අවුරුද්දට දවස් ටිකයි හදාගන්න කෑම ගොඩයි

මාර්තු 25, 2024

අලුත් වසරක් උදා වෙලා මාස තුනකුත් ගෙවිලා ගිහිල්ලා. ඔයාට නොදැනුවත්වම කාලය ක්‍රමානුකූලව ගෙවිලා යනවා. තව දවස් කිහිපයකින් ලබන්නේ අප්‍රේල් මාසෙ. ඒ කියන්නේ සිංහල අලුත් අවුරුද්ද. අද අපි ඔයාල හැමෝටම ගේන්නේ අලුත් අවුරුද්දට කලින්ම හදාගන්න පුළුවන් කෑම වට්ටෝරු කිහිපයක්.

ලෝකෙ කොච්චර දියුණු වුණත් අපේ සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු අවුරුද්දෙන් ඈත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසාමයි මේ ආහාර වට්ටෝරු කලින්ම හදලා තියාගන්නේ. අවුරුද්දට එන නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ කරන්න අවුරුද්දට කලින් මේ වට්ටෝරු හදලා තියාගන්න.

 

උපදෙස්

සූපවේදී

සුජිත් ආරියරත්න

 

මැලේ අච්චාරුව

අච්චාරුවල ඇති ලුණු රස, ඇඹුල් රස, රටඉඳිවල පැණි රස ගතිය මිශ්‍ර වුණ අච්චාරු ටිකක් බත් වේලට එකතු වුණාම කවුද බත් කන්න අකමැති වෙන්නේ. ඔබත් මෙච්චරකල් වෙන අය හදපු මැලේ අච්චාරුවල රස බලපු කෙනෙක් නම් මෙදා සැරේ තමන්ම අත්හදා බලන්න.

මේ සඳහා රටඉඳි ග්‍රෑම් 250ක්, ලොකු ලූනූ කැබලි ග්‍රෑම් 75ක්, ඇට රහිත මාළු මිරිස් ග්‍රෑම් 50ක්, කැරට් පෙති ග්‍රෑම් 100ක්, අන්නාසි කුඩා කැබලි ග්‍රෑම් 100ක්, අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 50ක්, සුදුලූනු ග්‍රෑම් 50ක්, හකුරු ග්‍රෑම් 100ක්, ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු මේසහැඳි 1ක්, කෑලි මිරිස් මේසහැඳි 1ක්, විනාකිරි ටිකක් සහ තෙල් ස්වල්පයක් අවශ්‍යයි.

රටඉඳි ඇට අයින් කරලා පොඩි කෑලි හිටින්න අඹරාගන්න. හකුරු ටික ගාගන්න. භාජනයකට තෙල් දාලා ළිපේ තියලා ඉඟුරු, සුදුලූනූ දාලා බැදෙනකොට රටඉඳි හා හකුරු  එක්කරලා මඳගින්නෙ විනාඩි 5ක් විතර අඩිය අල්ලන්නෙ නැතිවෙන්න හැඳිගාන්න.

ඒකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතුකර ගන්න.

ඒකට විනාකිරි ටිකක් දාලා උකු මිශ්‍රණයක් වෙන්න හදාගන්න.

දැන් මේකට අන්නාසි, කැරට් දාලා ඒ ටික තැම්බුණාට පස්සෙ අන්තිමට මාළු මිරිස් ටික දාලා හොඳට කලවම් කරලා විනාඩි 3කින් විතර ළිපෙන් බාගන්න. මේක ශීතකරණයේ දාලා ගොඩක් කල් තියාගන්න පුළුවන්.

 

*******************

සිංහල අලුත් අවුරුද්දට නොවරදින සිංහල අච්චාරුව

අපේ ගම්වල අත්තම්මලා සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට සිංහල අච්චාරුවක් හදන්න අමතක කරන්නේ නැහැ. සිංහල අච්චාරුවක් නැති අලුත් අවුරුද්දක් තියෙනව ද? ඉතින් අපිත් මේ විදිහට සිංහල අච්චාරුව හදලා බලමු.

මේ සඳහා රතුලුනු ග්‍රෑම් 250ක්, අඟල් 2ක් පමණ දිග කූරුවලට කපාගත් කැරට් අල 2ක්, බෝංචි කරල් 5ක්, වෙන් නොවන සේ දෙකට පළා ගත් මිරිස් කරල් 15ක්, අඟල් 2 පමණ දිග කූරුවලට කපා ගත් කුඩා ගැට ගස්ලබු ගෙඩියක්, විනාකිරි කෝප්ප 1ක්, අබ කුඩු මේස හැඳි 1-2ක්, ලුණු, අඟල් 2ක් පමණ දිග ඉඟුරු කැබැල්ලක්, සුදුලූනු ගෙඩි 1ක් සහ කහ කුඩු ස්වල්පයක් අවශ්‍ය වෙනවා.

අබ, ලුණු, ඉඟුරු, සුදුලූනු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන්පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න. ඉන්පසු රතුලූනු, කැරට්, බෝංචි, මිරිස් කරල් හා ගස්ලබු ටික වෙන වෙනම විනාකිරිවල

දමා තත්පර 30ක් පමණ වෙලාවක් තම්බා ගන්න.

ඉන්පසු කලින් අඹරා ගත් අබ හා ඉඟුරු මිශ්‍රණය විනාකිරි භාජනයට දමා මිනිත්තු 2ක් පමණ හොඳින් උයා ගන්න. දැන් විනාකිරි මිශ්‍රණය ළිපෙන් ඉවතට ගෙන කලින් සකස් කරන ලද එළවළු සියල්ල එක්‌කර හොඳින් කලවම්කර ගන්න.

ඉන්පසු හොඳින් වේළා ගත් පිරිසුදු වීදුරු බෝතලයකට හෝ මැටි මුට්ටියක දමා කල් තබා ගත හැකියි.

මෙය හරිම රසයි වගේම හොඳ සුවඳකුත් එනවා.

අච්චාරු සාදන විට මැටි හට්ටියක් භාවිත කිරීම ඉතා වැදගත්ය. එලෙසම තෙත නැති පිරිසුදු හැන්දක් භාවිත කළහොත් මෙය මාස 5-6ක පමණ කාලයක් කල් තබා ගත හැකිය.

 

*****************

මාළු ඇඹුල් තියල්

මාළු ඇඹුල්තියල් කිව්වම අපිට මුලින්ම සිහි වෙන්නෙ දකුණු පළාත. මන්ද මාළු ඇඹුල් තියලට දකුණු පළාත තරම් දක්ෂ රසවත් රෙසිපියක් අපට වෙන කොහෙන්වත් උරුම නොවන නිසා. මුහුදින් වටවුණු අපේ දිවයිනේ මාළු ඇඹුල් තියලට බොහෝ ඉල්ලුමක් තියෙනවා. නියම පදමට රෙසිපියට හදා ගන්නා මාළු මාසයකට අධික කාලයක් කල් තබා ගන්න පුළුවන්.

මේ සඳහා බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1ක්, ගොරකා ග්‍රෑම් 200ක්, ගම්මිරිස් කුඩු මේස හැඳි 5ක්, ලුණු, අමු මිරිස් කරල් 4-5ක්, බැදපු තුනපහ කුඩු මේස හැඳි 3ක්, රම්පේ හා කරපිංචා සහ කුරුඳු පොතු කෑල්ලක් අවශ්‍යයි.

 මාළු හෝදලා තරමක කෑලි කපාගන්න. ගොරකා තම්බලා අමු මිරිස්, ගම්මිරිස් කුඩු  තුනපහ කුඩු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, ලුණු එක්ක අඹරාගන්න. 

මාළුවලට ගොරකා පේස්ට් එක දාලා වතුර චුට්ටක් දාලා හොඳට කලවම්කර ගන්න. මැටි හට්ටියක අඩියට කරපිංචා ඉති ටිකක් අතුරාගෙන මාළු ටික දාලා පියනකින් වහලා තම්බාගන්න.

ඉස්ම හොඳටම හිඳුණම පියන ඇරලා නිවෙන්න තියන්න. ඇඹුල් තියල් ගන්න වියළි හැන්දක් පාවිච්චි කරන්න. 

*****************

කුකුළු මස් ඇඹුල් තියල්

ගොඩ දෙනෙක් මාළු ඇඹුල් තියල් ගැන දැන සිටියත් කුකුළු මස් අැඹුල් තියල් ගැන එතරම් දැනුවත් නැහැ. කුකුළු මස් අැඹුල් තියල්... මාළු අඹුල් තියල් තරම්ම රසවත්. මෙන්න මේ විදිහට හදලා බලමු.

මේ සඳහා කපාගත් කුකුළු මස් කිලෝ 1ක්, මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක්, විනාකිරි මේස හැඳි 2ක්, ගොරකා ග්‍රෑම් 200ක්, ගම්මිරිස් කුඩු මේස හැඳි 5ක්, ලුණු, අමු මිරිස් කරල් 4-5ක්, බැදපු තුනපහ කුඩු මේස හැඳි 3ක්, රම්පේ හා කරපිංචා සහ කුරුඳු පොතු කෑල්ලක් අවශ්‍යයි.

කුකුළු මස් හොඳට සෝදලා වතුර බේරෙන්න තියන්න. වතුර බේරුණාම මිරිස් කුඩු සහ විනාකිරි එක්ක ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරගෙන පැයක් මැරිනේට් කරගන්න. මැරිනේට් කරගත්ත කුකුළු මස් ටික ගැඹුරු තෙලේ බැදගන්න. 

ගොරකා තම්බලා අමු මිරිස්, ගම්මිරිස් කුඩු  තුනපහ කුඩු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, ලුණු එක්ක අඹරාගන්න. 

බැදගත් කුකුළු මස්වලට ගොරකා පේස්ට් එක දාලා වතුර චුට්ටක් දාලා හොඳට කලවම්කර ගන්න. මැටි හට්ටියක අතුරාගෙන පියනකින් වසා අඩු ගින්දරේ පිසගන්න.

සැරින් සැරේ අඩිය අල්ලන්න නොදී කලවම්කර ගන්න. ඉස්ම හොඳටම හිඳුණම පියන ඇරලා නිවෙන්න තියන්න. 

 

********************

පොලොස් අච්චාරු

ගස් පල්ලේ වැටිලා යන වරකා ගෙඩියෙන් පොලොස් ගෙඩිය කාලෙදිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ක්‍රමයක් මේක. රසම රස පොළොස් අච්චාරුවකුයි.. යහමින් ඇඹුල් දැමූ පොල් සම්බෝලයකුයි තිබුණානම් බඩ පැලෙණකම් කත හැකියි.

පොලොස් අච්චාරුව හදන්න හොඳට පැහුණු පොලොස් ගෙඩියක්, රතුලූනු ග්‍රෑම් 200ක්, අමු මිරිස් ග්‍රෑම් 50ක්, අබ ක්‍රීම් මේස හැඳි 3ක්, විනාකිරි මේස හැඳි 1ක්, ගම්මිරිස් මේස හැඳි 1/2ක්, සීනි මේස හැඳි 1ක්, තුනපහ මේස හැඳි 1/2ක්, මිරිස් කුඩු මේස හැඳි 1/2ක්, ඉඟුරු , සුදුලූනු මේස හැඳි 1 බැගින්, සේර ඉත්තක්, තෙල් ටිකක් සහ ලුණු අවශ්‍යයයි.

පොලොස් ගෙඩිය තරමක කුඩා කෑලිවලට කපලා ලුණුයි ගොරකයි දාලා තම්බලා වතුර පෙරාගන්න.

භාජනයකට තෙල් දාලා රත් වෙනකොට  ඉඟුරු සුදුලූනු දාලා බැදෙන්න අරින්න.

ඒකට තළාගත්තු සේර කෑල්ල, අබ ක්‍රීම් ටික, විනාකිරි, ගම්මිරිස්, සීනි, තුනපහ කුඩු, මිරිස් කුඩු, ලුණු දාලා කලවම් කරගන්න.

 

ඒකට රතුලූනු දාලා විනාඩි 5ක් තැම්බෙන්න ඇරලා පළාගත් අමු මිරිස් දාලා අන්තිමට පොලොස් ටිකත් දාලා කලවම් කරන්න.

**********

ජාඩියට මූඩිය මාළු ජාඩි

ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑහෙන, ගැළපෙන එහෙම නැත්නම් අද කාලෙ භාෂාවෙන් කියනවා නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ. ජාඩි කියන්නේ ඕනෑම කෑමක් එක්ක පෑහෙන කෑමක්.

මොනවද හැබෑටම ජාඩි කියන්නෙ ? මේ දකුණු පළාතේ මුහුදු කරේ ගම්වල අැති ප්‍රසිද්ධ කෑමක් . ඇත්තටම කිව්වොත් මේ මාළු කල්තියාගන්න සරල ක්‍රමයක්. වැල්ලකරේ ගම්වල මාළු අතිරික්තයක් තියෙන කාලෙට ලුණුත් ගොරකත් දාලා මාළු කල් තියාගත්තා අවාරෙට එහෙම නැත්නම් අහේනි කාලෙට කන්න . ජාඩි කන්නත් , ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය, දොඩන්දූව, රත්ගම, ගිංතොට, අහංගම, මාගාල්ල, මාතර වගේ පළාත්වල.

මේ මාළු ජාඩිය හදන්න කෙලවල්ලා හෝ බල මාළු කූරි 2ක් (කිලෝ 2ක්), දිය ලුණු ග්‍රෑම් 500ක් සහ ගොරකා ග්‍රෑම් 175ක් පමණයි අවශ්‍ය වන්නේ.

 මාළුවා හොඳින් ලුණු වතුරෙන් සෝදාගන්න. සාමාන්‍ය වතුර පාවිච්චි කරන්න එපා. ලුණු වතුරෙන්ම පිරිසුදුකර ගන්න. වතුර බේරෙන්න කට පහළට සිටින සේ එල්ලා තබන්න.

දියලුණු කැට හොඳට කුඩුකර ගන්න. මාළු අඟලක වගේ ඝනකම් පෙති කපලා ලුණු හොඳට තවරාගන්න. 

තෙත නැතිවෙන්න අව්වේ හොඳට වේළාගත් මැටි මුට්ටියක අඩියට ලුණු ගොරකා තට්ටුවක් දාලා මාළු පෙති අසුරාගන්න. ඊළඟට තව ලුණු හා ගොරකා තට්ටුවක් දාලා ආයෙ මාළු පෙති අතුරාගන්න. 

මේ වගේ තට්ටු කිහිපයක් දාලා උඩින් ගොරකා හා ලුණු දාලා රෙදි කෑල්ලකින් හොඳට වහලා දර ළිිප ආසන්නයේ එල්ලලා තියන්න. 

 

**********************

මාළු අච්චාරු

සිංහල අච්චාරුව වගේම මාළු අච්චාරුවත් කල් තියාගෙන රස බලන්න පුළුවන්.

මේ සඳහා මාළු ග්‍රෑම් 500ක්, මාළු මිරිස් ග්‍රෑම් 500ක්, වම්බටු ග්‍රෑම් 500ක්, රතුලූනූ ග්‍රෑම් 250ක්, අබ ස්වල්පයක්, අමු ඉඟුරු කෑලි 2ක්, විනාකිරි කෝප්ප 1ක්, ලුණු හා ගම්මිරිස් කුඩු සහ කහ කුඩු ස්වල්පයක් අවශ්‍යයි.

මාළු සෝදා ලුණු හා ගම්මිරිස් කුඩු තවරා පැය 1/2ක් සීසන් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. වම්බටු ටිකත් දික් අතට කපලා කහ හා ලුණු අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. 

මාළු මිරිස් දික් අතට පළාගන්න. අබ, අමු ඉඟුරු, මිරිස්කුඩු හා විනාකිරි ස්වල්පයක් එක්ක අඹරාගන්න. 

මැටි භාජනයක් ළිපේ තියලා ඉතිරි විනාකිරි ටික දාලා රත්වෙනකොට රතුලූනූ හා මාළු මිරිස් දාලා තම්බගන්න. දැන් මේකට අඹරාගත් පේස්ට් එක දාලා මාළු හා වම්බටු එකතු කරලා කලවම් කරන්න. හොඳට වහලා තියන්න.