වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
අන්නාසි ප්‍රේමය..!
පලතුරු ලෝකයේ රජ්ජුරුවෝ අඹ කියලා සමහරු කියනවා. මටනම් ඉතින් අන්නාසි තමයි රජ්ජුරුවෝ. ඔටුන්නකුත් ඔළුව උඩ තියාගෙන හිනාවෙන හින්දා මේ යෙදුම හොඳටම ගැළපෙනවා කියලයි මටනම් හිතෙන්නේ. ඉස්සර අපේ ගමට අල්ලපු ගමේ ඒ ගමට කීවේ මඟුරුගොඩ කියලා.
හේතුව මඟුරෝ පිරුණු දිය කඳුරක් කඳු මුදුනේ ඉඳලා කැලේ මැදින් ඇවිත් රබර් කැලේට බැහැලා පාර හරහා ගිහින් ගඟට එකතුවුණ නිසා. අද ඒ මඟුරෝ පිරුණ දිය කඳුර එහෙම නැත්තම් ඇළ පේන්න නෑ ඒක පොළව අස්සට ගිලාබැහැලා අතුරුදන් වෙලා. හේතුව තමයි මැණික් පතල්. ලංකාවේ හොඳම නිල් මැණික් සහ පුෂ්පරාග කාලයක් හම්බවුණේ මේ හරියෙන්. ගෙදර ඉඳලා පයින් එන දුර වුණාට ඒ මැණික් නිධියෙන් මට වැඩක් වුණේ නෑ. කොහොම වුණත් ඔය ඇළට සමීපව විශාල ගල් කුළක් තිබ්බා. ඒ ගල් කුළේ තට්ටේ වහගෙන හිටියේ ගල් අන්නාසි කුමරියෝ. බූසියට ගල් අන්නාසි ගල වහගෙන සැතපිලා හිටියා. හැම කාලෙකම ගල් අන්නාසි අහසට හිනා වුණා. සමහර ගෑනු වැඩ වැරදුනාම මේ ගල්කුල නැඟලා අන්නාසි ගැට කඩාගෙන යනවා කියලා අහලා තියෙනවා. කොහොම වුණත් අපිනම් ඔය ගල් කුළට නැග්ගේ ගැට අන්නාසි කන්න නෙවෙයි ඉදිලා කහ වුණ එහෙම නැත්නම් ඉදෙන්න ඔන්න මෙන්න අන්නාසි රජ්ජුරුවෝ කඩලා ගලේ ගහලා කන්න. ගල් අන්නාසියා ගලේ ගැහුවාම ඇතුළ ජොහොර වෙලා ජූසි වෙලා මාර රසක් තමයි කටට පනින්නේ. දත් සුදුවෙලා එකට ජරජර ගාලා ලිස්සන මට්ටමට අපිට අන්නාසි දෙන්න මේ ගල හැමදාම බලාගෙන හිටියා. අද ඒ ගලත් පොළව අස්සට ගිහින් අන්නාසි වදුල එක්කම. මේ විදිහට තැනින් තැන ගල් කුළුවල පදිංචි වෙලා හිටිය ගල් අන්නාසියෝ අද කලාතුරකින් තමයි පේන්න ඉන්නේ. ඒ වෙනුවට ගෙවල්වල අයින්වල ගල් වැටි අයිනේ, කානු අයිනේ හිනාවෙන්නේ මුරුසි අන්නාසි.
මටනම් ඒක ගල් තරම් රස නෑ.
ඉස්සර ගඟ පැන්නාම ගේ ඉස්සරැහින් ඩයිස් වත්ත කියලා රබර් වත්තක් තිබ්බා. ඒකේ හැම ගල්වැටියකටම මුරුසි ඉන්දලා තිබුණා. ඉතින් අපි හවසට අන්නාසි හොරාකන්න යනවා. ගිහිං තොගගාණට තමයි කඩාගෙන එන්නේ. ඇවිත් කපලා කපලා ගම්මිරිස්, ලුණු, රතු මිරිස් කුඩු, සීනි එක්ක එකට අඹරලා අච්චාරු දානවා. අම්මෝ ඒකේ රස. අඩියේ ඉතුරුවෙන පැණිය තමයි පැණිය.
ඔහොම අන්නාසි කඩාගෙන ආපු දවසට අපේ අම්මා අන්නාසි මාළුවක් හදනවා ඒක මරු රස කෑමක්. ඒක හදන්න පැහුණු අන්නාසියා තමයි ගන්නේ. අච්චාරුවට වගේ කපලා ලුණු ගම්මිරිස්, කෑලි මිරිස්, කුරුඳු අඩුම කුඩුම සේරම දාලා තෙලට දාන එක තමයි කරන්නේ. වහලා තියලා ජූස් ගතියට ආවාම මිරිස් රසය බලලා සීනි ටිකක් ඉහිනවා. සුදු බත් මරන්න පුළුවන් බැදුමක් එහෙමත් නැත්තම් චට්නියක් වගේ මාළුවක් තමයි මේක.
ඉදුණු අන්නාසියා හම්බවුණාම ටිකක් ලොකුවට කෑලි කපලා රට ලූනුවත් ලොකුවට රවුමට කපලා අතට අහුවෙන්න හොඳට කරපිංචා දාලා රම්පේ දාලා කෑලි මිරිස් අඩුවෙන් කොටපු ගම්මිරිස් තෙලට දාලා තවත් රස අන්නාසි බැදුමක් හදනවා. මේකත් පට්ටම රස කෑමක්. කොළපාට මිරිස් ටිකක් ලොකුවට කපලා මික්ස් කරන්න ඕනෑ. උම්බලකඩත් දාගන්න ඕනී. බත් මරන්න පුළුවන්.
ඒවගේම ඉතින් අන්නාසි ගෙඩිය පිටින් පුච්චලා ලෙල්ල කළු වුණාට පස්සේ හොඳට රැහැලා රවුම් කපලා ඒක ෆ්‍රයිඩ් රයිස් හදනකොට ඒක උඩින් දාගෙන කන්න බලන්න ඒකත් මාරම රහයි. අන්නාසිය රැහැලා ගම්මිරිස් ලුණු ඉහලා රවුමට කපලා බත් පිඟානේ පැත්තකින් තියාගත්තාම කන්න පුළුවන් රුවන්වැලිය වගේ බත් සෑයක්.
අන්නාසි කියන්නේ පලතුරක් වුණාට එක එක විදිහට උයාගන්න පුළුවන් පිස්සෙක්. ඌරු මස් හොඳට තෙලේ බැදගෙන ඒක අන්නාසි කෑලි එක්ක දවාගෙන ඒක ඉඩින් ගම්මිරිස් කෑලි මිරිස් වළාවක් ඉහගෙන ආයේ තෙලට දාලා පොඩ්ඩක් එහෙට මෙහෙට උරච්චි කරලා කාලා බලන්න ඒකත් පට්ට රහයි.
හරක් මස් කැටයට කපලා ඒක ජෑම් බෝතලයකට දාගෙන ඒකට සුදුලූනු බිකක්, කොළ මිරිස් දෙක තුනක්, තක්කාලි ගෙඩියක්, ගම්මිරිස් ඇට ටිකක්, කුරුඳු කෑල්ලක්, තියෙනවානම් රෝස්මරී ඉත්තක්, ඔරිගානෝ වගේ හර්බ්ස් වර්ග ටිකක් ඔන්නොහොම අඩුම කුඩුම සේරම එකතුකරගෙන ඒකට අන්නාසි කෑලිත් දාලා ලුණු පදමට දාලා ඒක හොඳට සීල් කරලා නටන වතුර එකට බස්සලා හිටවලා වහලා තියලා මිනිත්තු 15කට විතර පස්සේ උස්සලා අරගෙන සීතල වෙන්න තියලා ඇරලා කාලා බලන්න පිස්සු හැදෙයි. මාංසය අස්සේ සහ අන්නාසියා අස්සේ තියෙන වතුරෙන් තමයි වැඩේ ඉදෙන්නේ.
ksanjeewa1000@ gmail.com