කතා කරන ඇස් දෙකට Eye Lash Extension

අප්‍රේල් 3, 2023

කතා කරන ඇස් දෙකක් මුහුණකට ගෙන එන්නේ අපූර්වතම සුන්දරත්වයක්. ඇස්වල ආකර්ෂණීය බව දෙගුණ තෙගුණ කරවන්නේ ඇස් පිහාටු. දිගු ඇස් පිහාටුවලින් විහිදෙන සුන්දරත්වයට කවුද ආසා නොකරන්නේ.

ස්වාභාවිකවම දිගු ඇස් පිහාටු පිහිටා නොමැති අයගේ හිතේ පුංචිම හෝ කනස්සල්ලක් ඇතුවාට සැක නැහැ. Eyelash Extension ඔබේ පිහිටට ඉන්න නිසා ඒ ගැන කොහෙත්ම පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ.

ස්වාභාවික ඇස්පිහාටු මතට කෘත්‍රිම ඇස් කෙඳි සම්බන්ධ කිරීමේ ක්‍රියාවලියක් මෙහිදී සිදු වන්නේ. එය සිදු වන්නේ විශේෂිත ගම් වර්ගයකින්. මේ සඳහා ඔබ තෝරා ගත යුතු වන්නේ පුහුණුවලත් රූපලාවණ්‍යවේදියක්. ඔවුන් බොහෝවිට හඳුන්වන්නේ Lashe Extensions Artist ලෙස.

ඔබේ ඇසේ හැඩය, පෙනුම අනුව තෝරා ගත හැකි කදිම ඇස් පිහාටු මෝස්තර තිබේ. ඒ සඳහා රූපලාවණ්‍ය ශිල්පියාගේ සහය වටිනා එකක් වේවි. වඩාත් ස්වාභාවික පෙනුමන් ගෙන දෙන ඇස් පිහාටු මෝස්තරයක් පැලඳුවොත් එය කෘත්‍රිම එකක් යැයි බැලූබැල්මට හඳුනා ගන්නටත් නොහැකි වේවි. වඩාත් ඝනකමින් සහ දිගින් යුතු ඇස් පිහාටු යුගලක් ඔබේ තේරීම බවට කිසිදු සැකයක් නැහැ.

තනි ඇස් පිහාටුවේ සිට 2D, 3D, 4D, 5D, 6D, 10D හා 12 D දක්වා ඇස් පිහාටු පවතී. මේවා මිලීමීටර් 8 සිට 19 දක්වා දිග ප්‍රමාණවලින් යුතුවේ.

* පළමුව ඇස් පිහාටු හොඳින් පිරිසුදු කරගත යුතුයි. මෙයින් ඇස් පිහාටුවල ඇති කුණු, දූවිලි, විස බීජ සියල්ල ඉවත් වේවි.

* ඉන්පසු ඇස් යට පිල්ලම් කොටස වැසියන ආකාරයට eye gel එකක් සහ විශේෂ ටේප් එකක් යොදා ගනියි.

* Eye Lash Extension ක්‍රියාවලිය සඳහා පැය 1 සිට පැය දෙක, තුනක කාලයක් ගත විය හැකියි.

* පළමු පැය 48 තුළදී හැකිතාක් ජලයට නිරාවරණය නොවන පරිදි පවත්වා ගැනීමෙන් මෙහි ආයු කාලය හොඳ වේවි. පැය 48 ක් පමණ ඇස් පිහාටු වියළිව තබා ගැනීමෙන් අනතුරුව ඔබට පිහිනීම, ස්නානය කිරීම කළ හැකියි.

* Eye Lash Extension ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වාම සෑම කෙනකුටම පාහේ සියයට සියයක්ම වේදනාරහිතය.

* ප්‍රමිතියෙන් යුතු හොඳ අමුද්‍රව්‍ය භාවිත කරන රූපලාවණ්‍යවේදියකු තෝරා ගැනීම වැදගත් කරුණකි. විශේෂයෙන්ම ඉහළ ප්‍රමිතියෙන් යුතු මැලියම් වර්ගයක් නම් භාවිත කළ යුතුමයි. එයින් ආසාත්මිකතා ඇති වීමේ ඉඩකඩ අවම වේ.

Lash Extension එකක් කිරීමෙන් පසු එය සති දෙකේ සිට හතර දක්වා කාලයක් පවත්වා ගත හැකි අතර ඊටත් වඩා කාලයක් පවත්වා ගැනීමට නම් දෙවැනි සතියේ සිට හතරවන සතිය දක්වා කාලය තුළ නැවත Refill කළ යුතුය.

* අනවශ්‍ය ලෙස ඇස් පිහාටු මත තෙරපීම, කැසීම නොකළ යුතුය.

* තෙල් රහිත මෘදු පිරිසුදුකාරකයක් මඟින් මුහුණ පිරිසුදු කිරීම වඩාත් යෝග්‍ය වේ.

Eye Lash Extension හි අවාසි

 

මෙහි ඇති ආකර්ෂණීය බව මෙන්ම අවාසි සහගත බව පිළිබඳවද හිතන්නට වේවි.

යම් යම් ආසාදනයන් මෙන්ම ඉදිමීම්, කැසීම් වැනි තත්ත්ව ද මේ හරහා ඇතිවන්නට පුළුවනි. රූපලාවණ්‍යාගාරයක් වෙතින් මෙම ක්‍රියාවලිය සිදු කර ගනිද්දී පළමුව පැච් පරීක්ෂණයක් කළ යුතුයි. එවිට භාවිත කරනු ලබන මැලියම් වර්ගය ආසාත්මිකතාවක් ඇති කරන්නේද නැද්ද යන්න පිළිබඳ දැනගත හැකියි.

 

උපදෙස් :

මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය ශිල්පිනි

ඉෂාරා කෝර⁣ළගේ