සිංහල අලුත් අවුරුද්දට ගමේ විදිහට කමුද ?

අප්‍රේල් 8, 2024

 

බක් මාසෙට කෑම වර්ගත් එක්ක තියෙන්නේ ලොකු සම්බන්ධයක්. මොකද සිංහල අලුත් අවුරුදු උදාවත් එක්ක වෙනදා හදන කෑම බීමවලට එහා ගිය විශේෂත්වයක් මේ මාසෙට එකතු වෙනවා. කැවිලි පෙවිලිවලින් විතරක් නෙවෙයි... අවුරුද්ද දවසට වෑංජන ගොඩක්, කොළ මැල්ලුමක්, ඇඹුලක්, අච්චාරුවක්, හත් මාළුවක් සහ බැදුමක් එක්ක රසවත් ආහාර වේලකින් අවුරුද්දෙ ඉස්සෙල්ලාම එන නෑයන්ට සංග්‍රහ කරන්න අපේ පැරැන්නන් අමතක කළේ නැහැ. ඒ බොහොමයක් ආහාර වට්ටෝරු අපිටම පමණක් ආවේණික අපේම ආහාර. එදා එවැනි ආහාරවලින් සිංහල අලුත් අවුරුද්දට මුළු ගෙදරම සුවඳවත් වෙද්දි මෙදා මේ අවුරුද්දටත් අපේ ගෘහිණියන් විශේෂිත කෑම බීම හදන්න උත්සුක වෙන්නේ හරිම උනන්දුවෙන්. ඉතින් එදා අත්තම්මා හදපු ඒ කෑම බීම මෙවර කෑම මේසයට එක්කර ගත්තොත් සිංහල අලුත් අවුරුද්දේ තිබුණ අපේකම, සංස්කෘතික බව තව තවත් ඉස්මතු වේවි.

 

කිරි රස කජු මාළුව

 

කජු කියන්නේ හරිම පුදුම කෑමක්. මොන විදිහට කෑවත් කජුවල තියෙන්නේ පුදුම රසක්. අපේ ගමේ විදිහට කිරි රසට ක්‍රීම් ගතියට හදන මේ කජු මාළුව බත්, පාන්, ඉඳිආප්ප වගේම පිට්ටු එක්කත් හරිම රසයි.

කජු ග්‍රෑම් 500ක් තුනපහ කුඩු තේ හැඳි 02ක් රම්පේ, කරපිංචා, උළුහාල් තේ හැඳි 1/4ක් සුදුලූනූ බික් 08-09ක් ලොකු ලූනූ, කහ කුඩු තේ හැඳි 01ක් කුරුඳු අඟලක කෑල්ලක් අමු මිරිස් 06ක් උකු පොල් කිරි කෝප්ප 02ක් ලුනු තේ හැඳි 02ක් අබ තේ හැඳි 01ක් සහ මාගරින් තේ හැඳි 1/2ක් අවශ්‍යයි.

 

කජු ගෙඩි ටික කපා ගෙන කජු මද ටික අයින්කර ගන්න. ඔක්කොම කජු ටික කපා ගත්තාට පස්සේ කජු මද ටිකට ඇල් වතුර දාලා පැය 04ක් 05ක් විතර පෙඟන්න තියන්න. කජු ටිකට මේ විදිහට ඇල් වතුර දාපුවහම හරිම ලේසියෙන් කජු මදවල පොතු ටික ගලවා ගන්න පුළුවන්. පැය 04ක් 05ක් විතර ගියාට පස්සේ පොතු ටික ගලවා ගන්න.

පොතු ටික ගලවා ගත්ත කජු මද ටික ආයෙත් පාරක් සෝදලා අරගෙන කජු මාළුව උයන භාජනයට දා ගන්න. දැන් මේකට තුනපහ කුඩු, උළුහාල්, කහ කුඩු, ලුනු දාන්න. ඊළඟට කුරුඳු, රම්පේ, කරපිංචා, කපා ගත්ත ලූනූ දාන්න. දැන් මේ කජු ටික වැහෙන මට්ටමට එනකම් වතුර දාලා මේ ඔක්කොම ටික හොඳට කලවම් කරන්න. ඇතිලිය ළිපේ තියලා කජු ටික හොඳට තැම්බෙනකන් උයාගන්න.

කජු ටික හොඳට තැම්බුණහම තළා ගත්ත සුදු ලූනුයි අඹරා ගත්ත අබ ටිකයි දා ගන්න. අබ අඹරා ගනිද්දී ඒකට මාගරින් ටිකත් එකතු කරන්න.

ඊළඟට පොල් කිරියි, අමු මිරිසුයි දා ගන්න. කජු මාළුව හොඳ කිරි රසට තියෙන්න ඕනේ හින්දා අපි මේකට මිරිස් කුඩු දාන්නේ නෑ. ඒ වෙනුවට අමු මිරිස් කරල් ටිකක් තමයි දා ගන්නේ.

සැරින් සැරේ හැඳි ගාන ගමන් පොල් කිරි ටික හොඳට ඉදෙනකම් තව ටිකක් වෙලා කජු මාළුව උයාගන්න. ඔයාලා මේක හැඳිගාද්දී පරිස්සමට හැඳිගාන්න. නැත්නම් එහෙම කජු කෑලි ටික පොඩි වෙලා යයි.

කජු මාළුව හොඳට ඉදුණාට පස්සේ මේක ළිපෙන් බා ගන්න.

 

කොස්ඇට කළුපොල් මාළුව

 

කොස්ඇට කළුපොල් මාළුව අවුරුදු කෑම වේලට නැතුවම බැරි වෑංජනයක් ලෙසයි කවුරුත් සලකන්නේ. අවුරුද්දේ කෑම මේ‍ෙසට මේ විදිහට කොස් ඇට කළුපොල් මාළුවකුත් එකතුකර ගනිමු.

මේ සඳහා ලොකු කොස් ඇට 25ක් විතර, කැකුළු හාල් මේස හැඳි 1ක් ගාගත් පොල් මේස හැඳි 1 , කොත්තමල්ලි ඇට මේස හැඳි 1 , සූදුරු මේස හැඳි 1/2ක් මිරිස් කුඩු තේ හැඳි 1, වියළි මිරිස් කරල් 2ක් ගම්මිරිස් ඇට ස්වල්පයක් කුරුඳු පොතු කෑල්ලක් කරාබු නැටි 2ක් උම්බලකඩ මේස හැඳි 1ක් ලූනූ ගෙඩි 1ක් සුදුලූනු බික් 2ක් රම්පා හා කරපිංචා, උළුහාල් තේ හැඳි 1/2ක් දෙහි යුෂ ස්වල්පයක්, දිය කිරි කෝප්ප 2, මිටි කිරි කෝප්ප 1/4ක් ලුණු කුඩු සහ තෙල් ටිකක් අවශ්‍යයි.

 කොස් ඇට ටික පොතු සමඟම වංගෙඩියට දාලා පොතු ඉවත් නොවන සේ ටිකක් තළන්න. 

පෑන් එකක් ළිපේ තියලා ඒකට හාල් ටික දාලා බැදී ගෙන එද්දී පොල්, කොත්තමල්ලි ඇට, සූදුරු, වියළි මිරිස්, කරපිංචා, කුරුඳු පොතු, කරාබු නැටි, ගම්මිරිස් ඇට, මිරිස් කුඩු ටිකක් එකතු කරලා කබලේ බැදගන්න. දැන් මේක ග්‍රයින්ඩර් එකට දාලා හොඳින් අඹරලා පේස්ට් එකක් හදාගන්න. 

පෑන් එකක තෙල් ටිකක් ළිපේ තියලා ඒක රත් වී ගෙන එද්දි ඒකට උළුහාල්, ලූනු, සුදුලූනු හා රම්පා එකතුකර බදින්න. පසුව ඒකට අඹරාගත් පේස්ට් එක හා කොස් ඇට ටික එකතු කරලා විනාඩි පහක් විතර කලවම් කරන්න. 

ඉන්පසු දියකිරි, ලුණු හා උම්බලකඩ එකතුකර ගින්දර වැඩි කරන්න. හොද්ද උතුරන්න පටන් ගත්තහම ගින්දර අඩුම කරලා පියන වහලා කොස් ඇට ටික හොඳින් තැම්බෙන්න තියන්න.

කොස් ඇට හොඳටම තැම්බුණාම මිටිකිරි එකතු කරලා ඉස්ම කොස් ඇටවල දැවටෙන ගාණට එනකල් හින්දගන්න. අන්තිමට දෙහි යුෂ ටිකක් එකතු කරන්න.

 

ඉඳලෝලු ආනම

පොද වැස්සෙන් ජීවය ලබන ඉඳලෝලු, ග්‍රාමීය ජනතාවට නම් හුරුපුරුදු ය. බිම්මල් හෙවත් හතු වර්ග අතුරෙන් දිව්‍ය බොජුන් පරදන රසයක් ගෙනෙන ඉඳලෝලු, වැස්සත් සමඟ පිපෙන හතු වර්ගයකි.

 

කුකුළු මස් රස පරයන රසින් ඉඳලෝලු හතු වෑංජන සැකසීමෙහිලා ගම්බද කාන්තාවන් උපන් හපනුන් ය. ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම මෙන්ම පිළිකා සෛල විනාශ කිරීම, කොලොස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග රැසක් මැඬලීමේ විශ්මිත ගුණ මේ හතුවල අඩංගු ය.

මේ සඳහා ඉඳලෝලු හතු ග්‍රෑම් 300ක් සිහින්ව ලියාගත් ලූනූ ග්‍රෑම් 30ක් සිහින්ව ලියාගත් සුදුලූනූ තේ හැඳි 1ක් පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 50ක් පොඩියට කපාගත් අමුමිරිස් ග්‍රෑම් 50ක් කරපිංචා ඉත්තක් කහ කුඩු තේ හැඳි 1ක් අඟල් 1/2ක කුරුඳු පොතු කෑල්ලක් කුරක්කන් පිටි මේස හැඳි 1ක් වතුර අඬුකෝප්ප 2ක් සහ ලුණු රස අනුව අවශ්‍යයි.

ඉඳලෝලු හතු කඩල ඇටයක ප්‍රමාණයට කැබැලි කපාගන්න. කුරක්කන් පිටි හැර අන් සියල්ල භාජනයකට දමා එය ළිප මත තබන්න. තරමක් සිඳීගෙන එන විට කුරක්කන් පිටි, වතුර මේස හැඳි දෙකකට දියකර ගන්න. ඉන්පසු එය හතු මිශ්‍රණයට එකතුකර හොඳින් හැඳිගාන්න. කුරක්කන් පිටි තැම්ඹී දුඹුරු පැහැ වන තුරු මඳ ගින්දරේ තම්බා ගන්න. මෙය බත් එක්ක විතරක් නෙවෙයි කුරක්කන් තලප සමඟ ද කෑමට ගත හැකිය.

 

රටකජු බැදුම

අවුරුදු කෑම වේලකට බැදුමකුත් එකතු කරගත්තාම පංකාදු හතයි. එහෙමයි ගමේ අත්තල, මුත්්තලා කිව්වේ. ඉතිං ගමේ අත්තල, මුත්තලා ආස කරපු රටකජු බැදුමකුත් අපි මෙවර කෑම මේසයට එකතු කරගනිමු.

 

මේ සඳහා පොතු සහිත රට කජු ග්‍රෑම් 250ක්, ක්ෂණික නුඩ්ල්ස් පැකට් 1ක්, සිහින්ව කපා ගත් ලොකු ලූනූ ගෙඩි 2ක්, කරපිංචා ඉති 4ක්, කැලි මිරිස් තේ හැඳි 2ක්, තළා ගත් සුදු ලූනූ ගෙඩි 2ක්, ලුණු, දෙහි ගෙඩි බාගයක යුෂ සහ ගැඹුරු තෙලේ බැදීමට පොල් තෙල් හෝ එළවළු තෙල් අවශ්‍යයි.

තෙල් රත්කර, කපාගත් ලූනූ රන්වන් පැහැ වන තුරු විනාඩි 5ක් පමණ බැද ගන්න. කර වෙන්න දෙන්න එපා.

නුඩ්ල්ස් ටික පොඩියට කඩා රන් වන් පැහැ වන තුරු සාමාන්‍ය ගින්දරේ විනාඩියක් පමණ බැද ගන්න.

රටකජු ද ගැඹුරු තෙලේ සාමාන්‍ය ගින්දරේ විනාඩියක් පමණ බැද තෙල් ඉවත්කර ගන්න.

කරපිංචා ටිකත් අඩු ගින්දරේ පැහැය වෙනස් නොවන සේ විනාඩි 1-2ක් බැද ගන්න. පසුව කෑලිමිරිස් ද අඩු ගින්දරේ බැද ගන්න. කලු වෙන්න ඉඩ හරින්න එපා.

සුදු ලූනූ ද රන්වන් පැහැවන තුරු බැද ගන්න.

ඉන්පසු බැදගත් සියල්ල එක්කොට ලුණු සහ දෙහියුෂ එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. 

 

ගිතෙල් බත

අවුරුදු කෑම වේලක තිබිය යුතුම බතක් ලෙස සලකන ගිතෙල් බත ගමේ අත්තම්මලා නම් අමතක නොකර හැදුවා. එදා ගිතෙල් බත හදද්දී එන සුවඳින් තමයි මුළුතැන්ගෙයම පිරිලා තිබුණේ. මෙදාසැරේ එදා හදපු ගිතෙල් බත මේ විදිහට හදලා රස බලමු.

 

හාල් කිලෝ එකක්, ගිතෙල් මේස හැඳි දෙකක්, කුඩාවට කපාගත් ලොකු ලූනු ග්‍රෑම් 100ක්, කහ තේ හැඳි කාලක්, කුරුඳු කැබලි පහක් හයක්, කරඳමුංගු කරල් පහක්, කරාබු නැටි 4ක්, රම්පා කරපිංචා ස්වල්පයක්, සුල්තානා ටිකක්, කජු ටිකක් අවශ්‍යයි.

බඳුනකට ගිතෙල් දමා රත් කරන්න. එයට කරඳමුංගු, කරාබු නැටි, රම්පා, කරපිංචා, කුරුඳු, ලුණු, කහ සියල්ලම තෙලේ විනාඩි පහක් පමණ තෙම්පරාදුකර සෝදාගත් හාල් දමා  තවත් විනාඩි පහක් පමණ තෙම්පරාදුකර බත පිසීමට අවශ්‍ය වතුර දමා බත පිසින්න. සුල්තානා ගැඹුරු තෙලේ බදින්න.කජු ද එලෙසම බදින්න. අවශ්‍ය නම් ලූනු ටිකක්ද බැද ගන්න. බත මේසයට යවන විට ඉන් සරසා යවන්න.

 

හත් මාළුව බොහෝ පැරැන්නන්

හත් මාළුව සිංහල අලුත් අවුරුද්දට අවුරුදු මේසයට තැබීය. කිරිබතක් සමඟ හත් මාළුවේ රසය ද ඉතා ප්‍රණීතය.

හත් මාළුව ආහාර ද්‍රව්‍ය 7ක් එකතු වී සෑදෙන වෑංජනයකි. සමහර විට හත් මාළුව යනුවෙන් නම පටබැඳෙන්නට ඇත්තේ ද ඒ නිසා විය හැකියි. ඉතින් අවුරුදු කෑම මේසයේ නොවරදින හත් මාළු ව මේ විදිහට හදලා බලමු.

මේ සඳහා කජු ග්‍රෑම් 50ක්, කොස් ඇට, මෑ කරල්, වම්බටු, අර්තාපල්, වට්ටක්කා දලු ස්වල්පයක්, අළු කෙසෙල් ගෙඩි දෙකක්, පොල් ගෙඩියක පමණ මිටිකිරි හා දියකිරි, මිරිස් කුඩු තේ හැඳි 3 ක්, තුනපහ කුඩු, තලාගත් එනසාල් කරල් 2 ක්, සූදුරු කුඩු ස්වල්පයක්, උළුහාල් ස්වල්පයක් හොඳින් ලියාගත් රතු ලූනූ, තළා ගත් සුදුලූනූ, කරපිංචා,රම්පේ ස්වල්පයක්, අමු මිරිස් කරල් දෙකක් සහ පොල් තෙල් ස්වල්පයක් මේ සඳහා අවශ්‍ය වෙනවා.

කජු පෙඟෙන්නට තබා පෙඟුණු පසු පොතු ඉවත්කර ගන්න.කොස් ඇට කැබලි කපා ගන්න. මෑ කරල්, වම්බටු, අර්තාපල්, අළු කෙසෙල්  කුඩාවට කපා ගන්න.

භාජනයකට තෙල් දමා රත් වූ පසු ලියා ගත් රතු ලූනු, තළා ගත් සුදු ලූනු, රම්පේ,කරපිංචා,කුඩාවට කපා ගත් අමු මිරිස් එකතු කරන්න. රන්වන් පැහැ වන සේ බැද ගත් මිරිස් කුඩු,තුන පහ, සූදුරු කුඩු, එනසාල් එකතුකර හොඳින් කවලම් කරන්න.

එයට කපා ගත් කජු ,කොස් ඇට, මෑ කරල්, වම්බටු, අල, අළුකෙසෙල් දමා දියකිරි එකතකර මඳ වෙලාවක් පිසගෙන කිරි හිඳීගෙන එනවිට උළුහාල්, වට්ටක්කා දලු එකතුකර මිටිකිරි දමා මඳ ගින්නේ පිස ගන්න.

හත් මාළුව ඔබේ අලුත් අවුරුදු කෑම මේසයට වැඩි අගයක් එක් කරනවා නොඅනුමාන යි.

 

 

කැකිරි නියඹලාව

කුරහන් තලපයට කදිමට ගැළපෙන කැකිරි නියඹලාව එකළ ගැමියා බතටත් එක්කාසුකර ගත්තේ එහි ඇති ඉමිහිරි රසයත් පෝෂණ ගුණයත් නිසයි. මේ පෑවිල්ලට ශරීරයේ දාහය නිවන්නත් කියාපුම ආහාරයක්.

 

කැකිරි නියඹලාව හදන්න කැකිරි ග්‍රෑම් 500ක්, ගා ගත් පොල් ග්‍රෑම් 50ක්, කුරුඳුපොතු කැබලි 2ක්, කරපිංචා ඉති 2ක්, කහ කුඩු තේ හැඳි 1ක්, තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, රම්පෙ කොළ කැබලි 1ක්, දියකිරි අවශ්‍ය ප්‍රමාණයට (කැකිරි තැම්බීමට), මිටිකිරි අඩු කෝප්ප 1/2, ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට, සුදුලූනූ බික් 5ක් සහ අමු මිරිස් කරල් 5ක් අවශ්‍යයි.

කැකිරි කුඩා කැබලිවලට කපා එයට කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ද දමා දියකිරෙන් තම්බා ගන්න. තැම්බුණු පසු පොල් මිශ්‍රණය දමා හොඳින් කවලම්කර ස්වල්ප වේලාවක් ළිප තබා ළිපෙන් බා ගන්න. තෙල් මිශ්‍රණය සාදන ආකාරය ගා ගත් පොල්වලට කරපිංචා, තුනපහකුඩු, රම්පෙ කොළ, සුදුලුනු, අමුමිරිස් සියල්ල එකට දමා මිටිකිරිවල මිශ්‍රකර සියල්ල හොඳින් බ්ලෙන්ඩර්කර ගන්න.