පිකල් ව්‍යාපාරයක් පටන් ගනිමුද?

පෙබරවාරි 17, 2025

කැරට් පිකල්

 

අවශ්‍ය ද්‍රව්‍ය:

කපාගත් කැරට් කෝප්ප 1ක්

තෙල් මේස හැඳි 1ක්

තළාගත් ඉඟුරු තේ හැඳි 2ක්

අබ ස්වල්පයක්

වියළි මිරිස් කරල් 2ක්

කරපිංචා

මිරිස්කුඩු තේ හැඳි 2ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

අබ කුඩු තේ හැඳි 1/2ක්

ලුණු

විනාකිරි මේස හැඳි 2ක්

දෙහි ඉස්ම ටිකක්

 

සාදන ක්‍රමය -

01. පෑන් එකට තෙල් ටිකක් දමා රත්වෙනකොට ඉඟුරු ටික දාගන්න. කැරට් ටික දමා විනාඩියක් විතර බැදගෙන ළිපෙන් බාගන්න.

02. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික දාලා පුපුරනකොට කෑලි කඩාගත් වියළි මිරිස් කරල්, කරපිංචා, මිරිස්කුඩු, කහකුඩු, අබ කුඩු සහ රස අනුව ලුණු එකතු කරගන්න.

03. හොඳට කලවම් කර ළිපෙන් බාගන්න. ඒකට විනාකිරි හා දෙහි යුෂ එකතු කරගන්න. කලින් ෆ්‍රයි කරගත් කැරට් සහ ඉඟුරු ටික එකතු කරලා කලවම් කරගන්න. නිවුණම බෝතල් කර දවස් දෙකකින් කෑමට ගන්න.

 

*************************

බීට්රූට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය

බීට් රූට් ගෙඩි 4ක්

අමුමිරිස් කරල් 4ක්

රතුලූනු ගෙඩි 4ක්

ඉඟුරු, සුදුලූනු පේස්ට් තේ හැඳි 1ක්

අඹරාගත් අබ ස්වල්පයක්

විනාකිරි කෝප්ප 1ක්

එනසාල්, කරාබු නැටි කිහිපයක්

සීනි කෝප්ප 1/2ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

මිරිස්කුඩු තේ හැඳි 1/2ක්

ලුණු

 

සාදන ක්‍රමය

01. බීට්රූට් ටික මහතට තීරු කපාගන්න. මැටි භාජනයක් ළිපේ තබා විනාකිරි දාගන්න.

02. විනාකිරි රත්වෙනකොට අඹරාගත් අබ, ඉඟුරු, සුදුලූනු පේස්ට් එක, එනසාල්, කරාබු නැටි දාගන්න.

03. මිරිස්කුඩු, කහකුඩු එක්ක රස අනුව ලුණු සහ සීනි ටිකත් දාලා කලවම් කර සීනි දියවෙනකල් හැඳිගාන්න.

04. බීට්රූට්, රතුලූනු හා අමුමිරිස් ටික දාගන්න.

විනාකිරි හිඳීගෙන එනකොටම ළිපෙන් බාගන්න. නිවුණම හට්ටිය හොඳින් වහල තියල දවස් තුනකින් රස බලන්න.

 

***********************

 පිපිඤ්ඤා පිකල්

 

අවශ්‍ය ද්‍රව්‍ය:

මහත පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 3ක්

කැට ලුණු

විනාකිරි කෝප්ප 1ක්

සීනි කෝප්ප 2ක්

වතුර කෝප්ප 3ක්

කපාගත් අමුමිරිස් කරල් කීපයක්

සුදුලූනු බික් 3-4ක්

ගම්මිරිස් ඇට ටිකක්

එනසාල් ඇට 3ක්

 

සාදා ගැනීම

 

01. මැටි භාජනයකට වතුර, සීනි, විනාකිරි දාලා උතුරව ගන්න. ඉතිරුවාම ළිපෙන් බාගන්න.

02. පිපිඤ්ඤාවලට ලුණු කැට දමා විනාඩි 10ක් වගේ තියෙන්න හැර කලවම් කරගන්න.

03. බෝතලයකට සුදුලූනු, මිරිස් දමා එනසාල් සහ ගම්මිරිස් ඇට ටිකක් දාගන්න.

04. පිපිඤ්ඤා ටිකත් බෝතලයට දමා උඩින් ආයෙම ගම්මිරිස් ඇට දමා විනාකිරි මිශ්‍රණය එකතු කර බෝතලය වහන්න. දවස් 2කින් කෑමට ගන්න.

*******************

රාබු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය:-

ලියාගත් රාබු ග්‍රෑම් 250ක්

අමුමිරිස් කරල් 4-5ක්

විනාකිරි කෝප්ප 1ක්

අඹරාගත් ඉඟුරු, සුදුලූනු

අඹරාගත් අබ ස්වල්පයක්

රතුලූනු ගෙඩි 8-10ක්

එනසාල් ඇට 2ක්

වතුර කෝප්ප 1ක්

ලුණු තේ හැඳි 1ක්

සුදු සීනි කෝප්ප 1ක්

 

සාදා ගැනීම -

01. මැටි භාජනයකට වතුර දමා විනාකිරි, සීනි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්න.

02. භාජනේ ළිපේ තියල මඳ ගින්දරේ රත් කරගන්න. සීනි ටික දියවෙනකල් රත් කරගන්න.

03. හොඳට උතුරනකොට අඹරාගත් අබ සහ ඉඟුරු, සුදුලූනු දාලා අමුමිරිස්, එනසාල් හා රතුලූනු ටිකත් දාගන්න.

04. හොඳට විනාකිරෙන් තැම්බුණාම රාබු ටිකත් එකතු කරගන්න. තෙත ගතිය හොඳටම හිඳෙනකම් ළිපේ තියාගෙන ජීවාණුහරණය කළ බෝතල්වල

අසුරාගන්න.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

සුනේත්‍රා ඒකනායක

[email protected]