප්ප 3ක්

රස අනුව ලුණු

තෙල් මේස හැඳි 1ක්

පොල් ක්‍රීම් මේස හැඳි 2ක්

අබ ඇට තේ හැඳි 1ක්

 

සාදන අයුරු

භාජනයක් ලිප තබා පොල්තෙල් දමා රත් වූ පසු පිළිවෙළින් අබ ඇට, කහ කුඩු, පෙරුම්කායම් සහ කොත්තමල්ලි පියුරි එකතු කර විනාඩි 1ක් පමණ පිසගන්න.

දැන් එයට ඇසුරුම් කළ පොල්කිරි එකතු කර හොඳින් මිශ්‍ර කර, ජලය එකතු හොඳින් පිසගන්න. උතුරනවිටත් හැඳිගාමින් පදමට පිසගෙන රතු මිරිස් කුඩු එකතු කරන්න. රස අනුව සීනි සහ ලුණු දමා කොත්තමල්ලි කොළ සහ පොල් ක්‍රීම් මිශ්‍ර කර උණුසුම තිබියදීම පිළිගන්වන්න.

 

 

 

[email protected]