වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
රුවත් සුවයත් රකින පලතුරු ලොවේ රජු
යුරෝපයට ඇපල් වගේ ඉන්දියාවට, ලංකාවට ආවේණික රස පලතුරක් තිබේ. වසර හය දහසකට පමණ පෙර සිට ‘පලතුරු ලොවේ රජු’ ලෙස ඉන්දියානුවන් හඳුන්වන ඒ පලතුර අන් කිසිවක් නොව අඹය. ලාංකේය අප රස බලන්නේ අඹ ගෙඩියේ මදය (මාංසල කොටස) පමණයි.
එහෙත් අපේ අසල්වැසි ඉන්දියානුවන් නම් අඹ මදයේ මී පැණි පරදන රසය වගේම ඇටයේ, ලෙල්ලේ රසය, ගුණය විඳින්නට අමතක නොකරයි.
ජනවාරි සිට අගෝස්තු දක්වා අඹ වාරය වන නමුත් වැඩිපුරම අඹ රස විඳින්නට ලැබෙන්නේ ජූනි මාසයේය.
අප රස විඳින අඹ මද කෝප්පයක, (ග්‍රෑම් 165 ක) ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට්, මේදය, තන්තු, විටමින් සී, තඹ, ෆෝලේට්, විටමින් බී 6 (පිරිඩොක්සීන්), විටමින් ඒ, විටමින් ඊ, විටමින් බී 5, විටමින් කේ, නියැසින්, පොටෑසියම්, රිබොෆ්ලෙවින්, මැංගනීස්, තයමින්, මැග්නිසියම් අඩංගුය. ෆෝලේට්, බී 6, බී 5, නියැසින්, තයමින් සියල්ල විටමින් බී කාණ්ඩය. මේ සෑම බී කාණ්ඩයක්ම අපට තාරුණ්‍ය රැක ගැනීමට අත්‍යවශ්‍යය. මේවාට අමතරව පොස්පරස්, පැන්ටොතෙනික් අම්ලය, කැල්සියම්, සිලේනියම් සහ යකඩ ද ස්වල්ප වශයෙන් අඩංගුවී තිබේ. බාහිරින් ශරීරගත වන විස විනාශ කිරීම කාලින අවශ්‍යතාවකි. අප ජිවත් වන්නේ අතීතයේදීටත් වඩා විස පිරි පරිසරයකය. අඹවල ප්‍රතිඔක්සිකාරක විසනාශක අඩංගුය. ප්‍රතිශක්තිය හෙවත් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවන විටමින් ඒ, සී, ෆෝලේට්, කේ, ඊ, බී කාණ්ඩ තිබිම මේ පලතුරේ තවත් සුවිශේෂී ගුණයකි. අඹවල මැග්නීසියම්, පොටෑසියම් අඩංගු අතර ඒවා හදවතේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවයි.
ජීර්ණ ගැටලු ඇත්නම් අඹ ගෛඩියක් කෑමට ගන්න. ඉදුණු අඹවල යහමින් ජීර්ණ එන්සයිම අඩංගුයි. මළ බද්ධය ඇත්නම් දිනපතා අඹ ගෙඩියක් රස බැලීමෙන් ඉන් සහනයක් ලද හැකිය. ඇස්වල සෞඛ්‍ය සුරකින ප්‍රධාන පෙළේ පෝෂක සහ ප්‍රතිඔක්සිකාරක මෙහි අඩංගු බැවින් හිරු කිරණින් ඇසට වන හානිය අවම කරයි. විටමින් ‘ඒ’ ඇති නිසා ඇස් වියළීම, රාත්‍රී අන්ධතාව වළකයි. ඇතැම් පිළිකා වර්ග වැලඳීමේ ඉඩකඩ ද මෙහි අඩංගු පිළිකාවලට ප්‍රතිවිරුද්ධ රසායන නිසා අඩුවෙයි.
එක් අඹ කෝප්පයකින් තාරුණ්‍ය සුරකින විටමින් සී දෛනික අවශ්‍යතාවෙන් සියයට 67 ක් අඩංගුය. ඒ නිසා රැලි නොවැටුණු, එල්ලා නොවැටෙන තාරුණ්‍යයෙන් පිරි සමක් හිමි කර ගැනීමට අඹ රස බැලීමෙන් හැකිවන බව සොයා ගෙන තිබේ. එපමණක් නොව විටමින් ‘ඒ’ සහ විටමින් ‘සී’ හිස් කබලේ තෙතමනය රඳවා ගනිමින් කෙස් කලඹේ නීරෝගීතාවය පවත්වා ගැනීමට ද උපකාරී වෙයි.
ආයුර්වේදයට අනුව ඉදුණු අඹ තුන් දොස සමනය කරයි. ශක්ති ජනකයක් ලෙස ක්‍රියා කරයි. අමු අඹ වෙනත් පලතුරු සමඟ මිශ්‍ර කර කෑමට ගත යුතුය. තනිව ගත් විට තුන් දොස කුපිත වෙයි. විශේෂයෙන් පිත් දොස් කුපිත වෙයි. අඹ චට්නි ජීර්ණය වැඩි දියුණු කරයි.
අඹ මදය කෑමට ගෙන ලෙල්ල විසි කළ ද එය ද රසයෙන් නොඅඩුව ගුණ ආකරයකි. දියවැඩියාව වළක්වන, පිළිකා වළක්වන ගුණයක් අඹ ලෙල්ලේ පවතී. ඊට අමතරව අඹ මදය සතු සියලු ගුණ අඹ ලෙල්ලේ ද ඇත.
ඇති තරම් රස බලා අප අඹ ඇටය ඉවතට විසි කළ ද අඹ ඇටයේ ගුණ දන්නා ඉන්දියානුවෝ එයින් උපරිම පල ලබති. අඹ ඇට වියළා කුඩු ලෙස ගත් කළ ලබා ගත හැකි ප්‍රයෝජන රාශියකි. සෙවණේ අඹ ඇට වියළා කුඩුකර ගන්න. පාචනය, ඩයරියා ඇති විට මී පැණි, අඹ කුඩු ග්රැම් 1 - 2 ක් සමඟ මිශ්‍රකර කෑමට ගන්න.
බර වැඩිනම් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමට අවශ්‍ය නම්, සීනි මට්ටම අඩුකර ගැනීමට අවශ්‍ය නම් අඹ ඇටයේ කුඩු ආහාරයට මිශ්‍රකර ගන්න. අධික රුධිර පීඩනය අවම කර ගැනීමටත්, හෘද රෝග අවදානම අඩුකර ගැනීමටත් අඹ ඇටයේ රසායන, විවිධ සංයෝග උපකාරී වෙයි. දියවැඩයාවෙන් සහනයක් ලැබීමටත් අඹ ඇටයේ කුඩු යොදා ගත හැකියි.
නිරෝගී සුවය වාගේම රුව හැඩ කර ගැනීමට ද ඉදුණු අඹ ගෙඩිය අපට උදව්වෙයි. ඉදුණු අඹ මදය අපූරු ‘බොඩි ස්ක්‍රබ්’ එකකි. ඉදුණු අඹ පල්පයක් සාදා ඊට මී පැණි සහ කිරි ස්වල්පය බැගින් එක්කරන්න. මිනිත්තු 10 - 15 තබා සෝදා හරින්න.
2019/09/25 තරුණි බලන්න