සොඳුරු වතක රහස මෙන්න

මැයි 23, 2022

 

සෑම කාන්තාවකගේ ම සිහිනය පැහැපත් සමක් හා හැඩැති සිරුරකි. එහෙත් බොහෝ කාන්තාවන් තම රූමත්බව වැඩිකර ගැනීමට කියා ප්‍රධාන ස්ථානයක් ලබා දෙන්නේ මුහුණේ සම පැහැපත් කර ගැනීමටයි. මුහුණ කියන්නේ එක් ඉන්ද්‍රියයක් නොව, ඉන්ද්‍රියයන් රැසක එකතුවකි. ඒ නිසා මුහුණේ සම පැහැපත් කර ගැනීමට පමණක් නොහිතා නළල, ඇහිබැම, නාසය, දෙතොල, කම්මුල්, මුහුණේ සම යන මේ සියලු ඉන්ද්‍රියයන් සුන්දර කර ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. එවිට ඔබේ වත වඩාත් සොඳුරු වේවි.

 

නළල

නළල බොහෝ විට විවිධ ආසාදනවලට ලක් වෙනවා. හිස්හොරිවල බලපෑම නිසා නළලේ කුරුලෑ ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා හිස් කබලේ හිස්හොරි ඇත්නම් පළමුව ඊට ප්‍රතිකාර කළ යුතුයි. හිස හොඳින් සෝදා පිරිසුදු කරන්න. තෙල් සහිත හිස්කබල, හිස්හොරි ඇති වීමට හේතුවකි. හිස්හොරි නසන ෂැම්පු වර්ගයක් භාවිත කරන්න. හිස්හොරි සඳහා දෙහි යුෂ, මී පැණි, කොහොඹ කොළ යුෂ වැනි ස්වාභාවික ප්‍රතිකාර වුවද සුදුසුයි.

ඔබ නිතරම නළලේ අඩක් වැසෙන සේ කොණ්ඩා විලාසිතා දමනවා නම් සැලකිලිමත් විය යුතු විශේෂ කරුණක් තිබෙනවා. හිරු එළියට නිරාවරණය වීමෙන් නළලේ කොණ්ඩයට වැසුණු ස්ථානයේ වර්ණය සහ මුහුණේ අනෙක් ස්ථානවල වර්ණය වෙනස් වී මුහුණ අවලස්සන වීමේ අවදානමක් තියෙනවා.

නොසැලකිලිමත් ලෙස මුහුණ සේදීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ කාන්තාවන්ගේ නළල් දාරය හොඳින් සේදෙන්නේ නැහැ. නළලේ දාරය නොසේදී ඉතිරිවන කුණු, දූවිලි, ගැල්වූ ආලේපන සහ මේක්-අප්වල බලපෑම නිසා කුරුලෑ සහ බිබිලි ඇතිවෙනවා. මෙම බිබිලි කාලයත් සමඟ මුහුණ පුරා පැතිර යනවා. නළලට තිලක තැබීමෙනුත් විවිධ ආසාදන ඇති වෙන්න පුළුවන්.

මුහුණ පිරිසුදු කරන සෑමවිටම ඔබේ සමට ගැළපෙන ෆේෂ් වොෂ් වර්ගයක් භාවිත කරන්න.

 

ඇහිබැම

අක්‍රමවත් ඇහිබැමක් නිසා දෙනෙත්වල තිබෙන සුන්දරත්වය වියැකී යනවා. ඒ නිසා ඇහිබැම කලාත්මකව සකසා ගැනීමෙන් කාන්තාවකගේ සුන්දරත්වය වැඩිකර පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඇතැම් කාන්තාවන්ගේ ඇහිබැම එතරම් හොඳින් වැඩී නැහැ. ඒ අයට පුළුවන් ඔලිව් ඔයිල් ස්වල්පයක් දිනපතා ඇහිබැමේ ගල්වා හොඳින් සම්භාහනය කරන්න.

දෙනෙත්

නිදි මැරීම නිසා දෙනෙත්වල දීප්තිමත් බව අඩු වෙනවා. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. අඳුරේ පොත්පත් කියවීම, අඳුරේ ජංගම දුරකථන භාවිතය නිසාත් දෙනෙත් අඳුරු පැහැ ගැන්වෙනවා.

සමන්පිච්ච මල් පෙඟවූ වතුර, තැඹිලි වතුරවලින් පුරුද්දක් ලෙස ඇස් සෝදන්න. එමඟින් දෙනෙත්වල පෙනුම දීප්තිමත් වේ.

තේ කොළ මන්ඩිවලින් සැකසූ පොට්ටනියක් හෝ පිපිඤ්ඤා පෙති ඇස් මත තබා ගැනීමෙනුත් දෙනෙත් ලස්සන කර ගන්න පුළුවන්. ඇස්වලට සතියකට වතාවක් ව්‍යායාම් සිදු කිරීමෙන් ඇස්වල පෙනුම නිරෝගී වෙනවා.

භාවිත කරන අයි ෂැඩෝ, අයි ලයිනර්, මස්කාරා යනාදිය කල් ඉකුත් වී ඇත්ද යන්න ගැන පරීක්ෂාවෙන් සිටින්න.

 

කම්මුල්

කම්මුල් සුන්දර වන්නේ පිරී ඇති විටයි. කම්මුල්වල මාසංපේශීන් ඉතාමත් සංවේදියි. අධික ලෙස නිදි වැරීම, නිරාහාරව සිටීම, අධික ලෙස කේන්ති ගැනීම, නිතර කල්පනා කිරීම, අධික ලෙස කෑ ගැසීම, දත් දිරා යාම වැනි හේතුන් නිසා කම්මුල් අකලට වැහැරී යනවා.

ඉහත වැරැදි පුරුදුවලින් මිදීමෙන්, නිදා ගැනීමේදී මුහුණ උඩු අතට තබා ගැනීමෙන්, කම්මුල්වලට අත් තබා තද නොකිරීමෙන් සහ ක්‍රීම් වර්ග උඩු අතට පමණක් ගැල්වීමෙන් කම්මුල්වල පිරුණුබව ආරක්ෂා කර ගන්න පුළුවන්.

 

දත්

කතා කිරීමේදී සහ සිනාසීමේදී ඔබේ සුන්දරත්වය වඩා හොඳින් පෙනෙනවා. මේ නිසා දත්වල පෙනුම ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම ඉතා වැදගත්.

උනන්දුවෙන් දත් නොමැදීම නිසා දත් දිරා යෑම, දත් මුල්දියවීම, විදුරුමස් දියවීම, දත් අවපැහැ වීම වැනි අහිතකර ප්‍රතිඵල අත් වෙනවා.

හක්කේ දත් පිටතට නොපෙනුනත් ඒවා ආරක්ෂා කර ගත යුතුයි. එයට හේතුව වන්නේ දිරාගිය හක්කේ දත් ගලවා දැමීමෙන් කම්මුල් හැකිලී මුහුණේ සුන්දරත්වය අඩු වීමයි.

 

දෙතොල්

දෙතොල් දුර්වර්ණ වීම කාන්තා මුහුණේ සුන්දරත්වය අඩු කිරීමට හේතුවකි. දෙතොල් ඉක්මනින් වියැළෙන අතර පැලෙන අවස්ථාවන් ද තිබෙනවා.

රාත්‍රී කාලයේ දී ඔලිව් තෙල්, විටමින් E ක්‍රීම් තොල් මත ආලේප කිරීමෙන් තොල් ලස්සන කරගන්න පුළුවන්.

 

කන් සහ නිකට

නෑමේදී කන් පෙති හොඳින් සෝදා ගත යුතුයි. මුහුණට කරන සත්කාර ඒ ලෙසම කන් පෙතිවලටත් කළ යුතුයි. නිතරම අත් නිකටට තබාගෙන තද කරගෙන සිටීමෙන් වළකින්න.

ඒ වගේම මසකට වරක් මුහුණ හොඳින් සම්භාහනය කර ක්ලීන්-අප් එකක් කිරීමෙන් සහ මාස තුනකට වරක් මුහුණට සුදුසු ෆේෂල් කිරීමෙන් වඩාත් සුන්දර පැහැපත් මුහුණක හිමිකාරියක් විය හැකියි.

 

සැකසුම - විදුමිණි දිසාකරුණා

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර