පේරවලින් මාර කෑම

පෙබරවාරි 19, 2024

මේ දවස්වල පේර සෑම තැනකම දැකිය හැකි සුලබ පලතුරක් වෙලා. ඒ වගේම පේරවල මිල පහත බැහැලා. ඔබේ ගෙවත්තේ පේරගසුත් ඵලින් බර වෙලා ඇති. ඉතින් අතු පිරෙන්නට ගෙඩි හැදෙන පේර වෙනස් විදිහට රස බලමු ද? ගහෙන් කඩලා කන පේර ගෙඩියෙන් ඔයාලා කවදාවත් මේ වගේ කෑම හදලා තියෙනවද බලන්න. පේරවලින් හදන්න පුළුවන් කෑම අතරේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම කිහිපයකි මෙවර තිළිණ කරන්නේ.

 

පෝෂණ ගුණ සපිරි පේර

පේර හුදු පලතුරක් පමණක් නොව මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂාකර ගැනීම සඳහා භාවිත කළ හැකි ඖෂධීය ආහාරයකි. කාර්ය බහුල වත්මන් සමාජය තුළ මිනිසා හෘදයවස්තුව හා සම්බන්ධ රෝග රාශියකින් පීඩා විඳිමින් සිටියි. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පේර ආහාරයට ගැනීම යහපත් පුරුද්දකි. පෝෂණවේදීන් පෙන්වාදෙනු ලබන්නේ හෘදයට ඇතිවන අහිතකර බලපෑම පේරවල ඇති ප්‍රතිඔක්සිකාරක ගු ණය හා විටමින් නිසා අවම වනු බවයි.

පේර කොළ සාරය රුධිර පීඩනය අඩු කරන බව සොයා ගෙන ඇත. පත්‍රවල ඇති ඉහළ පොටෑසියම් සහ ආහාරමය තන්තු මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන බව කියැවේ. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. මේ සඳහා ප්‍රයෝජනවත් වන්නේ ඖෂධයක් ලෙස ශාක පත්‍ර සාරය පානය කිරීමයි. පේරවල මිනිසාට අවශ්‍ය ආහාරමය තන්තු ප්‍රමාණය අඩංගු නිසාත් ආහාරමය වශයෙන් අඩු කැලරි අගයක් ඇති නිසාත් අසාමාන්‍ය බර වැඩි වීම අඩු කරන පලතුරකි.

පේරවල සංයුතිය පෝෂ්‍ය පදාර්ථ සහ ඖෂධීය රසායනික රාශියකින් සමන්විත වේ. ෆෝලික් අම්ලය, ආහාරමය තන්තු, විටමින් C අඩංගු වේ. එක් පේර ගෙඩියක දොඩම් ගෙඩි හතරක ඇති විටමින් C අඩංගුවන බව පෝෂණවේදීහු පවසති. ඉදුණු පේර ගෙඩියක විටමින් Cවලට අමතරව විටමින් A, B සහ E අඩංගුවන අතර පොටෑසියම්, මැග්නීසියම්, පොස්ෆරස්, මැංගනීස් අඩංගු වේ. විටමින් A අඩංගු නිසා ඇසේ මෙන්ම සමේ සෞඛ්‍ය තත්ත්වය මනාව ආරක්ෂා වේ. සමේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරන නිසා තරුණ පෙනුම ආරක්ෂාකර ගැනීමට පේර හොඳ පලතුරකි. තරමක් පැසුණු පේර දියවැඩියා රෝගීන්ට ගුණදායක බව ආයුර්වේදයේ සඳහන් වේ.

යකඩ සහ කොපර් අඩංගු නිසා රතු සෛල නිෂ්පාදනය වැඩි කරයි. එනිසා රක්තහීනතාවය වළක්වයි. පේරවල අඩංගු පෝෂණ හා ඖෂධීය ගුණය නිසා ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට පේර ආහාරයට ගැනීම හේතු වේ. ඉදුණු පේර පමණක් නොව පැසුණු පේර මල බද්ධය වළක්වයි. දිනකට අවශ්‍ය ආහාරමය තන්තුවලින් 12%ක් පමණ ඉදුණු පේරවලින් ලැබේ. එනිසා ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය තත්ත්වය සුරැකෙන අතර මල බද්ධය වැළැක්වීමට හේතු වේ. එමෙන්ම ආහාර පද්ධතියේ ඇතිවන අජීර්ණ තත්ත්වයන් වළක්වන අතර පාචනයට හොඳ ප්‍රතිකාරකයකි. බඩවැලේ ඇතිවන හානිකර ක්ෂුද්‍ර ජිවීන්ගේ බලපෑම ද උදාසීන කරයි. පේර පත්‍රවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි නිසා පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇත. පේර පත්‍රවලින් සකස්කර ගන්නා තෙල් මේ සඳහා වඩාත් ප්‍රයෝජනවත් වේ. පේරවල විටමින් C අඩංගු නිසා ප්‍රතිශක්ති පද්ධතිය වඩාත් ශක්තිමත් කරයි. ලෝකයේ බොහෝ රටවල් පේර බීජවලින් සකස්කර ගන්නා තෙල් ආහාර සඳහා මෙන්ම සුවඳ විලවුන් සඳහා ද යොදා ගනී. මෙම බීජ තෙල් බීටා කැරොටින්, තඹ, සින්ක්, සෙලනියම් ප්‍රභවයක් බව හඳුනාගෙන ඇත. මේද අම්ල සංයුතිය අනුව සංතෘප්ත මේද 14%කින් සහ අසංතෘප්ත මේද 86%කින් යුක්තය. ඊට අමතරව පේර ආහාරයට ගැනීමෙන් සමේ සෞඛ්‍ය වැඩි කරයි. එමෙන්ම හදවතට ගුණදායකයි. ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ක්‍රියා කරයි. බඩවැල්වල සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ. බර අඩුකර ගැනීමට උපකාරී වේ.

පේර මසාලා

මේ පේර මසාලා එක පේර අච්චාරුවලට තරමක් සමාන වුණත් මෙය රසෙන් ඉහළයි. ඒ වගේම වෑංංජනයක් ලෙස ආහාරයට එකතුකර ගන්නත් පුළුවන්.

මේ පේර මසාලා එකට කෑලි කපාගත් පේර ගෙඩි 2ක්,

තළාගත් අමු මිරිස් කරල් 2ක්, තළාගත් ඉඟුරු කෑල්ලක්,

තළාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්, ලුණු හා ගම්මිරිස් කුඩු, අබ සෝස් තේ හැඳි 1ක් සහ මිරිස් කුඩු තේ හැඳි 1ක් අවශ්‍යයි.

මුලින්ම වංගෙඩියට අමු මිරිස්, ඉඟුරු හා කොත්තමල්ලි කොළ දාලා රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දාලා හොඳට තළාගන්න. මේක කපාගත් පේරවලට දාලා අබ සෝස් දාගන්න. එයටම මිරිස් කුඩු ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.

 

පේර සැන්ඩ්ව්ච්

සැන්ඩ්විච් එකක රස තියෙන්නේ ඊට එකතුකර ගන්නා පේස්ට් එක මතයි.

හැමදාම හදන එකම පේස්ට් එකට මේ විදිහට වෙනසක් එකතු කරලා බලන්න. මේ සැන්ඩ්විච් එක හදාගන්න තරමක් ඉඳුණු පේර ගෙඩි 2ක්, මින්චි කොළ කෝප්ප 1ක්, අමු මිරිස් කරල් 2ක්, ඉඟුරු කෑල්ලක්, සූදුරු තේ හැඳි 1/2ක්, කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2ක්, චාට් මසාලා

තේහැඳි 1/2ක්, ලුණු ස්වල්පයක්, පාන් පෙති කිහිපයක් සහ තක්කාලි පෙති කිහිපයක් අවශ්‍යයි.

 දැන් පේරවල ඇට කොටස් අයින් කරලා අනික් ටික ග්‍රේට් කරගන්න. ග්‍රයින්ඩර් එකට මින්චි කොළ, අමුමිරිස්,  ඉඟුරු හා සූදුරු දාලා ග්‍රේට්කර ගත් පේර මේස හැඳි 1ක් හා වතුර මේස හැඳි 2ක් දාලා හොඳට ග්‍රයින්ඩ්කර ගන්න. දැන් මේ ටික බෝල් එකකට දාලා ග්‍රේට්කර ගත් ඉතිරි පේර ටික හා කොත්තමල්ලි කුඩු ටික දාගන්න. මේකට චාට් මසාලා හා රස අනුව ලුණු දාලා හොඳට කලවම් කරගන්න. දැන් පාන් පෙත්තක් අරන් මේක ගාලා උඩින් තක්කාලි පෙති තියලා අනෙක් පෙත්තෙන් වහගන්න.

 

පේර චට්නි

 

අරපිරිමැස්ම ගැන හිතනා ගෘහණියන්ටයි මේ චට්නි එක. සති කිහිපයක් වුණත් තියාගෙන ආහාරයට ගත හැකි නිසා මෙවැනි චට්නි එකක් සාදාගෙන තබා ගැනීම ලොකු පහසුවක්.

මේ සඳහා කපාගත් පේර ගෙඩි 3ක්, කොත්තමල්ලි කොළ කෝප්ප 1ක්, සුදුලූනූ බික් 5ක්, ඉඟුරු කෑල්ලක්, අමු මිරිස් කරල් 2ක්, සූදුරු තේ හැඳි 1ක්, දෙහි බෑයක යුෂ සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 ග්‍රයින්ඩර් එකට පේර හා අනික් සියල්ලම දාලා හොඳට ග්‍රයින්ඩ්කර ගන්න. දැන් මේක බෝල් එකකට දාලා දෙහි යුෂ දාගන්න. හොඳට කලවම්කර ගන්න. සකසා ගත් චට්නි එක වීදුරු බෝතලයක අසුරා තබන්න.

 

පේර ජෑම්

 

අඹ, දිවුල්, ස්ට්‍රෝබෙරි වැනි ජෑම් වර්ගවල රස බලා ඇතත් ඔබ තවමත් රසම රස පේර ජෑම්වල රස බලා නැතිව ඇති. එහෙම නම් රස පේර ජෑම් එකක් හදන්න දැන් පුළුවන්.

ඒ සඳහා හොඳින් ඉදුණු පේර ගෙඩි 5ක්, සීනි ග්‍රෑම් 300ක් සහ ලෙමන් යුෂ මේස හැඳි 2ක් පමණයි අවශ්‍ය වන්නේ.

මුලින්ම පේර ටික කෑලි කපාගන්න. භාජනයකට වතුර ලීටර් 1 1/2ක් වගේ දාලා පේර කෑලි ටික දාලා ළිපේ තියන්න. විනාඩි 30ක් විතර හොඳට තම්බාගන්න. ඊළඟට පේර කෑලි අයින් කරලා වතුර වෙන්කරගන්න. දැන් මේ පේර තැම්බූ වතුර ආයෙ ළිපේ තියලා අඩු ගින්දරේ උණු කරගන්න. මේකට සීනි එකතු කරන්න. විනාඩි 30ක් විතර හැඳිගාමින් පිසගන්න. ඊළඟට ලෙමන් යුෂ ටික දාගන්න. ද්‍රාවණයේ පාට වෙනස් වෙනවා පෙනෙයි. පැයක් වගේ යනකොට මේක ටිකක් ඝන මිශ්‍රණයක් වෙනවා පෙනෙයි. උඩ පාවෙන බුබුළු හෙමින් අයින් කරගන්න. මිශ්‍රණය හොඳටම ඝනකම් වූ පසු ළිප නිවා මිශ්‍රණය නිවෙන්න තියන්න. පැය 6ක් මේ විදියටම තියලා ආයෙ හැඳිගාලා ළිපේ තියන්න. අඩු ගින්දරේ විනාඩි 5ක් විතර හැඳිගාන්න. දැන් ළිප නිවලා අායෙමත් නිවෙන්න තියන්න.

 

පේර පෑන් කේක්

පොඩිත්තන්ට ගැළපෙනම ආහාරයකි. හදන්නත් පහසුයි.

මේ පේර පෑන් කේක් එක හදන්න ඇට අයින්කර කපාගත් පේර ගෙඩි 2ක්, පාන්පිටි කෝප්ප 1ක්, කුඩුකර ගත් සීනි කෝප්ප 1/2ක්, බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්, බිත්තර 2ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 පේර ටික වතුර ටිකක් දාලා හොඳට ග්‍රයින්ඩ්කර ගන්න. දැන් මේක පෙරළා යුෂ ටික අරන් ඒකට පාන්පිටි ටික හලලා එකතු කරන්න. කුඩුකර ගත් සීනි, ලුණු හා බේකිං පවුඩර් ටිකත් දාගන්න. බිත්තර 2ක් දාලා හොඳට ගසාගන්න. දැන් තෙල් ගාගත් පෑන් එකකට බැටර් එකෙන් ටික ටික දාලා පෑන් කේක් හදාගන්න.

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න