අලුත් අවුරුද්දට අවුරුදු කෑම වේලක්

ජනවාරි 1, 2024

නව වසරක් උදා වෙනවා. ඒ නිසාම මම හිතුවා අලුත් අවුරුද්දෙ මගේ හොඳම යාළුවගේ පවුලේ අයට පුංචි කෑම වේලකින් සංග්‍රහ කරන්න.

එයාට පුංචි බබාලා දෙන්නෙකුත් ඉන්න නිසා එයාලටත් ගැළපෙන විදිහටයි මේ කෑම වේල සකසන්න හිතුවේ. එයාගේ සැමියයි මගේ සැමියයිත් ගජ මිතුරෝ. ඒ දෙන්නාගේ මිත්‍රත්වය වැඩි වුණෙත් මගෙයි සකුන්තලාගෙයි මිත්‍රත්වය නිසයි. ඉතින් පවුල් දෙකේ මිත්‍රත්වය තව තවත් වැඩි වෙන්න කියලා හිතාගෙන මගේ අතින්ම අවුරුදු කෑම වේල හදන්න හිතුවා.

එයාලා එන්නෙ දහවල් 11ට 12ට වාගේ නිසා මම හිතුවා ආපු ගමන්ම එයාලට මොහිතෝ එකකින් සංග්‍රහ කරන්න ඕනේ කියලා. මධ්‍යහ්නය කියන්නේ ටිකක් උණුසුම් වෙලාවක්නේ. ඒ වෙලාවට මොහිතෝ (Mojito) එකක් හොඳටම ගැළපෙනවා.

ඊට පස්සේ චිකන් ක්‍රීම් සුප් එකකින් දහවල් කෑම වේලට ආරම්භයක් දෙන්න හිතුවා. දහවල් කෑමට බිරියානි එකකුත් හදලා වයිට් සෝස් පැස්ටා එකකුත් හදන්නයි මම හිතුවේ. වයිට් සෝස් පැස්ටා කන්න පොඩි අයත් ගොඩක් කැමැතියිනේ.

හදමු ද රසම රස ලෙමන් මොහිතෝ එකක්

මේ මොහිතෝ එක හදන්න මින්චි කොළ ස්වල්පයක්, ලුණු තේ හැඳි 1/2ක්, සීනි තේ හැඳි 1ක්, දෙහි ගෙඩියක්, අයිස් කියුබ් සහ ස්ප්‍රයිට් මිලිලීටර් 250ක් අවශ්‍ය යි.

මුලින්ම අපි දෙහි ගෙඩිය සිහින් පෙතිවලට කපාගන්න ඕනෙ. ඉන්පසුව එම දෙහි පෙති ටික කෝප්පයකට දාලා අපි කලින් ලෑස්ති කරගත් මින්චි කොළ, ලුණු සහ සීනී ටික එම කෝප්පයටම දාගෙන දෙහි යුෂ එන තෙක් තළාගන්න. මතක තියා ගන්න ගොඩාක් තළන්න එපා. පැඟිරි රස වැඩි වුණොත් ඇඹුල් මිශ්‍ර තිත්ත ගතියක් එන්න පුළුවන්.

 

ඊට පස්සෙ අයිස් කියුබ් ටිකක් දාලා ස්ප්‍රයිට් ටික දාලා ඇතුලේ තියෙන සියලුම දේවල් ටික ස්ප්‍රයිට් ටිකත් එක්ක කලවම් වෙන විදියට හැන්දක් භාවිතයෙන් පොඩ්ඩක් කලවම් කරගන්න. මේ විදිහට හදාගත්ත මොහිතෝ එක පිළිගන්වන්න කළින් ලස්සන කරගන්නත් ඕනේ. ඒකට සීනි පොඩ්ඩක් තවරගත්තු දෙහි පෙත්තක් කෝප්පයේ කටින් රඳවගන්න. අවශ්‍ය නම් පොඩි මින්චි දල්ලකුත් උඩින් තියාගන්න. දැන් හරිම ලස්සනයි වගේම හරිම රස බීමක්. රස බලන්න කලින් ඇස පිනවීමයි වැදගත්. දැන් ඉතින් රස කර කර බොන්නයි තියෙන්නෙ.

 

ක්‍රීම් චිකන් සුප්

 

මේ රසවත් සුප් එක රයිස් කුකර් එකේ වුණත් හදන්න පුළුවන්. ස්ටාටර් එකක් විදිහට මේ සුප් එක යොදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රාත්‍රී ආහාරයට නම් මේ සුප් එක විතරක් හොඳටෝම ඇති .

 

මේ සුප් එක හදන්න කුකුළු මස් ග්‍රෑම් 300ක්, කැරට් ග්‍රෑම් 100ක්, ලීක්ස් ග්රෑිම් 100ක්, ලූනූ ගෙඩියක්, බ්‍රොකලි ග්‍රෑම් 100ක් එකතු කරන්න පුළුවන්. මේ සමහර එළවළු වර්ග නැතිනම් වෙනත් කැමැති එළවළු වර්ගයක් වුණත් එකතුකර ගන්න පුළුවන්.

ඒ වගේම සුදුලූනු බික් 6ක්, පාන් පිටි මේස හැඳි 3ක්, වතුර කෝප්ප 3 1/2ක්, කිරි කෝප්ප 3/4ක්, ගම්මිරිස්, ලුණු කුඩු, බටර් ස්වල්පයක්, තෙල් මේස හැඳි 1ක් සහ ගාලික් පවුඩර් තේ හැන්දක් වගේ අවශ්‍යයි. හැබැයි ගාලික් පවුඩර් අවශ්‍යම නැහැ.

 

මුලින්ම කැරට් කොටු කපා ගන්න. ලීක්ස් පොඩියට සිහින්ව කපන්න. බීලූනු හා සුදුලූනුත් පොඩියට කපන්න.

දැන් කුකුළු මස් ටිකට වතුර එකතුකර එයට ලීක්ස් ටිකක්, තළාගත් සුදුලූනු බික් 2ක්, ලුණු කුඩු, බීලූනු ගෙඩි 1 /2ක් එකතුකර තම්බා ගන්න. උඩින් පෙණ අයින් කරන්න . හොඳ සුවඳක් එයි. දැන් මේ ස්ටොක් එක පෙරා ගන්න.

 

භාජනයකට බටර් හා තෙල් එකතුකර පොඩ්ඩක් රත් වුණාම ඉතුරු බීලූනු හා සුදුලූනු එකතු කරන්න. හැබැයි කරවෙන්න නම් දෙන්න එපා.

මෙයට කැරට්, ලීක්ස්, තියෙනවා නම් බ්‍රොකලි දමා ටිකක් තම්බාගෙන එයට පාන් පිටි එකතුකර කලවම් කරන්න.

දැන් ස්ටොක් එක එකතු කරන්න. නැවත කලවම් කරන්න. කොටු කපා ගත් කුකුළුමස් කෑලි එකතු කරන්න .

ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න. හොඳින් හැඳි ගාන්න. තියෙනවා නම් ගාලික් පවුඩර් එකතු කරන්න.

අන්තිමට රස අනූව ලුණු හා ගම්මිරිස් එකතු කරන්න.

මේ සුප් එක උකු වෙනවා.

පිළිගැන්වීමේදී උඩින් කපා ගත් සැල්දිරි කොළ ටිකක් දාන්න. සැල්දිරි නැත්නම් ලීක්ස් කොළ ටිකක් පොඩියට කපලා දාන්න .

උණුවෙන්ම ආහාරයට එකතුකර ගන්න. හරිම රස සුප් එකක්

 

හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි

මේ හයිද්‍රාබාද් බිරියානි එක හදන්න හරිම පහසුයි. මං මේ කෑම වේලට මේ බිරියානි එකම තෝර ගත්තේ සකුන්තලා කන්න කැමතිම හයිද්‍රාබාද් බිරියානි නිසායි.

 

මේක හදද්දි මුලින්ම චිකන් ටික මැරිනේට් කරගන්න ඕනේ.

ඒකට කපාගත් කුකුළු මස් ග්‍රෑම් 500ක්, ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 2ක්, මිරිස්කුඩු තේහැඳි 2ක්, කොත්තමල්ලි කුඩු තේ හැඳි 1ක්, සූදුරු කුඩු තේහැඳි 1/2ක් ගරම් මසාල තේ හැඳි 1ක්, කහකුඩු තේ හැඳි 1/4ක් තෙල් මේස හැඳි 3ක්, ගී ඔයිල් මේසහැඳි 1ක්, ලෙමන් බෑයක යුෂ, තළාගත් අමුමිරිස් කරල් 2ක්, තළාගත් මිංචි කොළ ස්වල්පයක්, තළාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්, මීකිරි මේස හැඳි 4ක්, ලියාගත් ලූනූ ගෙඩි 2ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 

දැන් අපි බලමු බිරියානි එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. රසට තියෙන්න ඕනෙ නිසා කිසිම අමුද්‍රව්‍යයක් අඩු නැතුව මේ බිරියානි එක හදන්නයි මම හිතුවේ. ඒකට බාස්මතී හාල් කෝප්ප 2ක්, බේ ලීෆ් කොළයක්, කරදමුංගු ඇට 2ක්, සාදික්කා ඇට 1ක්, කරාඹුනැටි 5ක්, කුරුඳුපොතු කෑලි 2ක්, ලුණු ස්වල්පයක්, තෙල් මේසහැඳි 2ක්, සිහින්ව ලියාගත් මිංචි කොළ ස්වල්පයක්, සැෆ්රන් කිරි කෝප්ප 1/4ක් සහ ගී ඔයිල් මේස හැඳි 1ක් අවශ්‍යයි. සැෆ්රන් අවශ්‍යම නැහැ. මොකද සැෆ්රන් හොයාගන්නත් අමාරුයි. මිලෙනුත් වැඩියි. ඒ වෙනුවට පොල් කිරි ටිකකට කහ ස්වල්පයක් මිශ්‍ර කරලා ගන්න.

මුලින්ම. පෑන් එකකට තෙල් ටිකක් දාලා ලූනූ ටික දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න ඕනෙ.

 

චිකන් ටික බෝල් එකකට දාලා අනික් සියල්ලම දාලා ලූනූවලින් භාගයක් දාලා රස අනුව ලුණු දාලා හොඳට අනලා පැය 5ක් ශීතකරණයේ තියලා මැරිනේට් කරගන්න. ඊටපස්සේ හාල් ටික සෝදලා පැය කාලක් පෙඟෙන්න තියන්න. වෙනම භාජනයකට වතුර කෝප්ප 4ක් දාලා බේලීව්, කරදමුංගු, කරාඹුනැටි, සාදික්කා, කුරුඳුපොතු, ලුණු, තෙල් හා මිංචි කොළ ටික දාගන්න. වතුර නටනකොට හාල් ටික දාගන්න. බත 70%ක් වගේ පිසගන්න. දැන් වතුර පෙරාගන්න. වෙනම බඳුනකට මැරිනේට් කරගත් චිකන් ටික දාලා උඩින් බත් වලින් ටිකක් දාගන්න. ඊළඟට මිංචි කොළ ටිකක් අතුරාගන්න.

ඊළඟට බැදගත් ලූනු ටිකක් අතුරගන්න. දැන් සැෆ්රන් කිරි ටික දාලා ආයෙ බත් ලේයර් එකක් දාගන්න.

මේ විදියට ලේයර්ස් 2-3ක් දාලා හාල් තම්බාගත් වතුර කෝප්ප 1/2ක් දාලා උඩින් ගී ඔයිල් ටිකක් දාගන්න.

දැන් ෆොයිල් එකකින් වහලා පියනෙන් වහගන්න. අඩු ගින්දරේ විනාඩි 30ක් වගේ පිසගන්න.

 

වයිට් සෝස් චිකන් පෙනේ පැස්තා

මේ පැස්තා එක හදන්න පෙනේ පැස්තා ග්‍රෑම් 400ක්, කුකුළු මස් ග්‍රෑම් 200ක්, කැරට් ග්‍රෑම් 100ක්, බෝංචි ග්‍රෑම් 100ක්, සුදුලූනු බික් 6ක්, කෑලි මිරිස් මේස හැඳි 2ක්, ගම්මිරිස් තේ හැඳි 11/2ක්, කිරි කෝප්ප 3/4ක්, පාන් පිටි මේස හැඳි 2ක්, බටර් මේස හැඳි 2ක්, ලුණු කුඩු සහ චීස් ස්වල්පයක් අවශ්‍යයි.

 

මුලින්ම පැස්තා ටික ලුණු ටිකක් හා තෙල් මේස හැන්දක් දමා තම්බා ගන්න. පැස්තා ටික පෙරාගෙන පැත්තකින් තියන්න. රයිස් කුකර් එකට හෝ මල්ටි කූකර් එකට බටර් ටිකක් දාන්න. එයට අඹරා ගත් සුදුලූනු හා බීලූනු දමන්න. චිකන් අමුවෙන් පුංචි හතරැස් කෑලි කපා ගන්න . මේ ටික සුදුලූනු මිශ්‍රණයට එකතු කරන. ලුණු , කෑලි මිරිස් හා ගම්මිරිස් එකතුකර කලවම් කරන්න. දැන් කුකුළු තැම්බුණාම කොටු කපා ගත් කැරට් හා පොඩියට කපා ගත් බෝංචි එකතු කර ටික වේලාවකින් බා පැත්තකින් තියන්න.

 

දැන් අපි වයිට් සෝස් එක හදමු.

 

බටර් මේස හැඳි 2 ක් භාජනයට දමන්න. එයට පාන් පිටි එකතුකර හොඳට දිය කරන්න. දැන් කිරි ටික එකතු කරලා හොඳට කලවම් කරන. අන්තිමට චීස් එකතු කරන්න. මේ මිශ්‍රණය උකු වෙයි. කෑම කන්න ලෑස්ති වෙලා මේ වයිට් සෝස් එකට හදා ගත් කුකුළු මස් මිශ්‍රණය හා පැස්තා ටික එකතු කරලා උණුවෙන් ආහාරයට ගන්න. හරිම රසයි. හැමදාම බත් කන්න අකමැති අයට නියමයි.

 

උපදෙස්

සූපවේදී සජිත් මංජුල

Peggy's cafe කඩවත

විශේෂ ස්තූතිය

අශේන් මලිත

Peggy's cafe කළමනාකරු