කොරෝනා රෝගය ඇතැයි සැක නම් ස්වයං නිරෝධායනයක යෙදීම

වගකීමක්, යුතුකමක්
අප්‍රේල් 15, 2020

ඔබට හෝ ඔබේ පවුලේ කෙනකුට හෝ ඔබේ සමීපතමයකුට කෝවිඩ් 19 රෝග ලක්ෂණ තිබේ නම් හෝ එම රෝගය යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ තිබේ නම් පවුලේ වෛද්‍යවරයා වෙත හෝ ළඟම රෝහලට යාම නොකරන ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ 1390 අංකයට දුරකතනයෙන් කතා කිරීමයි. එහි වෛද්‍යවරු සිය දෙනකු පමණ පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පිළිතුරු ලබා දෙමින් ඔබ ගත යුතු ක්‍රියාමාර්ග, අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු සහ රෝහල් ගත විය යුත්තේ කෙසේද? යායුත්තේ කුමන රෝහලටද යන තොරතුරු සියල්ල ලබා දෙනු ඇත. එසේම හදිසියේ හෝ ඔබට මේ කොරෝනා වෛරසය වැලඳී ඇතැයි සැක සහිත නම් සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂාකාරී ලෙස අදාළ රෝහලකට යාමේ පහසුකම සලසා දෙනු ඇත. මේ නිසා ඔබට එවැනි සැකයක් ඇතිවූ විට බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් ඔබේ ජීවිතයත්, අන් අයගේ ජීවිතත් කොරෝනා වෛරසයෙන් බේරා ගනිමින් රටට ජාතියට යුතුකම් ඉටුකළ හැකිය.

වෙද නලාව අතට ගෙන ඖෂධ නිර්දේශ කරමින් රෝගීන්ට පිළියම් නොකළ ද ප්‍රියංගා රණසිංහ නම් හැඩකාර කටකාර තරුණ වෛද්‍යවරිය කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට විද්‍යුත් මාධ්‍යයෙන් ගෙන එන පණිවුඩ මාලාව මේ දිනවල කොයි කාගේත් හදවතට හොඳින්ම දැනෙන දෙයකි.

ඖෂධයක් ගැනීමට අමතක වුව ද ඇය ලබා දෙන පණිවුඩය නම් අමතක නොවෙයි.

අප ඇය හමු වුණේ තරුණී වෙනුවෙන් තවත් වැදගත් පණිවුඩ රැසක් පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමටයි. ‘අංශ ප්‍රධානී, අවදානම් සන්නිවේදනය, මාධ්‍ය සහ ප්‍රචාරණ අංශය’ ප්‍රියංගා රණසිංහ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දරණ තුනතුරයි.

* කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීමට පණිවුඩ ලබා දෙන ඔබ කාන්තාවන්ට දෙන්නේ මොන වගේ පණිවිඩයක්ද?

කොරෝනා වගේම බොහෝ රෝගවලින් ආරක්ෂාවීමට අපට මේ කලෙදි පදනම දමන්න පුළුවන්.

පවුලේ කෑම වේල් වගේ පවුලේ යහපත් සෞඛ්‍යයට පදනම දමන්නත් පුළුවන් ගෘහණියටයි. අම්මාටයි.

දරුවන්ට කුඩා වියේ සිට තැන තැන අල්ලන්න, තැන තැන කෙළ ගහන්න දෙන්න එපා. සබන් ගාලා අත හෝදන පුරුද්දත් ළදරු පාසලේදීම පටන් ගන්න. එහෙම පුහුණුවක් ලැබුණම වැඩිහිටි වියේදීත් ඒ පුරුදු ඉබේම ක්‍රියාත්මක වෙනවා.

* නිරෝධායනය, ස්වයං නිරෝධායනය අපේ රටට අලුත් අත්දැකීමක් නේද?

නැහැ. අපේ අටේ පැපොල, සරම්ප, කම්මුල්ගාය (දෙයියන්ගෙ ලෙඩ) හැදුණොත් රෝගියා අනෙක් අයගෙන් දුරස් වී වාසය කරනවා. නිවෙසේ රෝගියකු සිටින බව කොහොඹ කොළ අත්තක් දොරකඩ එල්ලලා ලකුණු කරනවා. හරි අපූරු සන්නිවේදන ක්‍රමයක්. මෙහෙම කරන්නේ රෝගියාට ආදරයෙන්. රෝගියාත් නීරෝගි අයට සෙනෙහසින් බැඳී සිටිනවා. තමන්ට වැලඳුණු රෝගය ආදරණීයයන්ට බෝ වෙනවට අකැමැතියි. ගතින් දුරස් වෙන්නේ හිතෙන් වඩාත් ළං වෙලා. කොවිඩ් - 19 නැත්නම් නව කොරෝනා වෛරසය සම්බන්ධව සිදු වන්නෙත් ඒ දෙයමයි. රෝගය වැලඳුණා ද කියා සැකයක් ඇති වුණාම දින 14 ක් හුදෙකලා වි සිටිනවා.

තමන් රෝගී පුද්ගලයකුදැයි කියා සැක නම්, රෝගී පුද්ගලයකු සමඟ සමීප ඇසුරක් පවත්වා තිබෙනවා නම් ස්වයං නිරෝධානයක යෙදීම ඉතා වැදගත්. ඒක තමන්ගේ වගකීමක්. යුතුකමක්.

* නීරෝගි අය සැමවිටම මුහුණු ආවරණ දැමිය යුතුද?

තමන්ට රෝගය ඇති බවට සැකයක් ඇත්නම්, රෝගීන් සමඟ වැඩ කටයුතු කරනවා නම් මුහුණු ආවරණයක් පැලඳිය යුතුයි. මුහුණු ආවරණ නිවැරැදිව පැලඳුවේ නැත්නම් නැති ලෙඩ ඇති වෙනවා. එකම මුහුණු ආවරණය කීප පාරක් දැම්මොත්, තැන තැන දමා නැවත නැවත පැලඳුවොත් නැති විසබීජ ශරීරගත වෙන්න පුළුවන්.

මුහුණු ආවරණ පැලඳුවම මුහුණට අත යනවාත් වැඩියි.

* ලුණු වතුරෙන් උගුර සේදීමෙන්, නිතර උණු වතුර බීමෙන්, උගුර වේළෙන්න නොදී වතුර බීමෙන් රෝගය වළක්වන්න පුළුවන්ද?

කොහෙත්ම බැහැ. සමහරු නාසයට සේලයින් දානවා. එයින් කිසිම බලපෑමක් වෙන්නෙ නෑ.

වෛරස් රෝගයක් වන මීට ප්‍රතිජීවක පානයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නෙත් නැහැ.

* මේ දිනවල නොකළ යුතු දේ මොනවාද?

පිරිමි දුම්පානය කරනවා නම් වහාම නතර කරන්න. කොරෝනා තුරන් වූ පසුත් එය දිගටම ක්‍රියාත්මක කරන්න (දුම්පානය දිගටම නවත්වන්න). ලොව මියගිය රෝගීන් වැඩි දෙනෙක් දුම්පානය කරන පිරිමි අයයි.

රෝගීන් බැලීමට රෝහලට රංචු පිටින් යන්න එපා. දියවැඩියාව, හෘද රෝග, රුධිර පිඩනය, ඇදුම වැනි නිදන්ගත රෝග ඇත්නම් පාලනය කර ගන්න.

නෑගම් යාම සීමා කරන්න. මේ වගේ කාලයක සාද පැවැත්වීම මිතුරුකමක් නොවෙයි, හතුරුකමක්.

සැක සහිත අය නිවසෙට වෙලා ඉඳගෙන වත්ත පිරිසුදු කරන්න. දැන් ටික ටික වහින නිසා ඩෙංගි සෑදීමේ අවදානමත් තියෙනවා. ඩෙංගිත්, කොරෝනාත් එකට හැදුණු අය ලෝකයේ ඉන්නවා. ළමයි හොරෙන් අතිරේක පන්ති යවන්න එපා. ළමයි රොබෝලා නෙවෙයි. මේ කාලය දරුවන්ට පරිසරය සමඟ ගැටෙන්න වත්ත පිටියේ වැඩ කරන්න, ජීවන කුසලතා වැඩි කරන්න යොදා ගන්න.

මේ පවුල් සබඳතා තර කරන්න හොඳම කාලයයි.

රෝගය පැතිරීම හෝ තුරන් කිරීම ඇත්තේ අපේ අතේ.

වැරැදි මත කියන වසංගතය කොරෝනා රෝග වසංගතයට වඩා වේගයෙන් පැතිරෙනවා. රාජ්‍ය තොරතුරු පමණක් විශ්වාස කරන්න.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ප්‍රියංගා රණසිංහ

‘අංශ ප්‍රධානී, අවදානම් සන්නිවේදනය, මාධ්‍ය සහ ප්‍රචාරණ අංශය’ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ