හිස කෙස් යනවද? මෙන්න අලුත්ම විසඳුම්

පෙබරවාරි 5, 2024

හිස කෙස් සම්බන්ධ ගැටලුවලට දැන්නම් ගැහැනු, පිරිමි වෙනසක් නැති තරම්. කොණ්ඩය යෑම, අකලට කොණ්ඩය පැසීම, ඇතැමුන්ගේ තට්ටය පෑදීම... මේ ආදී ගැටලුවලට පිළියම් තිබේද? ඔව්, රූපලාංකාර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා යම් අස්වැසිල්ලක් වන්නට පුළුවනි.

හිස් කබලට, හිස කෙස්වලට ඇති පෝෂණය අඩු වූ විට හිස් කෙස් වල වර්ධනය අඩු වේ. හිස කෙස් වර්ධනය අවධීන් 3ක් යටතේ සිදුවන බව අපි පසුගිය සතියේ කතා කළා ඔබට මතක ඇති. ඒ අනුව සාමාන්‍යයෙන් කෙස් ගසක් ඇනජන්(හිස කෙස් වර්ධනයවන අවස්ථාව), කැටජන්(කෙස්ගහ දුර්වලව ඇති අවස්ථාවයි), තැලජන්(කෙස් ගස වැටෙන අවස්ථාව සහ නැවත එන අවස්ථාව) යන අවස්ථා ත්‍රිත්වය පසු කරයි.

ඇනජන් අවස්ථාවේදී රෝම කූපය වෙත හොඳින් රුධිර සැපයුම තිබිය යුතුයි. හිස කෙස්වල ඇති වියළි බව, හිස්හොරි නිසා, පෝෂණ ඌනතා නිසා කෙස් ගහ මුලට පෝෂණය නොලැබී යා හැකියි. එවිට කෙස් ගසේ වර්ධනය ප්‍රමාද වේ. බාල වේ. එහිදී පළමුව එන කෙස් ගහ මෙන් නොව දෙවැනුව එන කෙස් ගහ පැමිණෙන්නේ වර්ධනය බාල වෙමිනි.

සාමාන්‍යයෙන් හිස් කබලක කෙස් ගස් ලක්ෂ එකහමාරක් පමණ පවතී. ඇනජන් අවධියේ කෙස් ගස වසර එකහමාරක් පමණ පවතිද්දී කැටජන් සහ කැලජන් යන අවධීන් මාස හය බැගින් පවතී. මෙසේ කාලය ගතවෙමින් කෙස් ගස දුර්වලම තත්ත්වයට පත්වේ. එය කුඩාම දරුවකුගේ මෙන් බේබි හෙයාර් මට්ටමටම පත්වේ. මේවා ඉතාම සියුම් කුඩා කෙස් ගස්ය. අවසානයේ එයත් හැලී ⁣තට්ටය පෑදීම දක්වාම දිව යයි. ඊළඟ විකල්පය වන්නේ කෙස් ගස් සිටුවීමයි.

කෙස් ගසට පෝෂණය ලබාදීමෙන් නැවත එය තිබූ තත්ත්වයටම පත් කළ හැකියි. මෙම අවස්ථාව රූපාලංකාර වෛද්‍ය විද්‍යාවට අනුව හඳුන්වන්නේ PRP ප්‍රතිකාරය හෙවත් Platelet Rich Plazma(අධි සාන්ද්‍රිත රුධිර පට්ටිකා නික්ෂේපණය) පිළිබඳ ප්‍රතිකාරයයි. මෙම ප්‍රතිකාර ක්‍රමය හිස් කබල සඳහා පමණක් නොව මාංසපේශීන්, සන්ධි ශක්තිමත් කිරීමට හා මුහු⁣ණට ප්‍රතිකාරයන් ලෙසත් යොදා ගනියි.

සති දෙකකට හෝ මාසයකට වතාවක් බැගින් වාර 6ත් 10ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාරය කෙරේ. එය නැවත පවත්වා ගැනීමට මාස 6කට හෝ වසරකට වතාවක් එක්වරක් බැගින් සිදු කළ හැකියි.

රෝගියා රූපාලංකරණ වෛද්‍යවරයකු වෙත පැමිණි පසු Hair Analyser උපකරණය මඟින් 50 සැරයක් 100 සැරයක් පමණ විශාලකර හිස් කබල, හිස කෙස් පරීක්ෂා කෙ⁣රේ. කෙස් ගසේ මුල දුර්වල තත්ත්වයේ පවතින්නේද යන්න වෛද්‍යවරයාට මෙම යන්ත්‍රය ඔස්සේ නිරීක්ෂණය කළ හැකියි.

දිනකට හිස කෙස් 50ක් 100ක් පමණ හැලීම සාමාන්‍ය දෙයකි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් හැලෙන අයට මෙම ප්‍රතිකාරය නිර්දේශ කෙරේ.

PRP ප්‍රතිකාරය සඳහා උචිත අවස්ථාවක්ද Hair Transplant සඳහා උචිත අවස්ථාවක්ද හිස් කබලේ වෙනත් රෝගී අවස්ථාවක් නම් ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක්ද යන්න වෛද්‍යවරයා පැහැදිලි කරදෙයි.

PRP යනු

හිස් කබලේ සම යටට රුධිර පට්ටකා එන්නත් කිරීමයි.

PRP අවස්ථාව වේදනාකාරී නම්

එසේ වී නම් හිස් කබලේ අයිස් තබා හෝ Vibration Anesthesia උපකරණය මඟින් හිරිවට්ටවා ප්‍රතිකාරය කිරීමෙන් කිසිදු වේදනාවක් හට නොගනී.

ඉතා සාර්ථක, වත්මනේ ඉතාම ජනප්‍රිය, අතුරු ආබාධ නොමැති ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙය හැඳින්වේ.

මේ සඳහා ගන්නේ ඔබගේම රුධිරයයි. රුධිරය ගැනීමට පෙර එහි යම් යම් දුර්වලතා අඩුපාඩු ඇත්දැයි යන්න පරීක්ෂා කෙරේ.

මාස දෙකක් තුනක් ගතවද්දී ප්‍රතිඵල නිරීක්ෂණය වේ. මාස හයක් පමණ වන විට ප්‍රතිඵල හොඳින්ම නිරීක්ෂණය වේ.

ප්‍රතිකාරයට පසු විටමින් වර්ග ගන්නටත් Minoxidil ආලේපනය හිස් කබලේ ආලේපයටත් උපදෙස් ලැබේ.

 

ඉදිරිපත් කිරීම :

රූපාලංකාරය පිළිබඳ විශේෂිත පුහුණු වෛද්‍ය

ඩබ්ලිව්. ඒ නුවන් කුමාර