වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අවුරුදු කෑමේ සැර බස්ස ගනිමු

මේ ආහාර පෙළ ලාංකේය ගැමියන්ට රස බොජුනකි. එහෙත් ගමේ ගොඩේ ඔහේ හැදෙන නිසාවෙන් වැඩි දෙනෙක් මෙම ආහාර බත් පතට එකතුකර ගැනීමට මැළිකමක්, ලැජ්ජාවක් දක්වනවා. තන්තු, යකඩ, සින්ක් වගේම විටමින් රැසක් අඩංගු මේවා ඔබේ ශරීර සෞඛ්‍යයට ද ඉතා හිතකරයි. පසුගිය අවුරුදු සමයේ වැඩිපුර තෙල් හා පිටි සහිත ආහාර රසවිඳි ඔබට මේ ගෙන එන්නේ නීරෝගි සම්පත්තිය ලැබිය හැකි ආහාර පෙළකි. මේ සියල්ලක්ම ඉතා අඩු මුදලකින් වැඩි රසයක් එකතුකර ගත හැකි කෑම වට්ටෝරු වීම තවත් විශේෂත්වයකි.
කෙසෙල්මුහ බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය :-
කෙහෙල් මුව 01ක්
ලොකු ලූනු ගෙඩි 01ක්
අමුමිරිස් කරල් 3-4ක්
රම්පේ, කරපිංචා උළුහාල් ස්වල්පයක්
තළාගත් සුදුලූනු
බික් 4-5ක්
තුනපහ කුඩු ස්වල්පයක්
මිරිස් කුඩු (රස අනුව)
දියකිරි කෝප්ප 01ක්
මිටිකිරි කෝප්ප 01ක්
තෙල් ටිකක්
බැටරය සඳහා:-
පාන් පිටි ග්‍රෑම් 100ක්
කඩල පිටි මේස හැඳි 04ක්
ලුණු (රස අනුව)
වතුර
සාදන ක්‍රමය:-
01. කෙසෙල්මුහයේ වටේ ඇති මේරූ කොළ ඉවත්කර රවුම් හැඩයට පෙති කපන්න. මේවා වෙන්වීම වළක්වා ගැනීමට ඉරටු කැබැල්ලක් හරහට ගසන්න.
02. මෙම පෙති ලුණු මිශ්‍ර වතුරේ දමා කහට ගතිය නැතිවන ලෙස සෝදා ගන්න.
03. පිටි, කඩල පිටි, ලුණු එකට මිශ්‍රකර උකු බැටරයක් සාදා කපාගත් කෙසෙල්මුහ පෙති බැටරයේ ගිල්වා ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත් කෙසෙල්මුහ පෙති පසෙකින් තබන්න.
04. වෙනත් බඳුනකට තෙල් ටිකක් දමා ළිප මත තබා රත් වූ පසු එයට ලියාගත් ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, සුදුලූනු, උළුහාල් දමා තෙම්පරාදු කරන්න. එයටම දියකිරි හා ලුණු එකතු කරන්න.
05. අනතුරුව තුනපහ, මිරිස් කුඩු කහ කුඩු දමා බැදගත් කෙසෙල්මුහ පෙති එකතු කරන්න.
06. ඉන්පසු මිටිකිරි ටික එක්කර උතුරන්නට හැර ළිපෙන් බාන්න.
-----------------------
අසමෝදගම් කොළ සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය:-
අසමෝදගම් කොළ මිටියක්
රතුලූනු ගෙඩි කිහිපයක්
උම්බලකඩ ටිකක්
අමුමිරිස් කරල් 2-3ක්
ගා ගත් පොල් ටිකක්
ලුණු (රස අනුව)
දෙහි ගෙඩියක යුෂ
සාදන ක්‍රමය:-
01. අසමෝදගම් කොළ සෝදා වතුර බේරෙන්නට හැර සිහින්ව ලියාගන්න.
02. ලූනු, අමුමිරිස් සිහින්ව ලියා බඳුනකට දමන්න.
03. එම බඳුනටම ගාගත් පොල් උම්බලකඩ ලුණු හා දෙහි යුෂ එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
04. දැන් මෙම මිශ්‍රණයට සිහින්ව ලියාගත් අසමෝදගම් කොළ එක්කර කලවම් කරගෙන කෑම මේසෙට යවන්න
-----------------------------
පුරවාගත් කරවිල
අවශ්‍ය ද්‍රව්‍ය -
කරවිල ගෙඩි 5ක්
ගා ගත් පොල් මේස හැඳි 2ක්
ලොකු ලූනු ගෙඩි 2ක් (සිහින්ව කපාගන්න)
වියළි මිරිස් කරල් 5ක්
කහ කුඩු ස්වල්පයක් රස අනුව ලුණු
කඩල පරිප්පු මේස හැඳි 1/2ක්
සුදු ලූනු බික් 6-8ක්
තෙල් (අවශ්‍ය පමණ)
සාදන ක්‍රමය:-
01.කරවිල ගෙඩි සෝදා දෙපැත්ත කපා ඉවත්කර රළු කඩතොලු ඉවත් වීමට සූරා ගන්න.
02. එක් පැත්තකින් පළා ඇට ඉවත් කර ලුණු දමා කලවම් කර විනාඩි 7-8ක් පසෙකින් තබන්න. සූරාගත් කරවිල කඩතොලු කොටස්ද දමන්න.
03. දැන් කරවිල ගෙඩි බැද ගැනීමට සූදානම් වෙන්න. ඒ සඳහා බඳුනක් ළිප තබා තෙල් මේස හැඳි 2ක් දමා රත් කරගන්න.
04. පියනකින් වසා බැදගන්න. ඒවා පැත්ත හරවමින් බැදගත යුතුයි. බැදුණු පසු පිටතට ගෙන පසෙකින් තබන්න.
05. වෙනත් බඳුනක් ළිප තබා එයට තෙල් තේ හැන්දක් දමන්න. එය රත්වෙන විට කැබලි කඩා ගත් වියළි මිරිස්, කඩල පරිප්පු, ගාගත් පොල්, සුදුලූනු දමා බැඳ පිටතට ගෙන අඹරා ගන්න.
06. එම බඳුනටම තෙල් තේ හැඳි 02ක් දමා ලූනු දමා රන්වන් පැහැවන තුරු බැද ගන්න. කරවිල කඩතොලු කොටස්ද දමා බැදගන්න.
07.එයට ඉහත අඹරා ගත් මිශ්‍රණය එකතුකර ලුණු සහ කහ කුඩු එක්කර විනාඩි 02ක් බැඳ ළිපෙන් පිටතට ගන්න.
08. තක්කාලි තීරු කපා එක්කර ලූනු ද තීරු කපා එක් කරගන්න. අමු මිරිස් ද සිහින්ව ලියා එකතු කරගන්න. එයට ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව දමන්න. දෙහි යුෂ වැඩිපුර දමා කලවම් කර ආහාරයට ගන්න.
-----------------------
කොහිල අල කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය:-
නොමේරූ කොහිල අලයක්
අර්තාපල් ග්‍රෑම් 250ක්
අමුමිරිස් කරල්
03-04ක්
බී ලූනු ගෙඩියක්
කරපිංචා ඉත්තක්
රස පදමට ලුණු
පාන් කුඩු (අවශ්‍ය පමණ)
පොල්තෙල් (අවශ්‍ය පමණ)
සාදන ක්‍රමය:-
01. කොහිල අලයේ පොත්ත ඉවත්කර සිහින්ව ලියාගන්න.
02. එය ලුණු වතුරින් මිරිකා බ්ලෙන්ඩරයේ හෝ මිරිස් ගලක ආධාරයෙන් අඹරා ගන්න.
03. අර්තාපල් තම්බා පොතුහැර පොඩි කරගන්න.
04. අමුමිරිස්, බී ලූනු, කරපිංචා ආදිය සියල්ලම එකට මිශ්‍රකර ගන්න.
05. අඹරාගත් කොහිල, පොඩි කළ අර්තාපල් සහ සිහින්ව ලියාගත් අමු මිරිස්, ලූනු, කරපිංචා සහ ලුණු ආදිය සියල්ලම එකට මිශ්‍රකර හොඳින් අනාගන්න.
06. ඉන්පසුව එයින් තරමක බෝල සාදා බිත්තර සාරුවල තවරා අනතුරුව පාන් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
උපදෙස් ප්‍රවීණ සූපවේදිනී
සුනේත්‍රා ඒකනායක