ඔබත් ආකර්ෂණීය කාන්තාවක් ද?

මාර්තු 11, 2020

අපි හැමවිටම අන් අයගේ ලස්සන දකිනවා. සුන්දරත්වය ගැන කතා කරනවා. නමුත් අප තුළ තිබෙන සුන්දරත්වය දකින්නෙ නෑ. අපි හැමෝම අපේ විදිහට ලස්සනයි. ඔබටම ආවේණික වුණ සුන්දරත්වයක් තිබෙනවා.

එය වැඩිදියුණු කරගත යුතුයි. ඒ සඳහා අප විවිධ උපක්‍රම භාවිත කළ යුතුයි. හොඳින් ආහාර ගත යුතුයි. සම රැක ගත යුතුයි. ගැළපෙන විලාසිතා තෝරාගත යුතුයි. අපේ විලාසිතාවලින් පෞරුෂය ප්‍රකාශ වෙනවා. ඒ වගේම අවංක, අව්‍යාජ, කාරුණික, විවෘත මනසක් පවත්වා ගැනීමෙන් බාහිර වගේම අභ්‍යන්තරයත් අලංකාර වෙනවා.

හැමවිටම makeup  අවශ්‍ය නැහැ. ඔබට එය සතුටක් ගෙන දෙනවා නම් භාවිත කරන්න. ඔබේ සමේ වර්ණය ඔබට ප්‍රශ්නයක් නැත්නම් පවුඩර් භාවිතය හා තොල් ආලේපන පමණක් ප්‍රමාණවත්. එයත් ඔබගේ රුචිකත්වය අනුව විය යුතුයි.

ඔබේ මුහුණේ හැඩය හඳුනාගෙන එයට ගැළපෙන කොණ්ඩ මෝස්තර කරන්න. ඕවලාකාර, වටකුරු, හතරැස්, හදවත් හැඩ, දිගු ආකාරයට මුහුණේ හැඩ පිහිටයි. මේ ගැන අවබෝධය ඔබගේ රූපලාවණ්‍ය ශිල්පිනියගෙන් ලබාගන්න.

ඔබේ සිරුර කුමන හැඩයේ වුවත් එය අලංකාරව පෙන්විය හැකි ඇඳුම් විලාසිතා අවශ්‍ය තරමට සොයාගත හැකියි. ඔබට පහසු අපගේ දේශගුණයට ගැළපෙන ඔබ සතු මුදලට වටිනා ඇඳුම් අඳින්න. ඔබගේ දෙපා ලස්සන නම් කොට ගවුම, සායවල් අඳින්න. ඒ ගැන ඔබ සතුටු නම් අන් අයගේ අදහස් ඔබට අවශ්‍ය නැහැ.

මිනිසුන් සතුටු කිරීමට ඔබට ඇති දේ අන් අය සමඟ බෙදාගන්න. ඔබ සතුව ඇති දේ සමඟ ඔබ සතුටු වන්න. ත්‍යාගශීලී වන්න. ඔබට පොහොසත් වන්න මුදල්ම අවශ්‍ය නැහැ. ඔබේ කාලය යොදවා නිර්මාණ කටයුතු කිරීම තුළින්, ඔබේ දක්ෂතා යොදා අන් අයට උපකාර කිරීම තුළින් ඔබට පොහොසත් විය හැකියි. අවශ්‍යතා ඇති අය සමඟ කාලය ගතකරන්න. කෑමකට යන්න, යාළුවො බලන්න යද්දි ඔවුන් සතුටු වෙන දේවල් රැගෙන යන්න.

නිතර ගැටුම් ඇතිකරගන්න පුද්ගලයන් නිසා ඔබට මානසිකව පීඩා විඳින්න සිදුවෙනවා. එම නිසා අභ්‍යන්තර කඩා වැටීම්වල දී ඔබේ සුන්දරත්වය රැකගැනීමට බැරිවනවා. සෞඛ්‍ය සම්පන්න හොඳ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීමට පමණක්ම ඔබේ අවධානය යොදවන්න. අනවශ්‍ය පුද්ගලයන් නිසා පීඩා විඳින්න එපා. නව සම්බන්ධතා ගොඩනැඟීමේ දී කාලය ගෙන ඇසුරු කරන්න. එවිට සිත් රිදවීම්වලින් ොතරව ඔබට පුද්ගලයන් හඳුනාගත හැකිවනවා.

 

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/03/11 තරුණි බලන්න