වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
සතුටු මල් පිපෙන වසන්තයේ රස කෑම මේසයක්

වසන්තය ළඟ ළඟම එනවා. කාලයකට සැරයක් මල් පිපෙන, ගස්වල මල් පිපෙන්න ගත්තම, අතු ඉති පුරා ලස්සන මල් පොකුරු පිටින් පිපෙනවා. ඒ මල් ගහක් ළඟින් යද්දී පවා පුදුම ආකර්ෂණයක් හිතට දැනෙනවා. ගහකොළ මලින්, පලින් බර වී යන අසිරිය මේ කියන්නේ වසන්තය අත ළඟ බවයි. මේ සතුටු මල් ජීවිතේ පුරා පිපෙන්න ළඟ ඉන්න නෑ හිත මිතුරන්ට අවුරුදු කෑම සංග්‍රහයක් දෙමුද? මෙන්න ඒ සඳහා තරුණී අපෙත් අත්වැලක්.
ෆ්‍රෙෂ් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
කොටුවට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1ක්
සලාද කොළ
කොටුවට කපාගත් තක්කාලි
කොටුවට කපාගත් කොළ ඇපල් ටිකක්
කොටුවට කපාගත් අන්නාසි ගෙඩි 1ක්
ලුණු (රස පදමට)
ගම්මිරිස්කුඩු
දෙහි යුෂ මේස හැඳි 3ක්
සීනි තේ හැන්දක්
වර්ජින් ඔලිව් තෙල් තේ හැන්දක්
සලාද කොළ
සාදන ක්‍රමය -
01. දෙහි, ඔලිව් තෙල්, රස අනුව ලුණු, සීනි සහ ගම්මිරිස්කුඩු
එකට එකතු කරන් ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න.
02. ඇපල් කපා අයිස් වතුරේ දමා වතුර බේරාගන්න.
03. එළවළු පළතුරු සියල්ල එකට මිශ්‍ර කර සාදාගත් සැලඩ් ඩ්‍රසින් එක උඩින් දමා මිශ්‍ර කර සලාද කොළ අතුරා ප්ලේට් එකක පිළිගන්වන්න.
ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස්
අවශ්‍ය දේවල්:
බත් කප් 2ක් (පමණට ලුණු දමා තම්බාගත්)
ඉස්සන් ග්‍රෑම් 200ක් (පිරිසුදු කර ලුණු සහ ගම්මිරිස් තැවරූ)
කැරට් කප් 1ක් (සිහින්ව දිගට කූරු කපාගත්)
ලීක්ස් කප් 1/2ක් (රවුමට කපාගත්)
සුදුලූනු මේස හැන්දක් (තළාගත්)
ලූනු කප් 1/4 (පෙති කපාගත්)
බිත්තර 1ක් (බීට් කරගත්)
ලුණු තේ හැන්දක්
ගම්මිරිස් තේ හැඳි 1/2ක්
කෑලි මිරිස් හැන්ඳක්
තෙල් කප් 1/4ක්
සාදාගන්නා ආකාරය:
01. සාස්පානක් (පෑන් එකක්) ලිප තබා තෙල් එක්කරන්න.
02. එයට ඉස්සන් එකතුකර හොඳින් දෙපසම බැඳගන්න. බැඳුණු ඉස්සන් පිඟානකට ඉවත් කරගන්න.නැවත්තන් එම සාස්පානම ලිප තබා, එයට සුදුලූනු එකතු කරන්න.
03. සුදුලූනු විනාඩියක් පමණ බැදෙන විට ලූනු එකතුකර තවත් විනාඩියක් බැඳගන්න.
04. එයට බීට් කරගත් බිත්තරය එකතුකර ස්ක්‍රැම්බල් කරගන්න. ස්ක්‍රැම්බල් කළ බිත්තරය ලූනු හා සුදුලූනුවලට එකතුකර කළවම් කරගන්න.
05. කැරට්, ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් එකතු කර කළවම් කර විනාඩි 2,3ක් තෙම්පරාදු කරගන්න.
06. එයට ලීක්ස් එකතු කර කළවම් කරගන්න.
07. බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5ක් පමණ හොඳින් බත බැදගන්න.
08. අවසානයේ බැදගත් ඉස්සන් එකතු කර ළිපෙන් ඉවත්කරගන්න.
සිංහල අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය -
රතුලූණු
සුදුලූණු
ඉඟුරු
අමු ගස්ලබු
කැරට්
අමු මිරිස්
ගම්මිරිස්
ලුණු තේ හැඳි රස පදමට
විනාකිරි
අබ
මුරුංගා පොත්තක්
සීනි මේස හැඳි රස පදමට
සාදන ආකාරය -
01. අබ මේස හැඳි 2ක් පමණ විනාකිරි කෝප්ප බාගයක පෙඟෙන්න දාන්න. (පැයක් වත් පෙඟෙන්න තිබ්බේ නැත්නම් අච්චාරුවල තිත්ත රසක් එනවා.)
02. ගස්ලබු දිග තීරු කපා කහ සහ ලුණු අතගාල පැත්තකින් තියන්න.
03. මිරිස් කරල්, රතුලූණු, කැරට් දිග තීරු ගස්ලබු තීරු කපා කපු රෙද්දකට දමා හොඳින් මිරිකා වතුර ඉවත් කර ගන්න.
04. මේ විදිහට වතුර ඉවත්කර ගත් විට වැඩි කාලයක් නරක් නොවී තියා ගන්න පුළුවන්.
05. විනාකිරි පෙඟෙන්න දමා පැයකට පසු කහ, සුදු ලූනු, ඉඟුරු, ගම්මිරිස්, ලුණු, මුරුංගා පොත්ත සමඟ අබ විනාකිරි මිශ්‍රණය එකට අඹරා ගන්න.
06.මේ සියල්ල මැටි ඇතිලියකට දමා නැවත විනාකිරි හා අබ මිශ්‍ර කර එළවළුද දමා ගන්න.
හත්මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා දලු ග්‍රෑම් 100 ක්
අළු කෙසෙල් ගෙඩි 2 ක්
හෝ 3 ක්
කජු ග්‍රෑම් 100 ක් (අමු කජු නම්
වඩාත් හොඳයි)
මෑකරල් හෝ බෝංචි
ග්‍රෑම් 50 ක්
කොස් ඇට කිහිපයක්
රටල අල කිහිපයක් නැතිනම්
අර්තාපල් ගෙඩියක්
වම්බටු කරලක් හෝ දෙකක්
තුනපහ කුඩු මේස හැඳි එකක්
මිරිස් කුඩු මේස හැඳි දෙකක්
කහ ස්වල්පයක්
රතුලූනු ගෙඩි කිහිපයක්
අමු මිරිස් කරල් 3 ක්
රම්පේ, කරපිංචා
මිටිකිරි අඬුකෝප්ප දෙකක්
රස අනුව ලුණු
පොල්තෙල් ස්වල්පයක්
සාදන අාකාරය-
01. කොස් ඇට පොතු හැර තළා හෝ සිහින්ව කපාගන්න.
රටල හෝ අර්තාපල් ගෙඩියද පොතුහැර කපාගන්න.
02. කපාගත් කොස් ඇට, අල හෝ රටල, කජු බඳුනකට දමා තරමක් තැම්බෙන්නට හරින්න.
03. මෑ කරල්, වම්බටු, අළු කෙසෙල්, වට්ටක්කා දලු ආදී එළවළු සියල්ල සෝදා තරමක කැබලි කපාගන්න.
04. පිරිසුදු මැටි බඳුනක් ළිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් දමන්න.
තෙල් රත්වීගෙන එන විට එයට රම්පේ, කරපිංචා, සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස් ආදිය දමන්න.
05. ඒවා බැදීගෙන එන විට කපාගත් එළවළු සහ මඳක් තම්බාගත් කොස් ඇට, රටල සහ කජු ටිකද දමන්න.
06. මිරිස් කුඩු, කහ, තුනපහ සහ රස අනුව ලුණු ද එකතු කරන්න.
ඉන්පසු මිටිකිරි ද මේ ව්‍යංජනයට දමා ඉස්ම හිඳෙනතෙක් මඳ ගින්දරේ පිසගන්න.
කජු කංකුන් ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
වියළි කජු ග්‍රෑම් 250ක්
කංකුන් මිටියක්
කපාගත් ලූනු ටිකක්
වියළි මිරිස් කරල් 2ක්
ඔයිස්ටර් සෝස් මේස හැඳි 03ක්
සෝයා සෝස් මේස හැඳි 02ක්
තක්කාලි සෝස් මේස හැඳි 02ක්
ලුණු (රස අනුව)
කෑලි මිරිස්
තළාගත් ඉඟුරු
තලාගත් සුදුලූනු මේස හැඳි 4ක්
සාදන ක්‍රමය -
01. කංකුන් ටික කපන්නෙ නැතුව අතින් කඩලා, හොඳට සෝදල වතුර බේරෙන්න තියන්න.
02. කංකුන් ටික ක්‍රිස්පි ගතියට එනකම් ගැඹුරු තෙලේ බැදගන්න. කජු සහ ලූනු ටිකත් වෙනම බැදගන්න.
03. වෙන භාජනයක් ළිපේ තබා එයට තෙල් මේස හැන්දක් දමා ඉඟුරු, සුදුලූනු සහ කපාගත්ත වියළි මිරිස් කරල් එකතු කරන්න.
04. සුදුලූනු රන්වන් පාට වෙනකම් බැදගෙන එයට සෝස් වර්ග තුන සහ කෑලිමිරිස් එකතු කරහොඳට මිශ්‍ර කරගන්න.
05. පිළිගන්වන්න ටිකකට කලින් මේ මිශ්‍රණයට කජු සහ බැදගත් කන්කුන් එකතුකර කළවම් කරගන්න.
උපදෙස් ප්‍රවීණ සූපවේදිනී
සුනේත්‍රා ඒකනායක