ආදරය කරන්න.... සිහින දකින්න....

අප්‍රේල් 7, 2021

 

සොඳුරු සිහින දකින සමනල වයසේ ඔබේ හදගැස්ම අපි මෙලෙස අකුරු කරනවා. මේ වයස තියෙන්නේ ලෝකය දකින්න. පරිසරය විඳින්න. පොත් කියවන්න. දැනුම හොයන්න. ඉගෙන ගන්න. වෘත්තීය ජීවිතයට පිවිසෙන්න. සිහින දකින්න. ආදරය කරන්න.

ඒත් දුවේ ආදරය කරන්න කිව්වාම බොහෝදෙනා ආදරය සමඟ ලිංගික ඇසුර පටලවා ගන්නවා. මේ වයසේ ආදරය ලිංගික ඇසුරක් නොවිය යුතුයි. එය ඔබේ ජීවිතය විඳින්න, ජීවිතය ගැන ඉගෙන ගන්න තියෙන කාලයක්. ඒ නිසා ආදරණීය විදිහට ආදරේ කරන විදිය ඉගෙන ගන්න. රළු නොවන මෘදු ගති ජීවිතයට එකතුකරගන්න. සහයෝගය අගයන්න. දුකසේ ජීවිතය ගෙවන, ආර්ථික අපහසුතා ඇති දියණියන් නම් මේ ආදරය තමන්ගේ ජීවිතයේ අනාගතය සරසන මල් දමක් කරගත යුතුයි. එකට එක්වී කන්න, බොන්න, පාඩම් කරන්න, ෂොපිං යන්න. ජීවිතයේ දුක් වේදනා, සිත් තැවුල් මෙන්ම සතුට , ජයග්‍රහණ එකට එක්වී බෙදාගන්න.

අත පලඳින්නට හැඩැති බ්‍රේස්ලට්

 

තාරුණ්‍යයේ මුල් අවදිය ගෙවන සමහර යුවතියන් රන් අභරණවලට එතරම් කැමැත්තක් නැත. අභරණවලට එකිනෙකා දක්වන ඇල්ම වෙනස්. කොහොම වුණත් බ්‍රේස්ලට්වලට නම් වැඩි පිරිසක් ආකර්ෂණය වෙති.

 

ඇඳුමට ගැළපෙන්න පාට පාට කරාඹු මාල දාන අය අතර රන් අභරණ පලඳින අයත් ඉන්නවා. මේ අවදියේ දී රන් ආභරණ දමනවා නම් එතරම් විශාලව නොපෙනෙ ඒවා යුවතියන්ට වැඩි ලස්සනක් සමඟ සරල පෙනුමක් ගෙන දෙනවා. කුඩා කරාඹු, සිහින් රන් මාල හා කුඩා පෙන්ඩන්ට් තෝරාගැනීමෙන් තමන්ගේ සුන්දරත්වය ඔපකරගත හැකියි. මේ වයසේ යුවතියන් බ්‍රේස්ලට්වලට වැඩි ආශාවක් දක්වන නිසාම තමන්ට ගැළපෙන ලෙසින් සකසා ගන්නට හැකි බ්‍රේස්ලට් විලාසිතා කිහිපයක් මෙලෙස ගෙන එනවා. බොහෝවිට බ්‍රේස්ලට් එකක් ගන්න ගියාම හිතට හරියන ලස්සන මෝස්තර නැහැ. සමහරු තියෙන එකක් අරගෙන එනවා. ඒත් ඔබට පුළුවන් සිතේ ඇඳුණු මෝස්තරය සාදාවා ගන්නට. මේ අභරණ මෝස්තර රන්කරුවන්ට පෙන්වීමෙන් සකසාගත හැකියි. ආදරය කරන වයසේ පසුවන උසස් අධ්‍යාපනය හදාරන යුවතියන්ට මේ විලාසිතා තම ආදරයේ මතක සැමරුම් අතරට එක්කර ගත හැකියි. අම්මට තාත්තාට කරදර නොකර තමන්ගේ මහන්සියෙන්ම මුදලක් උපයාගන්නා යුවතියන්ට ඒ මුදලින් මෙවැන්නක් සකසාගෙන තම ජීවිතයේ මතක සැමරුම් අතර රඳවාගත හැකියි. යොවුන් වියට පිවිසෙන දූවරුන්ට තිළිණ කරන්නත් මාපියන්ට මෙවැනි බ්‍රේස්ලට් නිර්මාණය කරවාගත හැකියි. බලන්න, මේ විලාසිතා මඟින් ඔබටත් අදහසක් ගත හැකියි නේද?

 

ලස්සන පෝනිටේල් එකක්

උත්සව අවස්ථාවකට මෙන්ම සාමාන්‍ය ගමන බිමනටත් යොදාගත හැකි සරල පෝනිටේල් විලාසිතාවකි. මෙය බෙල්ලට වන්නට යෙදූ මෝස්තරයකි.

පළමුව කොණ්ඩය කොටස් කරගන්න. ඒ හිස ඉදිරිපස කොටස හා පිටුපස කොටස ලෙසයි. ඉදිරිපස කොටස කොටස් තුනකට වෙන්කරගන්න. දෙපස කොටස් අතහැර මැද කොටස තරමක් බැක්කෝම්බ් කරගන්න. දැන් එම බැක්කෝම්බ් කළ කොටසට පිටුපස කොටස අල්ලා බෙල්ලට වන්නට පෝනිටේලයක් දමාගන්න. දැන් දෙපස කොටස් වෙන වෙනම ගෙන කතිර ආකාරයට පළමු පෝනිටේලය වටා උඩින් යවා යටින් කටු ගසා පෝනිටේලයට සම්බන්ධ කරන්න. පින්තූර දෙස බැලීමෙන් මෙය පියවරෙන් පියවර කරන ආකාරය පැහැදිලි වේවි.

 

 

තොල්වලට සොඳුරු පෙනුමක්

 

බොහෝ යුවතියන් තම දෙතොල හැඩකරන්නට රෝස පැහැති ලිප්ස්ටික් ගල්වති. එහෙත් ලිප්ස්ටික් ගැල්වූ බවක් පෙන්නුම් නොකරන ආකාරයට ගැල්වීමට වැඩි දෙනෙක් කැමැතිය. රෝස පැහැය ඇගේ නාදලු වැනි දෙතොලට මනා පෙනුමක් ගෙන දෙන අතර සුදු වර්ණය එක්කර ගැනීමෙන් එහි ලස්සන තවත් වැඩිකරයි.

රෝස හා සුදු පැහැයෙන් දෙතොල හැඩගන්වන ආකාරය බලමු. මේ සඳහා සුදු හා රෝස පැහැතිලිප් ලයිනර් පෙන්සිල් දෙකක් හා රෝස පැහැති ක්‍රීම් ලිප්ස්ටික් එකක් තෝරාගන්න. ක්‍රීම් ලිප්ස්ටික්වල ග්ලොස් ගතියක් ඇත.

පළමුව දෙතොලේම මැදට සුදු පැහැති පැන්සලෙන් මෙහි දැක්වෙන ආකාරයට වර්ණ ගන්වන්න. දැන් රෝස පැහැති ලයිනර් එකෙන් උඩු තොලේ හා යට තොලේ මැද හැර තොල් වටේටම ලයින් කරන්න. පසුව පින්සලට ලිප්ස්ටික් ගෙන දෙතොල මත ගල්වන්න. දැන් සුදු පැහැයට දෙපස ගැල්වූ රෝස වර්ණය ඇඟිල්ලෙන් පරෙස්සමට බ්ලෙන්ඩ් කරගන්න. රෝස වර්ණය වෙනුවට ඔබට කැමැති වර්ණයක ලිප්ස්ටික් යොදා මේ විදිහට දෙතොල හැඩකරගත හැකියි.