දුෂාන්ති මදනායකගෙන් අලුත් අවුරුද්දට රස තෑග්ගක්

Academy Of Cake Artistry හි කේක් නිර්මාණ ප්‍රදර්ශනය මාර්තු 24 දා වෝටර්ස් එජ් හිදී
මාර්තු 18, 2024

 

ආදරණීය හැම පුංචි සැමරුමක් සෙනෙහසින් සමරන්නට කේක් එකක් නැතුවම බැහැ. ඒ අතරත් තමන්ගෙම දෑතින් හදන කේක් නිර්මාණයන්හි අගය මෙතෙකැයි කිව නොහැකියි. ඇය ඔබට කවදත් ළෙන්ගතු ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී දුෂාන්ති මදනායක. සුවහසක් තරුණී කාන්තා ඔබට දශක ගණනාවක් පුරාවට සූපවේදී කලාවේ රස රහස් මෙන්ම කේක් කලාවේ නව මංපෙත් හඳුන්වා දුන් ප්‍රවීණ ශිල්පිනියකවන හෙලන් මදනායක මහත්මියගේ ආදරණීය දියණියයි.

අද ඇය මෙලොව නැතත් ඇගේ අඩුව පුරවන්නට මවගේ අඩිපාරේ යමින් කේක් නිර්මාණ කලාවට පෙම්බැඳි ආදරණීය දියණිය දුෂාන්ති මදනායක එළැඹෙන මාර්තු 24 වැනි දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හී දී ඇයගේ Academy of Cake Artistry හි කේක් නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වේ. ඒ පිළිබඳ පවසන්නට පමණක් නොව ඇය කේක් නිර්මාණ කලාවට නැඹුරු වූ ආකාරය ගැන කියමින් අප හා කතාව ආරම්භ කළේ මෙලෙසින්.

මම කොහෙත්ම කේක් නිර්මාණකරණයට යොමු වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මම අමෙරිකාවට ගිහින් පරිගණක විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය ලබා ගත් කෙනෙක්. එහෙත් උපාධිය අවසන්කර ලංකාවට ආවාට පස්සේ සූප ශාස්ත්‍රයට ආස හිතුණා. මගේ අම්මාගේ සූපවේදී වැඩසටහන් රූපවාහිනී නාළිකාවලින්, පුවත්පත් මඟින් දකින කොට මට ඒ ගැන හරි ආඩම්බරයක් දැනුණා. අධ්‍යයනය කළේ වෙන ක්ෂේත්‍රයක් වුණත් සූපවේදය මට අහම්බයක් නොවෙයි.

මුලින්ම කේක් එකක් හදපු මතකය සිහිපත් කළොත්...

ඔව්. ඇත්තෙන්ම ඒක අපූරු මතකයක්. මම ඉපදුණු දවසේ ඉඳලම දැක්කෙ අම්මා කේක් පන්ති කරනවා. යන්තම් ඇවිදින්න පුළුවන් කාලෙ පටන් ගත්ත දවසෙම මමත් අම්මා එක්ක ඒ පන්තිවලට යනවා. කේක් හදන්න ගේන කජු, ප්ලම්ස් කන එකමයි මම කරන්නෙ. කේක් පාඨමාලාව ඉගෙන ගන්න ළමයි මම මේවා කන්න ඉල්ලන වදෙන් බේරෙන්න දවසක් පුංචි කේක් එකක් හදලා දුන්නා. ඉතින් මම ඒ කේක් එක තනියම අයිසිං කරනවා. මේක හැමදාම සිද්ධ වුණා. ඔය විදිහට ලබාගත් අතේ හුරුව බොහොම අලංකාර කේක් නිර්මාණයක් දක්වාම වැඩි දියුණු වුණා. මම 8 - 9 වසරවල ඉගෙන ගද්දී කේක් නිර්මාණ ප්‍රදර්ශනවලට පවා ඉදිරිපත් වුණා.

ඒ තරග ජයග්‍රහණය කළාද?

අනේ නැහැ. මගේ නිර්මාණ විනිශ්චය කළ නිලධාරීන් එම නිර්මාණ බලලා මේවා ලොකු අය ගෙදර දී කළ නිර්මාණ වෙන්නැති. මේවා ඔයාට කරන්න පුළුවන් ද කියලා පුංචි මාව විශ්වාස නොකළ නිසයි. ඒ නිසා ඒවාට ඉදිරිපත් වීම මට එපා වුණා.

ඔබේම කියලා කේක් නිර්මාණ ආරම්භ කළේ කොහොමද?

මම 2010 වසරේදී කොටහේනේ වයිට් ෆ්ලවර් කේක් ෂොප් එක ආරම්භ කළා. එයට අමතරව ඉසිපතන මාවතේ කේක් නිර්මාණ පන්ති පටන් ගත්තා. මා සතු දැනුම නිර්ලෝභීව ඕනෑම අයකුට ලබා දෙන්නට මම කිසි විටෙක පැකිළෙන්නේ නැහැ.

ඔබට විදෙස් රටවල කේක් පාඩම් මාලාව ගැනත් හොඳ අවබෝධයක් ඇති. ඒ රටවල හා අපේ රටේ කේක් කලාව අතර වෙනසක් තිබේද?

ලොකු වෙනසක් තියෙනවා. අමෙරිකාව විතරක් නෙමෙයි වෙනත් රටවල් එක්ක බැලුවත් අපි තරමක් පසුගාමීයි. සමහර කේක් නිර්මාණ අදට ගැළපෙන්නේ නැහැ. ඒ කියන්නෙ ලංකාවේ ඇතැම් කේක් ආකෘති මීට වසර ගණනාවකට ඉහත දී භාවිත කළ ඒවායි. ඒත් දැන් දැන් යාවත්කාලීන වීමක් දක්නට ලැබෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. අපිත් උනන්දු වෙනවා ඒ අලුත් නිර්මාණකරණයට.

කේක් කලාවට ආධුනිකයන්ට ඔබ දක්වන අත්වැල කෙබඳුද?

මම Academy of Cake Artistry ආයතනය පවත්වාගෙන යනවා. එමඟින් තෙවැනි වරට පවත්වනු ලබන කේක් නිර්මාණ ප්‍රදර්ශනය හා පුහුණු වැඩමුළු මාලාව සමඟ සම්මාන සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 24 වැනි දා පෙ.ව. 8.00 සිට ප.ව 2.00 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වනවා. නොමිලයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා කේක් නිර්මාණකරණය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට සහභාගි විය හැකියි.

තරුණීට ළබැඳි පාඨක හිතවතුන් වෙනුවෙන් ඔබෙන් කේක් නිර්මාණකරණය නොමිලයේ හදාරන්නට අවස්ථාවක් ලැබෙනවාද?

ඔව්. ඒ සඳහා ඔබ කළ යුත්තේ Academy of Cake Artistry මෙහි දැක්වෙන වැඩමුළුව පැවැත්වෙන මාර්තු 24 වැනිදා වෝටර්ස් එජ් වෙත තරුණී පුවත්පත රැගෙන පැමිණ කූපනය පුරවා අප වෙත ලබා දීමයි. එමඟින් වටිනා කේක් පාඨමාලා තුනක් දිනා ගැනීමේ අවස්ථාව හිමි හිමිවෙනවා.