සංහිඳියාව කියාපාන මුස්ලිම්- හින්දු මනාලිය

ජනවාරි 20, 2025

 

මුස්ලිම් සහ හින්දු ජාතික යුවතියන් මනාලියක ලෙස හැඩ වන්නට රූපලාවණ්‍ය ශිල්පියකු වෙත පැමිණෙන්නේ නම් ඇයවද සිත් ළගන්නා සුළු අන්දමින්, මනා නිමාවකින් යුතුව හැඩ වැඩ ගන්වන්නට ඔබට හැකි විය යුතුයි. ඒ පිළිබඳවද මනා දැනුම්වත් වීමක් තිබිය යුතුයි.

 

උඩරට, පහතරට මනාලියන් ඇන්දවීම පිළිබඳ මනා පළපුරුද්දක් ඇතත් සාමාන්‍යයෙන් මුස්ලිම් සහ හින්දු මනාලියන් හැඩගැන්වීම කලාතුරකින් සිදුවන නිසා ඒ පිළිබඳ හැදෑරීමක් තිබීම අත්‍යවශ්‍ය වේ.

මනාලියන් වර්ග 5ක් හැඩ වැඩ ගන්වන්නට NVQ 4 පාඨමාලාව හදාරන ඔබ දැන සිටිය යුතුයි. මුස්ලිම් මනාලිය සහ හින්දු මනාලියද ඒ අතරට අයත් වේ.

 

මුස්ලිම් මනාලිය

මුස්ලිම් මනාලිය හැඩගැන්වීමේ දී විවිධ ක්‍රම අනුගමනය කළ හැකි වෙයි. පහතරට මනාලිය අඳින ආකාරයටද, ගුජරාට් ආකාරයටද, නූතන මුස්ලිම් මනාලිය මැක්සි ගවුමද අඳිනු ලබයි. ඒ ඒ ඇඳුමට ගැළපෙන පරිදි මුස්ලිම් මනාලියට සුදුසු අයුරින් සාරිය සහ මල් කලඹ සකසා ගැනීම සිදුවේ.

මුස්ලිම් මනාලිය හැඩගැන්වීම විවිධ අන්දමින් සිදුකෙරේ. හිස වසා සිටීම, සාරිපොට ඉදිරියට දමා බෙල්ට් එකක් බැඳගැනීමද සිදු කළ හැකි වේ. සාමාන්‍යයෙන් මුස්ලිම් මනාලිය එහෙම පිටින්ම හිස වසයි.

 

මුස්ලිම් මනාලියගේ ආභරණ

* නළල් පටිය

* තාලිය (මෙය අනිවාර්ය ආභරණයකි)

* කනට තෝඩු

* මුකුත්ති

* බඳ පටිය

* වළලු

මුස්ලිම් මනාලියගේ මංගල ඇඳුම

මුල් කාලයේ විවාහය සඳහා මුස්ලිම් මනාලියට විශේෂ ඇඳුමක් නොතිබුණි. මුස්ලිම් මනාලියගේ මංගල ඇඳුම තේරීමේදී 'අබායා බ්‍රයිඩ්ල්' යන්නෙහි අදහස හරියාකාරව තේරුම් ගත යුතුයි.

මනාලියගේ සිරුර මංගල ඇඳුමෙන් වැසෙනවා සේම ශරීරයේ වෙනත් කිසිදු තැනක් විවෘත නොවිය යුතුයි. එබැවින් මුස්ලිම් මනාලියකගේ මංගල ඇඳුම විය යුත්තේ ගවුමයි. එසේම මනාලියගේ හිස සම්පූර්ණයෙන්ම වැසිය යුතුය. කාන්තාවන් පමණක් උත්සවයට සහභාගි වන තැන මනාලියට අත් ආවරණ නොදැමීම ගැටලුවක් නොවේ. මෙහෙන්දි රටා හොඳින් පෙන්වීමට මෙය කදිම අවස්ථාවකි.

හින්දු මනාලිය සහ ද්‍රවිඩ මනාලිය වශයෙන් වර්ග දෙකක් තිබේ. මේ අතර සුළු සුළු වෙනස්කම් තිබේ.

 

හින්දු මනාලිය

හින්දු මනාලියක් හැඩගැන්වීමේ දී එහි ආගමානුකූලව ඒ ඒ සිරිත් විරිත් අනුව සිදු කෙරෙයි. හින්දු මනාලිය බොහෝ විට එකම ක්‍රමයක් අනුගමනය කරයි. ඇයට ආවේණික ආභරණ කට්ටලයක් තිබේ. අනිවාර්යයෙන්ම හින්දු මනාලිය සැරසෙන්නේ සාරියකිනි.

සාරිය තෝරා ගැනීම

ප්‍රථමයෙන් මනාලියට සුදුසු සාරිය තෝරාගැනීම කළ යුතුය. වඩාත් යෝග්‍ය වන්නේ මනිපුරී, කංජිපුරම් සාරි වේ. හැට්ටයද ගැළපෙන ආකාරයට තෝරාගෙන මසා ගැනීම යුතුවේ. බොහෝ විට අත දිගට දැමූ හැට්ටයක් තෝරා ගනියි.

හැඩගැන්වීම

යටසායත්, හැට්ටයත්, සෙරෙප්පු දෙකක්(සමහර විට සෙරෙප්පු නොදමයි.) පැලඳීමෙන් පසු කොණ්ඩා මෝස්තරය දැමීම සිදුකරයි. පාද සහ අත් විසිතුරු ලෙස සකසනු ලබයි. කොණ්ඩය බොහෝ විට දමන්නේ දිගට ගොතා ගැනීමෙනි. කොණ්ඩය දිගට මල් ඇමිණීම සිදුකර කොණ්ඩය අගිස්සට කුංකුම ගැට ගසයි.

 

මේක්අප් කිරීම

හින්දු මනාලියට ගැළපෙන ලෙස මේක්අප් එක සිදු කරයි. ඇස් දිගටි ස්වභාවයක් පෙන්නුම් කිරීම වඩාත් යෝග්‍ය වේ. නළලට තිලකය සහ ඇහි බැම දිගට ඩොට් තබා ගැනීම සිදු කළ යුතුයි.

සාරිය ඇන්දවීම

මේක්අප් කිරීමෙන් පසු සාරිය ඇන්දවීම සිදුකරනු ලබයි. සාරියේ ඇන්දීමේදී කර වැසෙන සේ ෆ්ලීට් තියා සාරි පොට අන්දවයි. මුස්ලිම් ක්‍රමයට මෙන් හිස සාරි පොටින්ම වසනු ලබයි. සාරිපොට දිගට දැමිය යුතුය. ඉන්පසු එම මනාලියට ආභරණ පැලඳීම සිදු කළ යුතුවේ. ඉණට පටිය ද අතට හා පයට මරතෝණ්ඩි හෝ ටෙක්ස්ටා ගල්වා හැඩ ගැන්වීම සිදුකරයි.

හින්දු මනාලියගේ ආභරණ කට්ටලය

* නළල් පටිය

* ඔළුව මුදුනට පදක්කම් දෙක

* තාලිය

* මූකුත්තී

* කඩුක්කන් සහ මයුර මාට්

* කාසි මාලය

* පදක්කම් මාලය

* බඳ පටිය

* අත් පලඳනා

* අතට වළලු

* කොණ්ඩය අගට කුංකුමී

 

මල් කලඹ

හින්දු මනාලිය මල් කලඹක් වෙනුවට මල් මාලයක් දමයි.

දෙවැනි ගමනට හා Going away වලදී හින්දු මනාලියක් සේ සැරසීම අද සිංහල යුවතියන් අනුගමනය කරයි.

 

ද්‍රවිඩ මනාලිය

තමා මංගල දිනයේදී තද වර්ණයන්ගෙන් යුතු සාරි වර්ග තෝරා ගනු ලබයි. සාරි හැට්ටය මැසීමේදී කර වැසෙන ආකාරයේ හැට්ටයක් මසනු ලබයි. රන් පාට වර්ණයෙන් යුතු සපත්තු තෝරා ගනී.

මේක් අප් කිරීමට ප්‍රථම සාරි හැට්ටය හා සාය, සපත්තු පැලඳිය යුතුය. බොහෝ විට ද්‍රවිඩ මනාලියන් කොණ්ඩ මෝස්තර දමන්නේ නැත. ඔවුන්ද කොණ්ඩය දිගට ගොතනු ලබයි. කොණ්ඩය ගොතා අගට කුංකුම දමයි. හිසට පිච්ච මල් ගොතා දිගට දමයි.

මීළඟට මේක අප් කරනු ලබයි. මනාලියගේ මුහුණට ගැළපෙන අයුරින් මේක්අප් කළ යුතුය. බොහෝ විට ද්‍රවිඩ මනාලියන්ගේ මුහුණ මෙන්ම ඇහි බැම ද විසිතුරු ලෙස හැඩ ගන්වනු ලබයි. ඊළඟට සාරිය අන්දනු ලබයි. සාරිය ඇන්දවීමෙන් පසු ආභරණ වශයෙන් ඉණට සාරි පටියක් බඳිනු ලබයි.

ද්‍රවිඩ මනාලිය සඳහා ගන්නා සාරි වර්ග

* කූර සාරි

* ශිපෝන්

* ශිමර්

* මනිපූරි සාරි

* ලේස්

 

ද්‍රවිඩ මනාලියගේ ආභරණ

* ඔච්චියාන (ඉණපටිය)

* කාසි මාලය

* බෙල් එකක්

* මූකුත්තිය

* මාට්ටල (නහයේ සිට දමන මාලය)

* අත මුදු වළලු සහ සාරි වළලු

* දිවිත්තිය (කරාබු)

* නේත්ති පට්ටම් (තැල්ල)

* උච්ච පට්ටම් (ඉර හඳ)

* ඇහි බැම උඩින් තැබීමට තද පාට පොට්ටුවයි ළා පාට පොට්ටුවයි

* නළල මැදට රතුපාට පොට්ටුවක්

තැල්ල

විවිධ හැඩයෙන් යුත් තනි පට හෝ තුන් පට සහිතව මනාලියගේ හිස සැරසීමට යොදා ගනු ලබයි.

කරාබු

එල්ලෙන කරාබු ද්‍රවිඩ මනාලිය සඳහා යොදා ගනියි. ඇතැම් විට මෙම කරාබු ජෝඩුව හිසේ රැඳවිය හැකි දම්වැලකින්ද සමන්විත වේ.

නාස් මුදුව

මනාලියගේ නාසය හැඩගැන්වීමට භාවිත වේ.

ඉර හඳ

ඉර හඳ පැලඳීමෙන් අදහස් කරනුයේ ඉර හඳ පවතින තුරු විවාහය පැවැත්වීමයි. ඉර දකුණට ද හඳ වමට ද පැලඳිය යුතුය. හිරුගේ ගතිගුණ තරුණයාටත් සඳුගේ ගතිගුණ තරුණියටත් සමාන කර ඇත. මෙම ආභරණ පැලඳීම නිසා මනාලියට තමාගේ පතිවෘත්තය ආරක්ෂා කරගැනීමට හැකි වන බව සංකේතවත් කරයි.

 

 

ඉදිරිපත් කිරීම

ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)

චර්ම රෝග විශේෂ

චාමලී කල්දේරා

(NVQ Level-3/4 ඇගයීම් නිලධාරිනි)

 

[email protected]