හිසකෙස් වර්ධනය කර ගැනීමට තෙල් සත්කාර

දෙසැම්බර් 2, 2020

නිරෝගී දීප්තිමත් කෙස් කලඹ ළඳකගේ සුන්දරත්වයේ එක් අංගයකි. ඒ නිසාම බොහෝ කාන්තාවන් තම කෙස් කලඹ ගැන උනන්දු වෙයි. විවිධ සත්කාර කරයි. ඒත් සෑම කාන්තාවකටම නිරෝගී කෙස් කලඹක් හිමි නැත. විවිධ හේතු කාරණා නිසා කාන්තාවකගේ හිසකෙස් වර්ධනය වීම, නිරෝගීමත් නොවීම, අකලට සුදු වීම සිදුවෙනවා.

මේ සඳහා පිළියම් කොතෙකුත් කලත් සතුටුදායක පිළිතුරු ලැබෙන්නේ නැහැ. මේ නිසාම කාන්තාවන් විශාල පිරිසක් හිසකෙස් ගැටලුවලට මුහුණ දෙති. ඒ ගැටලු විසඳාගැනීමට ඇති එක් ප්‍රතිකාරයක් වන්නේ බොහෝ වටිනා ප්‍රතිඵල අත්කර දෙන තෙල් සත්කාරයයි.

අපි හැමෝම මේ දිනවල නිවෙසට කොටු වී සිටින්නේ. ඔබට එය ධනාත්මකව සිතට ගත හැකි නම්, ඔබට මෙතෙක් කල් කරගන්න බැරිවුණු දේවල් කරගන්න මේ තමයි හොඳම වෙලාව.

තිබෙන රාජකාරිය නිසාම අපෙන් මඟහැරෙන ම දෙයක් තමයි අපි ගැන සිතීම. නිරෝගීකම, පිරිසුදුකම, රූපලාවණ්‍ය කටයුතු වැනි අපිව ලස්සන කරන දේවල් මේ දිනවල දී කරගත හැකියි. ඒ නිසා මේ කාලයේ ඔබට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා ඔබ ගැන සිතන්න. මේ දිනවල කොහොමද අපේ හිසකෙස් නිරෝගිමත්ව ලස්සනට තබාගන්නේ කියලා බලමු.

අපිට අපේ රටේ දී පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් තෙල් වර්ග තිබෙනවා. තෙල් සම්භාහනවලින් අපගේ කොණ්ඩය ඉතා හොඳීන් වර්ධනය වන බවත් නිරෝගීමත් වන බවත් අප කවුරුත් දන්න දෙයක්.

නමුත් අපිට ඔළුවට තෙල් ටිකක් දමා සම්බාහනයක් කර ගැනීමට තරම් උත්සාහයක් ගන්නෙ නැහැ. හැම විටම පවසන්නේ තෙල් ගාගෙන ඉන්න වෙලාවක් නැහැ කියායි. ඔබට දැන් වෙලාව ලැබුණා නිසා අපි කරලා බලමු.

අවශ්‍ය මොනවද?

මේ සඳහා පිරිසුදු පොල් තෙල් මේස හැඳි දෙකක් සහ විටමින් ඊ කරල් දෙකක් පමණයි අවශ්‍ය වන්නේ. මෙම වර්ග දෙක හොඳීන් මිශ්‍රකර උණු කර ගත් වතුර භාජනයක තබා තෙල් ටික හොඳීන් රත් කර ගන්න. හිසට දැමිය ගත හැකි ප්‍රමාණ යේ රස්නෙට පැමිණිවිට, හිස්කබල පුරා හොඳීන් තෙල් ටික දමා ගන්න. ඔබේ දෑත්වල ඇඟිලි තුඩුවලින් විනාඩි විස්සක් පමණ හොඳීන් මසාජ් කරන්න.

සම්පූර්ණ කොණ්ඩය පුරා ද තෙල් ගා ගන්න. උණු වතුර භාජනයක බහාලු තුවායක් ගෙන එය හොඳීන් වතුර මිරිකා සම්භාහනය කරපු හිස මත හොඳීන් ඔතා ගන්න. විනාඩි කිහිපයක් තබා ඉවත් කර ගන්න.

තෙල් සම්බාහනය කර පැයකට පසු ඔබේ හිසකෙස්වලට ගැළපෙන ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයක් භාවිතකර හොඳීන් සෝදා තෙල් ඉවත් කරගන්න. මෙය සතියට දවස් තුනක්වත් කිරීම අත්‍යවශ්‍යයි. ඔබ පවුලේ සියලු දෙනාම මෙය කරන්නේ නම් හැම දෙනාගෙම හිසකෙස් ඝනව වර්ධනයවී මනා පෙනුමක් ලබාදෙයි.

කළ යුතු වෙනත් දේවල්

හිසකෙස් වර්ධනය වීම සඳහා සමබල ආහාර ගැනීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම ඉතා හොඳ නින්දක් ද අවශ්‍යයි. හිස පීරීමට නිතරම දැති ලොකු පනාවක් භාවිත කරන්න. පවුලේ සියලු දෙනාම වෙන් වෙන්ව පනාව, තුවාය ආදිය භාවිත කරනවා නම් සියලු දෙනාගේම ආරක්ෂාවට එය සුදුසුයි. විශේෂයෙන්ම කාන්තාවක් නම් දිගු වරලසක් නැතත් පිරිපුන් කෙස් කලඹක් තිබීම වටිනවා. හිසකෙස් ප්‍රමාණය වැඩිකර ගැනීමට තෙල් සත්කාර කිරීමත් අවශ්‍යයි.

කොට කොණ්ඩයක් වුණත් හොඳ නිරෝගීමත්බවක් පෙන්නුම් කරනවා නම් එහි අලංකාර බවක් දකින්න පුළුවන්. ඉතා දිගු වරලසක් වුවත් එහි පිරිපුන් බවක් නොමැති නම් කෙස් ගස් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් නම් එහි කිසිදු ලස්සනක් නැත.

වැඩි වියදම් දරමින් විවිධ තෙල් වර්ග සොයමින් ඔබ ඇවිදින්න අවශ්‍ය නෑ. සෑම දෙනාගේම නිවෙසේ තිබෙන පොල් තෙල් මඳක් රත් කර ගැනීමෙන් ඔබේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගත හැකියි. නමුත් යම් කෙනකු සතුව විවිධ තෙල් වර්ග තිබිය හැකියි. එඬරු තෙල්, ඔලිව් තෙල් ප්‍රධාන තැනක් ගනී. පොල් තෙල් සමඟ මේ තෙල් දෙවර්ග මිශ්‍ර කර ගැනීම තුළින් වඩාත් ඉක්මනින් ප්‍රතිඵල ළඟා කරගත හැකියි.

අපි රූපලාවණ්‍යගාරයක ට ගොස් oil massage  කිරීම යනු වෙනමම කාරණාවකි. එහිදී ඔවුන් විවිධ තෙල් වර්ග හිස මත දමා විවිධ ක්‍රමවලට සම්බාහනය කරනු ලබනවා.

ඔබට ඇත්තේ තට්ටය පෑදීම ලක්ෂණ නම්, සම්භාහනය කරන්නේ වෙනස් ආකාරයකටයි. ඔබට ඇත්තේ කෙස් ගස් කැඩීයාම නම්, ඒ සඳහා භාවිත කරන තෙල් සහ සම්බාහන ක්‍රම පවා වෙනස් වෙයි. ඔබට අවශ්‍ය කොණ්ඩය දිගුකර ගැනීමට නම් ඒ සඳහා ද විවිධ තෙල් වර්ග සහ සම්බාහන ක්‍රම ඇත.

 

උපදෙස් - දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා