ප්‍රේමණීය සොඳුරු ඇදුරිඳුගේ සදාකාලික නික්මයාම

නොවැම්බර් 13, 2023

කාලය ක්‍රමයෙන් ගෙවී යයි. ගෙවී යන කාලය අපට දන්වා හෝ නොදන්වා හෝ අවසරයකින් හෝ අනවසරයකින් බො‍හෝ දේ වෙනස් කරයි. එසේ වෙනස් කරනු ඇතැම් දෙයට අප බොහෝ ප්‍රිය වුවද ඇතැම් දේ නිමේෂයකින් වෙනස් වන්නේ නැවතත් එය පුරවාලිය නොහැකි වේදනාබර හිස්තැනක් ද තබමිනි.

පසුගිය දිනක උදෑසන තරුණී කර්තෘ මණ්ඩලයට ලැබුණ අසුබදායක ඒ ආරංචිය ද රුවට රූපලාවණ්‍යයට ආදරය කරන සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට කඳුළු බරිත ප්‍රවෘත්තියක් වූයේ එතරමටම ඔහු ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය තුළ නොමැකෙන සංධිස්ථානයක් සනිටුහන් කළ බැවිනි.

ප්‍රේමසිරි හේවාවසම්... එහෙමත් නැත්තම් අපේ ආදරණීය ප්‍රේම් අයියා එදින සදහටම මෙලොවින් අප සියලු දෙනා අතහැර ගොස් තිබුණි. ප්‍රේම් අයියා හා තරුණී අතර තිබුණේ ගසක පොත්තක් වැනි බැඳීමකි. තරුණී ප්‍රේම් අයියාට ආදරය කළ තරමටම ප්‍රේම් අයියා ද පෙරළා තරුණී වෙත ආදරය සහ ගෞරවය දක්වන්නට කිසිදා අමතක නොකළේය. ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සුදීප්තිමත්ව පහන් තාරකාවක් වූ ප්‍රේමණීය ප්‍රේම් අයියා තිස්දහසකට නොඅඩු රූපලාවණ්‍ය ශිල්පීන් ගොන්නක් ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍ර යට දායද කිරීමට දිරියෙන් උරදුන් පරමාදර්ශී ගුරුවරයකු බව ගෞරවාදරයෙන් සිහිකළ යුතුමය.

ප්‍රේම් අයියාගෙන් ගුරු හරුකම් ලැබු ආධුනිකයන් අද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ව දිදුලන්නේ ඒ ගෞරවාන්විත ගුරුහරුකම්වලට පින්සිදු වන්නටය.

ප්‍රේම් අයියා නිරතුරුවම ගුරු මුෂ්ටියෙන් තොරව තමාට ලැබෙන යාවත්කාලීන දැනුම තම ගෝල පරපුරට නොමඳව ලබා දුන්නේය. ඒ සඳහා තරුණී පාඨකයා සහ ප්‍රේම් අයියා යා කළ සුවිශේෂී පාලම බවට පත්වූයේය.

තරුණිට නව දැවැන්ත යුගයක් බිහිකළ හිටපු කර්තෘවරයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සමරසිංහයන් ආදරණීය ප්‍රේම් අයියාගේ දායකත්වය තරුණී වෙත උපරිමයෙන් ලබාගත් ආකාරය එදා කනිෂ්ඨයන් ලෙස සිටි අපට හොඳ හැටි මතකය. ගාමිණී සමරසිංහයන් ප්‍රේම් අයියා ඇමතුවේ ‘අපේ ප්‍රේම්‘ ලෙසටය. ප්‍රේම් අයියා එතරමටම තරුණී හි වස්තුවක් බවට පත්ව තිබුණේය.

එදවස තරුණී පුවත්පත රට වටා පවත්වාගෙන ගිය තරුණී ප්‍රතිභා වැඩමුළු මාලාව වෙනුවෙන් ප්‍රේම් අයියා දැක්වූයේ සුවිශේෂී දායකත්වයකි. එම වැඩමුළු සියල්ලම පාහේ සංවිධානය කරනු ලැබුවේ කොළඹින් බො‍හෝ දුර බැහැර ප්‍රදේශයන් කේන්ද්‍රකොට ගනිමින්ය. එබැවින්ම තරුණී ප්‍රතිභා වැඩමුළුව එදවස කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටම විනෝදජනක අත්දැකීමක් මෙන්ම හැඟුම්බර චාරිකාවක් ද වූයේය. එම සුවිශේෂී අවස්ථාවන්වල ප්‍රේම් අයියා ද නිරතුරුවම එක් වූයේ ගාමිණී සමරසිංහයන්ගේ අහක දැමිය නොහැකි ආරාධනාව පිළිගනිමින්ය. ඒ නිසාම එදවස තරුණී කර්තෘ මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකව ම ප්‍රේම් අයියා පවුලේ සාමාජිකයකු තරමට සමීපව සිටියේය.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ රාජ කිරුල දැරූ රජවරයකු වූවද ප්‍රේම් අයියා හරියටම පොළවේ පය ගසා ජීවත් වූ නිහතමානී, සරල, සුන්දර, අල්පේච්ඡම මිනිසකු වූයේය. ඕනෑම අයකුට ඕනෑම ප්‍රශ්නයක් අසා දැන ගැනීමට හැකි තරමට සරල වූ විරල ගති ලක්ෂණය ප්‍රේම් අයියා සතු සුවිශේෂීම ගුණයක් වූයේය. දුර බැහැර වැඩමුළුවල දී බොහෝ තරුණී පාඨකයන් වැඩමුළුවට පසුව ද ප්‍රේම් අයියා වටකොට ගනිමින් නොදන්නා බො‍හෝ දේ දැන ගත්තේය.

ප්‍රේමසිරි හේවාවසම් තරුණී හි ප්‍රගමනය වෙනුවෙන් දැරූ දායකත්වය මෙතක යැයි කියා නිම කළ නොහැකිය. ඔහු අපේ රටට දහස් ගණනින් කාන්තා ව්‍යවසායකයන් බිහි කිරීමට තම දායකත්වය දැක්වූයේය. තරුණී පුවත්පතේ මාධ්‍යවේදිනී අයන්ති උඩුගම්පළ සමඟ එක්ව ප්‍රේම් අයියා ගෙනා රූපලාවණ්‍ය පාඨමාලාව සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ මඟ කළ එළි කළ අතර, තරුණියන්ගේ රුව ද ඒකාලෝක කළේය. එතරමටම රටට නිහඬ සේවාවක් කළ ඒ ආදරණීය ප්‍රේම් අයියා අප අතර නැත. ඔහුගේ විස්කම් දෑතින් මැවූ අලංකාරය, ප්‍රතිභාව මෙන්ම විස්මිත නිමැවුම් පමණක් ඉතිරිකර අපේ ප්‍රේම් අයියා නීල ගගනතින් සඳහටම බැසගොස් හමාරය.

කෙනකු ලස්සන කිරීමේ හැකියාව තවත් කෙනකුට ලැබෙන්නේ පතා උපන් පෙර පිනකටය. ඒ පිනෙන් ප්‍රේම් අයියා ලස්සන කළ පිරිස් මෙතක යැයි කියා නිම කළ නොහැකියි. ප්‍රේම් අයියාට ලස්සන ආත්මයක් ලබන්නට ඒ පිනම ඇති.

 

චතුර ගීතනාත් බණ්ඩාර

තරුණී ප්‍රධාන කර්තෘ