තිත්ත කරවිල රස කරලා කමු

මැයි 26, 2025

කරවිල තිත්ත වුණත් කරවිල කන්න ආස අය ගොඩක් ඉන්නවා. කරවිල ආහාරයට එක් කර ගැනීම මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා කියලා කියනවා. කරවිල කරල් වගේම කොළත් ආහාරයට එකතු කර ගන්න පුළුවන්.

 

කරවිල කරල් විවිධ ආකාරවලට ව්‍යංජනයක් ලෙස සකස් කර ගන්නත් හැකියි. පොල් කෑලි - කරවල දමා ඇඹුල් එකතු කර පොළොස් මාළුවක් වගේ තෙල් පෑදෙන්න හදන්න පුළුවන්. රතු පාටට හදන කරවිල කරි එක තිත්ත නෑ. ඒත් තිත්ත නැති වෙන්න හදන කරවිල ව්‍යංජනය ගුණ නැහැ කියලත් කියනවා. කොහොම වුණත් කරවිල විවිධ ආකාරවලට උයන්න පුළුවන්නේ. කරවිල කරල් මාළු උයනවා, ගැඹුරු තෙලේ බැදලා සම්බෝල හදනවා. මේ කියන්නේ තිත්ත නැතිව කරවිල මැල්ලුමක් හදාගන්න ලේසිම විදිහයි.

 

අවශ්‍ය දේවල්:-

 

තරමක ලොකු කරවිල කරලක්

හීනියට ගාගත් පොල් කෝප්පයක්

අමුතුනපහ කුඩු තේ හැන්දක්

උම්බලකඩ කෑලි මේස හැඳි දෙකක්

අමුමිරිස් කරලක්

බී ලූනු ගෙඩි භාගයක්

කරපිංචා ඉත්තක්

වියළි මිරිස් කරලක්

අබ තේ හැඳි භාගයක්

කහ ස්වල්පයක්

රස අනුව ලුණු

 

සාදාගන්න ආකාරය:-

 

01. කරවිල කරල සෝදාගෙන ග්‍රේටරයෙන් ගා ගන්න.

 

02. අමුමිරිස්, බී ලූනු පොඩියට කපාගන්න.

 

03. ඇතිලියකට ග්‍රේට් කර ගත් කරවිල ටික දාන්න. එයටම තුනපහ, කහ, උම්බලකඩ කෑලි ටිකකුත් දාන්න .

 

04. වතුර කෝප්ප කාලට ටිකක් අඩුවෙන් දාන්න. ග්‍රේට් කරපු කරවිලවලත් වතුර තියෙනවානෙ. ඒ නිසා ගොඩක් දාන්න එපා. මේ සියල්ලම කලවම් කරන්න.

 

05. දැන් හීනියට ගාගත් පොල් ටික උඩින් දාන්න.

 

 

06. ඇතිලියේ පියන වසා සාමාන්‍ය ගින්දරේ ළිපේ තියන්න.

 

07. මඳ වේලාවකට පසු පියන ඇර කූරු ගාන්න. කරවිල සමඟ පොල් මිශ්‍ර වෙන්න. තෙත ගතිය තියෙනවා නම් නැවතත් පියන වසන්න.

 

08. තෙත ගතිය හිඳී ගියාට පසුව ළිප නිවා වෙනත් බඳුනකට කරවිල මැල්ලුම දමා නැවත ඇතිලිය ළිපේ තියන්න.

 

09. තෙල් චුට්ටක් දාන්න. රත් වේ‍ෙගන එන විට අබ දාන්න. අබ පුපුරද්දි ලූනු දමා ටිකක් බැදෙන්න හරින්න. ඉන්පසු අමුමිරිස්, කරපිංචා දාන්න. වියළි මිරිස් කරල කෑලි කඩා දාන්න. කලවම් කරන්න.

 

10. සියල්ලම තෙම්පරාදු වුණාට පසු කරවිල මැල්ලුම දමා හොඳින් කලවම් කරන්න. මඳ වේලාවකින් ළිපෙන් බාන්න.

උපදෙස්

සූපවේදීනී

සර්වදර්ශනී අප්සරා